මොනවද ඔය බරටම…. පුතාට පොත් ගත්තද….? ඇගේ මල්ල පිරී තිබුනේ පිලිවෙලක් නැති කඩදාසි රෝල් වලින්. ඒ අතර තවත් පොත් කීපයකුත් තිබුනා. දැනට පාසල් යන වයසේ දූ දරුවනුත් නැති මේ කාන්තාවගේ මේ තරම් කඩදාසි ගොන්නක් මොකටදැයි මට හිතුනා. ඒත් මේ ප්‍රශ්නය ඇහුනේ ඇය මහත් අසීරුවෙන් මේ කඩදාසි ගොන්න සමග තිබුන අරගලය නිසයි.
නෑ අනේ කැලැන්ඩරයි…දින පොතුයි.
සමහර විට කැලැන්ඩර් සහ දිනපොත් ව්‍යාපාරයක් කරනවාදැයි අහන්න හිතුනත් මැදිවියත් ඉක්මවා සිටින ඇයගෙන් එවන් ප්‍රශ්නයක් ඇහුවොත් එය ඇගේ ගරුත්වයට හානියක් වෙන්න පුලුවන් නිසා මම නිහඩ වුණා.
ඒත් මේ තරමටම දිනපොත් සහ කැලැන්ඩර් මොකටදැයි මට තනියම හිතුනා. එක් දිනපොතක් වසරටම ඇති. ඒ වගේම උපරිම විදිහට කැලැන්ඩර් දෙකක් හෝ තුනක් නිවසකට මදිද…? නමුත් අද මේ වෙනුවෙන් ඇති අරගලය ඔබටත් මේ දිනවල සුලබ දසුනක් වෙන්න පුලුවනි.
විශේෂයෙන් කන්තෝරුවල නම් මේ තත්වය ඉතාම සුලබයි. ගණුදෙණුකරුවන් ඒ ආයතනයට කැලැන්ඩර් සහ දිනපොත් ගෙනැවිත් දෙන්නේ කාර්යාලයේ හැම දෙනාටම බෙදා හදා ගන්න. ඒත් මේවා බොහොම වටිනා විදිහට සලකමින් සමහ අය තවත් කෙනෙකුට ඒවා බෙදා දීමක් කරන්නේම නැහැ. රහසේම සගවා ගෙන තුමූ පරිභෝජනයට පමණක් යොදා ගන්නවා. එය හෙලිදරව් වූවොත් එකම ආයතනයේ සේවයේ යෙදෙන අය අතර පවා මත ගැටුම් ඇති වෙනවා කියන්නේ වසර පුරාවටම කටයුතු කිරීමට සිද්ධ වෙන්නේ මේ නොහොඳ නෝක්කාඩු හිතත් සමගයි.
විශේෂයෙන් රජයේ කන්තෝරුවල උදවිය වසර අවසානයේදී සැපයුම්කරුවන් වෙතට ගොස් දිනපොත් සහ කැලැන්ඩර් ඉල්ලා සිටිනවා. එය එක් තැනකින් නවතින්නේ නැහැ. සියලු සැපයුම්කරුවන් වෙතට යන අතර ඒ වෙනුවෙන් වැය වෙන්නේ රජයේ ඉන්ධනයි. මෙසේ ලබා ගන්නා දිනපොත් සහ කැලැන්ඩර් ආයතනයේ අය අතර බෙදා දීමකුත් නැහැ.
සමහර අය අනවශ්‍ය විදිහට කැලැන්ඩර් එකතු කරන විට “ගෙදර බිත්තිවල හිදැස් වහන්නද….?” වැනි උපහාසාත්මක ප්‍රශ්නත් නැගෙනවා. ඒත් එකතු කරන අයට නම් ලැජ්ජාවක් නැහැ. සාමාන්‍ය කට වහරට කියනවා වගේ ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා වැඩියිනේ… හැබැයි යාන්තමින් හෝ විනයක් තිබෙනවා නම් මේ එකතුකිරීම එතැනින් නවත්වනවා. ඒත් මේ කැලැන්ඩර් සහ දිනපොත් එකතු කරන අයගේ ඇබ්බැහිවීම නිසා උපහාස සහ අපහාස ඉදිරියේ වුනත් ඔවුන් තමන්ගේ පුරුද්ද නවත්වන්නේ නැහැ.
කැලැන්ඩරයක් සහ දිනපොතකින් ලැබෙන ප්‍රයෝජනය ඒ අවුරුද්ද ගෙවුනාම අවසානයි. අනවශ්‍ය විදිහට මේ ගොඩගැසීම නිසා කාලයත් සමග නිවසේ කුණු කසල ගොඩ ගැසෙනවා.. ඒ නිසා කෘමි සතුන් විතරක් නොවෙයි, අඳුරු අහු මුළු නිසා මදුරුවනුත් බෝවෙනවා. අනවශ්‍ය විදිහට ගොඩ ගසා ගැනීම් නිසා විශ්ව ශක්තියටත් බාධා ඇති වෙන බවටත් යම් යම් අදහස් තිබෙනවා. ඒ කොහොම වුනත් වටපිටාවේ තිබෙන කුණු කසලත් නිවසේ පුරවා ගෙන ඇති වෙන්නේ ඉතාම අපිළිවෙලක්.
සමහර නිවෙස්වල පුංචි දරුවන්ට කුරුටු බලි අඳින්න, කෙටි සටහන් ලියන්න, කටුවැඩවලට කළමනාකරණ දිනපොත් පවා ලබා දෙන අවස්ථා තිබෙනවා. වසර මුලින් බොහොම දුක් කරදර විදගෙන ලබා ගත්තු දිනපොත් පාවිච්චියට ගත නොහැකි තැනට පත් වුනාම රුපියල් දහය දොළහකින් සිද්ධ වෙන කටයුතු වෙනුවෙන් ආදේශක විදිහට යොදා ගන්නවා.
ඉවක් බවක් නැතුව දකින දකින තැනින් දිනපොත් කැලැන්ඩර් එකතු කර ගෙන අන්තිමේදී නිකම්ම කුනු බක්කියට එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට විනාස කිරීම එතරම් හොඳ දෙයක් නොවෙයි, ඊට හේතුව මේ වෙනුවෙන් ආයතන විසින් වැයක් දරනවා. ඔවුන් මේ විදිහට දිනපොත් සහ කැලැන්ඩර් පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ බොහාම සද්බාවයෙන් ඔවුන් වෙනුවෙන් යම් ඇගයීමකින්. ඒ නිසා අපි ආයතන හිමියන්ගේ පාර්ශවයෙනුත් හිතන්න අවශ්‍ය වෙනවා.
සමහර අවස්ථාවලදී තමන්ගේ දරුවන් සමග මේ තැන්වලට ගිහින් කැලන්ඩර් , දිනපොත් ඉල්ලමින් ආයතනවලට කරදර කරන වැඩිහිටියනුත් සිටිනවා. ඒත් මේ ආදර්ශය එතරම් සුදුසු නැහැ. සීමාවක් නැතුව මේ විදිහට කරන ලුහුබැඳීමට අනාගතයේදී දරුවනුත් හුරු වෙනවා. ඒ නිසා දිනපොත්, කැලැන්ඩර් සිඟමන ඔබේ අභිමානයටත් ගැලපෙන දෙයක් නොවෙයි. ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට වුනොත් එතැනින් නවතින්න. එක දිනපොතක් … උපරිම කැලැන්ඩර් දෙකක් හොඳටෝම ඇති.
Saru FM Media