අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටු කිරීම ගැන ඔබේ අදහස මොකක්ද කියලා ඇහුවොත් ඔබට දෙන්න විවිධ පිළිතුරු තියනවා නේද? බොහොම කැමැත්තෙන් ඒවා කරන අය වගේම “ඕවා මහ මිථ්‍යා දේවල්” කියන අයත් අපි අතර ඕනෑතරම් ඉන්නවා.
නමුත් මේ හැමදෙයක්ම කාලයක් පුරා පැවතෙන්නට යම් පදනමක් තියෙනවා.නැතිනම් ඒ දේවල් චාරිත්‍රයක් ලෙස පැවැතගෙන එන්නේ නෑ.ජොතිෂ්‍යයට අනුව මේ අලුත් අවුරුදු නැකැත් කිරීමේ වැදගත්කම හොයලා බලන්න අපිට හිතුණා.ප්‍රවීණ ජෝතිශ්‍යවේදිනි එන් සංගක්කාර මහත්මියගෙන් මේ ගැන අපි දැනගත් දේවල් තමයි මේ.
ග්‍රහයන්ගේ සුබ කිරණ එන වෙලාව තමයි නැකතක් කියන්නේ.අවුරුද්ද කියන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන අවස්ථාවට.මේෂ රාශිය සූර්යයාට බලවත්ම මාසය.අප්‍රේල් හෙවත් බක් මාසය කියන්නේ සූර්යයා බලවත්ම මාසයටයි.රවි රජ වෙන මාසය කියලත් බක් මාසය හඳුන්වන්නේ.සුබ කිරණ තියෙන නැකැත් මොහොතක අලුත් කටයුත්තක් කිරීම සුබ ඵල ලැබෙන ක්‍රියාවක්.
ග්‍රහයන්ට විවිධ බලපෑම් ඇති කළ හැකි පාට සහ දවස් තිබෙනවා.අතීතයේ ඉඳන්ම ඒ ග්‍රහයන්ගේ දවසට ඒ නියමිත පාට ඇඳීමෙන් දවස අයත් ග්‍රහයාගේ ආකර්ෂණය අපිට ලබා ගන්න පුලුවන්. නැකැත වෙනුවෙන් පාටක් ලබා දෙන්නේ ඒ නැකැතෙන් ලබා ගත හැකි උපරිම ප්‍රයෝජනය ලබා ගන්නයි.
ඉස්සර ගනුදෙනු චාරිත්‍රය ළිඳ සමඟ කළා.දැන් එහෙම අපහසු නිසා අපිට කෙලින්ම බැංකුව සමඟ ගනුදෙනු කරන්න පුලුවන්.කැටයකට සල්ලි දාන්නත් පුලුවන්.නැත්නම් ගෙදර මුළුතැන්ගෙයි ජල කරාමය හොඳින් සුදු රෙද්දකින් ගැට ගහලා තියලා නැකැත් වෙලාවට ඒ හරහා වතුර එකක් ලබා ගන්නත් පුලුවන්.ඒ බෝතලය බුදුපහන තියෙන තැන තියන්න.ඊළඟ වසරේ ඉවත් කරන්න.නැත්නම් බුලත් හෙප්පුවක් හදලා ඒකට කාසි දාලා දරුවන්ට එතනින් කාසි අරන් දෙන්නත් පුලුවන්.නැත්නම් ගෙදර එකිනෙකා බුලත් කොළයේ එතූ මුදල් හුවමාරු කර ගන්නත් පුලුවන්.
හැබැයි මේ හැම වැඩකදීම ගෘහණිය මූලික වෙනවා නම් මුළු ගෙදරම ඔබ අනුව එයි.ඒ නිසා නැකතට ආහාර පිසීම, නැකතට අනුභවය වගේ දේට ගෙදර අය යොමු කරවන අතරේ අනිවාර්යයෙන් වැඩ ඇල්ලීමේ චාරිත්‍රයටත් මුල්තැන දෙන්න. ඒ නැකත නුවණ වැඩෙන සුබ කිරණ නිකුත්වෙන මොහොතක් නිසා දරුවන්ට පාඩමට යොමු වෙන්න මතක් කරන්න.
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු චාරිත්‍ර කිරීම ජෝතිශ්‍ය විද්‍යාව අනුව වැදගත් වෙන්නේ මේ දේවල් නිසා.ඔබට පුලුවන් ඒවා ඉදිරියට ගෙන යන්න.අවැඩක් නැති නිසාත් පවුලේ සමඟියට මේ අපූරු චාරිත්‍ර බොහොම උදව් වෙන නිසාත් අපි මේ අවුරුද්දේ අලුත් අවුරුදු චාරිත්‍ර හරියටම කරලා බලමු නේද?
Saru FM Media