අස්ගිරි මහා සංඝ සභාවේ උතුම් වූ අනුනායක ධුරයෙන් ආශිර්වාද ලබන පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයෝ

0
1

එදා සම්බුදුරදුන් වැඩ සිටිය දී උට්ඨාන වීර්යවත් භික්‍ෂූන් අතර, සෝණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අග්‍රස්ථානය ලබන බව ප්‍රකාශ කළහ. අද වැනි දිනක සම්බුදුරදුන් වැඩ සිටියා නම් සමහර විටෙක මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මඟුල් මඬුවේ දී 2025 ඔක්තෝබර් මස 03 දින

ප.ව. 2.00 ට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක පදවිය පිළිබඳ සිය සන්නස් පත්‍රය ලබති. අතිපූජ්‍ය නාරන්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත එම පදවිය හිමිවන තරමට ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික ආදී සෑම අංශයක්ම වෙනුවෙන්ම අසීමිත සේවයක් සිදු කරමින් වැඩ සිටින බව මුළු මහත් සමාජයේම පිළිගැනීමයි. එය උන්වහන්සේගේ චරිත කථාව විමසන විට මැනවින් පැහැදිලි වනු ඇත.

කන්දඋඩරට දුම්බර මිටියාවතේ නාරන්පනාව නම් සුන්දර ග්‍රාමයේ දී ඩබ්ලිව්. එම්. විජේරත්න බණ්ඩා නිලමේතුමාගේ සහ වනිගසේකර මුදියන්සේලාගේ ලොකු මැණිකේ මාතාවගේ පුත්‍රරත්නයක්ව 1965 පෙබරවාරි 10 දින උපත ලැබූ ජයරත්න බණ්ඩා පුතණුවන් සුදුසු වයස් හිදී නාරන්පනාව මහා විද්‍යාලයට ඇතුළත්ව 10 ශ්‍රේණිය දක්වා ඉතා දක්‍ෂ ලෙස අධ්‍යාපනය ලැබීය. පැවිදි දිවිය කෙරෙහි කුඩා අවධියේ පටන් ඇලුම් කළ ජයරත්න කුමරුවා තම සිත වඩාත් ඇදීගිය මහනුවර අස්ගිරි මහා පිරිවෙනේ ආදිකතෘවර, බදුලු මුතියංගණ රාජමහා විහාරාධිපතිව වැඩසිටි විද්‍යා විශාරද පණ්ඩිත අතිපූජ්‍ය හාල්යාලේ ශ්‍රී සුමනතිස්සාභිධාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයකු ලෙස නාරන්පනාවේ ආනන්ද නමින් 1981 ජනවාරි 25 වැනි දින පැවිදි බිමට පත්විය.

විශ්ව කීර්තියට පත් තම ආචාර්යයන් වහන්සේ ඇසුරෙන් මෙන්ම උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද අස්ගිරි මහා විහාර පිරිවෙනෙන් 1981 සිට දෙවර්ෂයක කාලයක් මූලික අධ්‍යාපනය ලබා එවකට මහත් කීර්තියක් පැතිර තිබූ පැපිළියාන ශ්‍රී සුනේත්‍රාදේවි මහා පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීණ විභාගයන්ටත්, උසස් පෙළ විභාගයටත් පෙනී සිට උසස් සමාර්ථයක් ලැබීමට තරම් දැනුමක් හිමි කරගත් අතර, ධර්ම දේශනා පිරිත් දේශනා සහ ආගමික උත්සව ආදිය සංවිධානය කිරීම පිණිස අවශ්‍ය දැනුම හා ඒ පිළිබඳ දක්‍ෂතාව ද ලබා ගත්හ. පිරිපුන් විසිවයසට පැමිණි කල්හි 1986 ජුනි මස 06 වැනි දින විද්‍යා විශාරද පණ්ඩිත අතිපූජ්‍ය හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් නාරන්පනාවේ ආනන්ද හිමියෝ අධිසීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.

පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියෝ 1985/1986 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයන විශේෂවේදී උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථ්‍යය සහිතවත්, කැලණිය විශ්වවිද්‍යාලයානුබද්ධ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියත් හිමිකර ගත්හ. එසේම 1996 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපන ඩිප්ලෝමාව ලබාගත්හ.

රෝගි තත්වයෙන් පසුවූ අතිපූජ්‍ය හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හදිසියේ අපවත් වූයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් සදහා ලැබුණු ආරාධනව ප්‍රතික්ෂේප කොට ඒ වනවිට මහත් පරිහානි තත්ත්වයක පැවැති අස්ගිරි මහා විහාර මහා පිරිවෙන කෙසේ හෝ යළි නඟාසිටුවීමට අධිෂ්ඨානයෙන් කටයුතු කළහ. 1991 දී නාමයට පමණක් සීමා වී පැවැති අස්ගිරි මහා විහාර පිරිවෙන පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, හිංදි, දෙමළ ආදී භාෂාවන්ගෙන් හා දේශන කුසලතා ආදී බාහිර අංශයන්ගෙන් ද අනුක්‍රමයෙන් දියුණුවට පත්කොට මේ වනවිට පැවිදි සිසුන් 400 කට අධික ප්‍රමාණයක් මූලික ශ්‍රේණියේ සිට ප්‍රාචීණ අවසාන ( පණ්ඩිත උපාධිය ) දක්වා අධ්‍යාපනය ලබන ලංකාවේ ප්‍රමුඛතම භික්ෂු ආයතනය බවට පත්කර ඇත. සෑම වර්ෂයකම දෙස් විදෙස් සිසුන් වැඩිම ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීම, ශිෂ්‍ය සාහිත්‍ය කලා උත්සව පැවත්වීම ආදී මෙතෙක් පිරිවෙන් ක්ෂේත්‍රයේ නොතිබූ නව අංග අස්ගිරි මහා පිරිවෙන තුළ ක්‍රියාත්මකව පවතී.

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නියුක්තවූවකු හට වෙනත් අංශ කෙරෙහි සිත් යොමු කිරීම එතරම් පහසු නොවූවත් අපේ ආනන්ද හිමිපාණෝ එක් අංශයකට පමණක් සීමා නොවී අංශ ගණනාවක් කෙරෙහි ඉතා සාර්ථකව සිත මෙහෙයවා ක්‍රියා කළහ. 1997 දී අස්ගිරි විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය පදවියකට පත් වූ අතර, 1998 දී අස්ගිරි විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ සභික ධුරයකට ද 2000 වර්ෂයේ දී එම කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි තනතුරට ද පත්ව ඉතා සාර්ථකව මේ දක්වා ක්‍රියා කළහ. 1998 සිට ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතුවල නියැළුණු අතර, 2018 වර්ෂයේ සිට තේවාව භාර නායක හිමිපාණන් වශයෙන් ඉතා සාර්ථකව කටයුතු කරමින් පසුවෙති. ඓතිහාසික මහනුවර නගරය පුරා ප්‍රදර්ශනය වන අන්දමට සුවිසල් ලෙස අස්ගිරි මහා සෑය ඉදිකිරීම ආශ්චර්යජනක සිදුවීමකි. අස්ගිරි මහා පිරිවෙනෙහි ඉඩකඩ සීමීත වු බැවින් 2013 වර්ෂයේ දී තෙල්දෙණිය, විල්අමුණ නාලන්දා මූලික පිරිවෙන ආරම්භ කොට එය ශීඝ්‍රයෙන් දියුණු කිරීම නිසා අස්ගිරි මහා විහාර පිරිවෙනට පමණක් දෙවැනි වන තත්ත්වයෙන් එය පවත්වාගෙන යෑමට හැකිව තිබේ.

2013 වර්ෂයෙහි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් 2015 වර්ෂයෙහි ජනාධිපති උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් 2016 සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ සාමාජිකයකු ලෙසත් අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක නාහිමිපාණන් වහන්සේ නියෝජනය කරමින් තවත් සංවිධාන කිහිපයකත් සාමාජිකත්වය දරමින් සිදුකරන සේවය විශාල ය. ආසියානු බෞද්ධ සාම සම්මේලෙනය, ලෝක බෞද්ධ සංඝ සම්මේලනය වැනි ජාත්‍යන්තර සංවිධාන කිහිපයකම ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් ද කටයුතු කරති. ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන බොහෝ විද්‍යුත් නාළිකාවල වැඩසටහන්වලට නිරන්තරයෙන් ඉදිරිපත්ව ක්‍රියාත්මක කිරීම වැදගත් ය. කවර ස්ථානයක දේශනයක් පැවත්වුවත් එය අස්ගිරි මහා විහාර සම්ප්‍රදාය ගෞරවාන්විතව ආරක්‍ෂා කරමින් අර්ථවත්ව මෙන්ම හරවත්ව පැවැත්වීම වැදගත් ය. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමග දැඩි සබඳතාවක් ඇතිව කටයුතු කිරීම සම්බුද්ධ ශාසනයේ චිර පැවත්ම සඳහා හේතු වී පවතී.

ඉහත සඳහන් පරිදි අසීමිත සේවාවක් සිදු කරමින් වැඩ සිටින අස්ගිරි මහා විහාර පරිවේණාධිපති, අස්ගිරි මහා විහාර කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී තනතුර හෙබවූ පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ ශ්‍රීමත් මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව මගින් අතිපූජ්‍ය අනුනායක ධුරය පිරිනැමීම ගිහි පැවිදි සෑමදෙනාගේම ප්‍රසාදය පිණිස හේතු වී ඇත. අතිපූජ්‍ය නාරන්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උදාර සේවාවක් තවදුරටත් සිදු කිරීම සදහා උතුම් වූ දළදා වහන්සේගේ ආශීර්වාදය ලැබේවා. !

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි
මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ
කොළඹ නව කෝරළයේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
සද්ධර්ම කීර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය
ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්ම ජෝතික
උපාධ්‍යාය, ආචාර්ය පූජ්‍ය
දිවියාගහ යසස්සි නාහිමි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here