අළුවලින් රටේ දියුණුවට නව නිපැයුමක් තැනූ මිනිසෙක්

0
1

‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී’ යන්න කියමනක් අප අසා ඇත්තෙමු. වර්තමානය වනවිට ලොව නව සොයාගැනීම් හා නවීන තාක්ෂණය උපයෝගී කරමින් බොහෝ කාර්යයන්හි යෙදීම තුළින් මිනිසා අත් කරගෙන ඇති දියුණුව සුවිශාලය. එහෙත් අතීතයේ ලොව දියුණු රටවල් පවා මවිත කරවන තරමේ තාක්ෂණයක් හෙළයන් වන අපට තිබුණු බවට අදටත් සාක්ෂි ඉතිරිව තිබෙන්නේය. අහස් කුස සිපගන්නා තරමේ දාගැබ්, වාරි තාක්ෂණය, ගොඩනැඟිලි තාක්ෂණයේ මහිමය කියාපානා සීගිරිය වැනි නිර්මාණ අතීත ශ්‍රී ලාංකික ජාතියක අභිමානය පෙන්නුම් කරවන්නකි. එදා මෙන් අද වනවිට ද ලක් දෙරණ තුළ නව නිර්මාණකරුවන් බිහි වන්නේ රටක වාසනාවටය. මෙහි එන හොඳම කතාව අද වනවිට ඉවත දමන දෙයින් පවා ලොව මවිත කරවන තරමේ නිර්මාණයන් තනන්නට ශ්‍රී ලාංකිකයන් සමත්ව සිටීමය.

එදිනෙදා අපට හමුවන මිනිසුන් අතර ගයාන් කාරියවසම් ද එවන් චරිතයකි. ඔහු තම නිර්මාණ තුළින් මේ වනවිට රටේ සංවර්ධනයේ හවුල්කරුවකු ද වී හමාරය. පෙර කී පරිදි මීට වසර ගණනාවකට පෙර ඔහුට නව නිපැයුමක් තනන්නට හේතු පාදක වන්නේ කලක් තිස්සේ සිතෙහි කැකෑරෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සොයා යෑමේ දීය. ඒ ගැන ඔහු කියන කතාව හරි අපූරුය. හෙතෙම ඒ ගැටලුවලට පිළිතුරු සපයාගන්නේ නව නිමැවුමකින්ය. මේ ඒ පිළිබඳව ගයාන් කාරියවසම් කියන කතාවය.

“අපේ රටේ වසරකට ළමුන් දාසයක් – විස්සක් පමණ පස්ගන්න කැපූ වතුර වළවල්වලට වැටී අකාලේ මියැදෙනවා. ඒ වගේම රටේ විශාල පරිසර දූෂණයක්, වනාන්තර විනාශයක් මැටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන හරහා සිදුවෙනවා. එහෙත් ඒ නිපැයුම්කරුවන්ටත් අද වෙනත් විකල්පයක් නැහැ ජීවත් වෙන්න.”

කලක් තිස්සේ තම සිතට වධ දුන් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සොයා යෑමේදී අප කතානායකයාට හරි අපූරු පිළිතුරක් ලැබෙන්නේය. ඒ මෙරට විදුලි බලාගාරයක් වන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දහනය කරන ගල් අඟුරුවලින් ඉතිරිවන අළු දූවිලිවලින් නව නිමැවුමක් තනන්නට මඟ පෑදීමය.

ගයාන් කාරියවසම් පිළිතුරු සොයන්නේ ඔහුට තිබූ ප්‍රශ්න කිහිපයකට පමණක් නොවේය. හෙතෙම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් පරිසර පද්ධතියට සිදුවන්නාවූ තර්ජනයට පවා තම නිර්මාණය තුළින් පිළිතුරු සොයා දුන්නේය. ඒ පිළිබඳව ඔහු කියන කතාව ඔහුගේ හඬින්ම ඇසිය යුතුය.

පරිසර විනාශයට ගයාන්ගෙන් උත්තරයක්

“මට මතකයි නොරොච්චෝලේ විදුලි ව්‍යාපෘතියෙන් පරිසරයට සිදුවන හානිය පිළිබඳව එකල නඩු කටයුත්තක් පවා පැවතුණා. එතැනදී බොහෝ පාර්ශ්ව මේ විදුලි බලාගාරය නිසා පරිසරයට සිදුවන හානිය පිළිබඳව විවිධ අර්ථකථන දෙන්න පටන් ගත්තා. මේක මගේ ජීවිතයේ සුවිශේෂී තැනක්. ඒකට හේතුව මම තමයි නොරොච්චෝලේ ගල් විදුලි බලාගාරයේ ගල් අඟුරු දහනය වීමෙන් පසු ඉතිරි වන අළුවලින් ලංකාවේ ප්‍රධාන වාරි ව්‍යාපෘති වන කළු ගඟ, මොරගහකන්ද වැනි ව්‍යාපෘති සඳහා සැපයීම ආරම්භ කරන්නේ. මම ඒ අළු යොදාගෙන විවිධ පරීක්ෂණ සිදුකරන්න පටන් ගත්තා. අවසානයේදී අළු මගින් (Flyash) යොදාගනිමින් විවිධ නිෂ්පාදන මම නිර්මාණය කළා. ඇත්තටම ඒක අළු මගින් පරිසර පද්ධතියට වන හානිය අවම කරන්න සමත් වුණා. ඒක මට ලොකු සතුටක්.”

ගයාන් කාරියවසම් අතීතය හෙළි කරන්නේ හිතෙහි උතුරා යන පුදුමාකාර සතුටකිනි. අපි ඔහුට තවත් බාධා නොකළෙමු. මේ නව නිර්මාණයන් තුළින් රටේ ප්‍රශ්න රැසකට පිළිතුරු සොයාගත් ආකාරය ගැන ඔහු නැවත කියන කතාවය.

“ලෝකයේ සෑම නිර්මාණයක්ම බිහිවන්නේ මිනිසාගේ දියුණුව උදෙසායි. මම නිෂ්පාදනය කරපු Flyash ගඩොලත් එවැනි දෙයක්. අද බොහෝ දෙනෙක් Flyash කියන නම නොදන්නා තරම්. මේ නිර්මාණය බිහිවන හැටි ගැන කිව්වොත් මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා.

නිර්මාණයක උපන් කතාව

ගයාන් කාරියවසම්

ගයාන් කාරියවසම්ට අපට කියන්නට තව ලොකු කතාවක් ඇත. කතාවට කියන පරිදි සාර්ථක ප්‍රතිඵලයක ආරම්භය ලෙහෙසි පහසු නැත. එය දුෂ්කරය. ඒ සඳහා නිර්මාණකරුවාගේ නොපසුබස්නා උත්සාහය ද තිබිය යුතුය. ඉවත දමන අළු දූවිල්ලෙන් විශිෂ්ට නිර්මාණයක් තනන්නට අප කතානායකයාට හැකිවන්නේ ද ඔහු තුළ තිබූ නොපසුබස්නා උත්සාහය නිසාය. ඒ අනුව නොරොච්චෝලේ බලාගාරයෙන් නිකරුණේ මිහිතලයට පතිත වන අළු දූවිලි නිසා සිදුවන පරිසර හානිය අවම කරන්නටත්, පස් වළවල් කැපීමෙන් පරිසරයට සිදුවන හානිය අඩුකර ගන්නටත් හැකි ගඩොලක් තනන්නට ඔහුට වැඩි කලක් ගතවන්නේ ද නැත.

සොබාදහමට ඇලුම් කරන මේ සුන්දර නිර්මාණකරුවා තම නිමැවුම ගැන නැවත අප ඉදිරියේ සිය අදහස් වචනවලට පෙරළන්නට විය.

“මට මතකයි අපේ රටේ විදුලි සැපයුම් අවශ්‍යතාවය ගැටලුකාරී තත්ත්වයක පවතිනකොට නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ඉදිවීමත් සමග එය රටේ ජාතික විදුලි පද්ධතියට විශාල පිටිවහලක් වුණා. හැබැයි ඒත් එක්කම විදුලිය නිපදවීමට භාවිත කරන ගල් අඟුරු දහනයෙන් පසු ඉතුරු වන අළු දූවිලි නිසා සිදුවන පරිසර හානිය ගැන එකල සිට ම බොහෝ පිරිස් කතා කරන්නට ගත්තා. ඒ වගේම අද වනවිට ලෝකයේ බොහෝ රටවල් ගල් අඟුරු භාවිත කර විදුලිය නිපදවීමෙන් සිදුවන පාරිසරික හානිය නිසා පුනර්ජනනීය බලශක්තියට යොමු වී තිබෙනවා. ඒත් අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් නිසා එතැනට යන්න තව බොහෝ කලක් ගතවේවි. එකල මේ අඟුරු බලාගාරය ගැන විවිධ විවේචන, විරෝධතා මතු වෙන්න පටන් ගත්තා. එතැනදී නිර්මාණකරුවකු වශයෙන් මම කල්පනා කරා මොකක්ද මගේ රටට මට කරන්න පුළුවන් දේ ගැන. එතැන් සිට තමයි මගේ නව නිර්මාණය බිහිවෙන්න පටන් ගන්නේ. ගල් අඟුරු දහනයෙන් පසු ඉතිරිවෙන අළුවලට සිමෙන්ති ඇතුළු තවත් ද්‍රව්‍ය කිහිපයක් යොදාගෙන තමයි මම ගඩොල නිර්මාණය කරන්නේ. ඇත්තටම ඒක සීයට සීයක්ම සාර්ථක නිර්මාණයක්. අද වෙනකොට එය භාවිත කොට විවිධ ගොඩනැඟිලි, නිවාස ඇතුළු බොහෝ නිර්මාණ අඩු වියදමින් මේ රට තුළ බිහිවෙනවා. ඇත්තටම ඒක මට කියාගන්න බැරි ලොකු සතුටක්.

මුහුදු කෑමෙන් රට බේර ගන්නත් අලුත් වැඩක්

“දූපතක් වෙන අපේ රට වර්තමානය වනවිට දැවැන්ත මුහුදු ඛාදනයකට ලක්ව තිබෙනවා. මගේ මීළඟ සැලසුම තමයි අළුවලින් මුහුදු ඛාදනය වැළැක්වීමට රක්‍ෂිත ගල් නිර්මාණය කරන්න. මොකද අද වනවිට අපේ රටේ මුහුදු ඛාදනය වැළැක්වීමට යොදා ගන්නේ කළු ගල්වැනි පරිසරය සම්පත්. සීමාවක් නැතුව රට තුළ තිබෙන කළුගල් කැඩීම නිසා අද පරිසරය විනාශ වීම වගේම රටේ ජනතාව පවා පීඩාවකට පත්ව සිටිනවා. ඉදිරියේදී මේ සියලු ගැටලුවලට පිළිතුරක් ලෙස මම ඒ නිර්මාණය හඳුන්වා දෙනවා.

ගයාන්ගේ මේ නව නිර්මාණය අද වනවිට රටෙහි දුප්පත් ජනතාවට ද හිසට සෙවණක් සාදා ගැනීමට පිහිටුවන්නකි.

“මගේ නිර්මාණය තුළින් අද වනවිට අඩු ආදායම්ලාභී පවුල්වලට අඩු මුදලකට නිවසක් තනාගැනීමට අවස්ථාව හිමිවෙනවා.”

ගයාන් කාරියවසම්ට කියන්නට තවත් ලොකු කතාවක් ඇත්තේ ය. ඒ මෙවැනි දේශීය නිර්මාණ රටේ සංවර්ධනයට යොදා ගැනීම තුළින් රටේ මුදල් පිටරටට ගලා යා නොදී රැකගැනීමට හැකිවන බවය. අකැමැත්තෙන් හෝ අපි ඔහුට සමුදුන්නෙමු. අපේ පැතුම ඉවතලන දෙයින් පවා රටට වැඩක් කළ හැකි මෙවැනි මිනිසුන් ඉදිරියේදී මෙරට තවත් මෙරට බිහිවේවාය යන්න ය.

හසිත අඹතැන්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here