ස්වර්ණා මල්ලවආරච්චි
කෙනකුගේ ආදරය දිනාගැනීම සඳහා සහ වසඟ කර ගැනීම සඳහා වශීකරණ භාවිත කිරීම මධ්‍යකාලීන යුරෝපයේ ගුප්ත අභිචාරමය ක්‍රියාවක් විය. එය මධ්‍යකාලීන සාහිත්‍යයෙන් මෙන් ම එම යුගයේ කථා පුවත් වටා ගෙතුණු පසුකාලීන ඔපෙරාවලින් ද පැහැදිලි වේ. ඒ වශී බන්ධනයන් පානය කරන දෙයක් වූ අතර වයින්, තේ, ශාක සාරය සහ ජලය ඒ වෙනුවෙන් භාවිත විය. එකී ආදර වසඟ පානය සොක්‍රටීස්ට ලබාදුන් හැම්ලොක් විෂ බඳුනේ ප්‍රතිපාර්ශ්වය විය. එනමුත් ඒ වෙනුවෙන් භාවිත කරන ලද ග්‍රීක් වචනයේ විෂ හා ඖෂධ යන අර්ථ දෙක ම ගැප් වූ බව ‘ප්ලේටෝස් ෆාමසි’ කෘතියේ දී ඩෙරීඩා පෙන්වා දෙයි. රතු ඉන්දියානුවෝ ඒ වශීය තනන්නේ බීවරයන් නම් ජලාශ්‍රිත සතුන්ගේ අණ්ඩකෝෂවලින් වන අතර ඔස්ටේ්‍රලියානු ආදිවාසීහු ඒ සඳහා කැන්ගරු අණ්ඩකෝෂ භාවිත කරති. ශ්‍රී ලංකාවේ ඒ සඳහා වැඩි වශයෙන් භාවිත වන්නේ සීනි බව මා දැනගත්තේ රත්නපුර කලවානේ සමන්පුර චිත්‍ර ගුරුවරයකු වෙතිනි. නන්දාගේ සිත ගැනීම සඳහා පියල් ඉස්කෝලේ මහත්තයා අඳුනක් කැවී ය යන කතාව මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියේ කියැවේ.
සිංහල සිනමාව තුළ මිනිස් මුහුණේ මනස්කාන්ත වශීකරණ යුගය රුක්මනී දේවි මහත්මියගෙන් ආරම්භ වී ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගෙන් අවසාන වේ. මිනිස් මුහුණේ ඒ රැස් වළල්ල ගලවා විසි කළ මෙරට රූපවාහිනිය මිනිස් මුහුණ ඩමියක්, කෙටි කලක් පාවිච්චි කර ඉවත දමන ඩිස්පෝසබලයක්, වෙළෙඳ භාණ්ඩයක විසිතුරු ඇසුරුමක්, රබර් කොපුවක් බවට පත් කළේ ය. එයිනිදු නතර නොවී එය පුද්ගලික ජීවිතය නමැති පාරෙන් අහුලාගෙන නැවත පාරෙහි ම දමා යන පොට්ට කාසියක් බවට පත් කර ඇත.
හැටේ දශකය අවසාන භාගයේ සහ හැත්තෑව දශකයේ ඇති වූ කලාත්මක සිනමා පුනරුදයේ සමාරම්භය සහ ස්වර්ණා මල්ලවආරච්චිගේ මුහුණ අතර ඇත්තේ එකට එකේ සම්බන්ධයකි. සත්සමුදුර, හන්තානේ කතාව, නිම්වළල්ල හා අහස්ගව්ව තුළ ඒ හත්දින්නත් තාරකා උපත සිදු විය. ඇගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය අවධිය එහි ම සලකුණු වූයේ සිංහල සිනමා මුහුණේ වශීකරණ අවධිය ඒ සමග ගෙවී ගිය හෙයිනි.
ඉන් මතු එළැඹුණු යුගය තුළ ඇය පරිණත වූයේ රිදීතිර ප්‍රේක්ෂකයාගේ ගැහැනු අනෙකා නිරූපණය කරන්නියක ලෙසිනි. හංස විලක් චිත්‍රපටයේ ඇය විවාහක පවුලක් බිඳ දැමීමේ ගර්හාවට ලක්වන්නියකි. සුද්දීලාගේ කතාවේ ඇය ලිංගිකත්වය ජීවන මාර්ගය කරගත් පිටිසර වන්නියේ සැබෑ දිළින්දිය වූවා ය. ඇය රෝමන් පොලාන්ස්කිගේ පියානෝ වාදකයා මෙන් නොමැරී ජීවත්වීමේ කලාව එහි ප්‍රගුණ කරයි. දඩයම චිත්‍රපටයේ චපල පෙම්වතාගෙන් පලිගැනීමට තැත් කරන්නියක වූ ඇය, බිහිසුණු ලෙස රෝම වෙරළේ මරා දැමුණු මහා පැසොලීනී හා සමාන ඝාතනයකට ලක් වේ.
ජනප්‍රිය රිදීතිර නිළියක නොවන්නියක සමාජ යථාර්ථය තුළ ජීවත්වන බවත්, ඇය තමා මිස අනෙකකු නොවන බවත් ඇය අපට නැවත නැවත කියා සිටින්නී ය. එනයින් ප්‍රබුද්ධ සිංහල සිනමාකරුවා විසින් ගොඩනඟන ලද සිනමා කේතයන් වෙනුවෙන් ඇය සිය සිනමා දිවිය කැප කළා ය. ව්‍යුහවාදී යුගයේ සිදුවූ සිය සිනමා උපතේ දී කාන්තා තාරුණ්‍යයේ සංඥාව වූ ඇය සිය පශ්චාත්-ව්‍යුහවාදී අවධියේ දී, එනම් අසූව දශකය ආරම්භය තුළ, හංස විලක් චිත්‍රපටයේ සිට පාවෙන හඟවන්නියක් ලෙස, ස්වකීය තාරුණ්‍යයේ නාරි අලංකාරයේ රොටොරිකයෙන් සපුරා බැහැර වන්නී ය. එතැන් පටන් ඇය ධනේශ්වර සමාජය තුළ පිළිසරණ අහිමි ව ගිය ස්ත්‍රියගේ කටුක යථාර්ථය නිරූපණය කරයි.
හැඟුම්බර පැරණි රොටොරිකය වෙනුවට ඇය එතැන් සිට භාවිත කරන්නේ කෝපාවිෂ්ටයේ, සාපයේ සහ සාපරාධී වසඟයේ අපවිත්‍ර රොටොරිකය යි. එය ජුලියට් බිනෝකි බවට පත් වුණු අප ග්‍රේටා ගාබෝ, ටැරෙන්ටිනෝගේ හෝ කිල් බිල් අධ්‍යක්ෂකගේ හෝ ඌමා ටෲමන් වීමකි. ඒ අනුව ස්වකීය තාරුණ්‍යයේ සංඥාව විලෝපනය කරමින් ඉබාගාතේ යන පශ්චාත්-ව්‍යුහ හඟවනයක් ලෙස දෙවෙනි ස්වර්ණා මල්ලවආරච්චි අපට හමු වේ. එය ඇය දායක වූ හැටේ දශකයේ සිනමා සංඥාවේ ශෝචනීය හා අනිවාර්ය විකාශනය යි. ඉන් පසු ඇය මැවූ සෑම චරිතයක ම පාහේ මේ ශෝචනීයභාවය දැකගත හැකි වේ.
එය සානුකම්පිත තත්ත්වයක් නොව ලාංකේය ධනේශ්වර විකාශනය තුළ මධ්‍යම පංතික ස්ත්‍රී පෙරමුණේ යථාර්ථය යි. ඒ අනුව ස්වර්ණා මල්ලවආරච්චිගේ දෙවෙනි අවධිය වූ කලී මෙරට කාන්තා ධනවාදයේ නග්න පිළිබිඹුවකි. මෙරට කාන්තාවන්ගේ බහුතරයක් සමාජ දේශපාලනික ජීවිතයේ දී ව්‍යසනයට පත් වේ. ගැහැනියක හා මවක ලෙස ජීවවිද්‍යානුකූල ජීවිතයේ දී පියොවුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, ආත්‍රයිටිස් ආදී විවිධ රෝගාබාධවලට ලක්වෙයි. මෙම ද්විත්ව ව්‍යසනයන් මැද ගැහැනිය ධනේශ්වර වෙළෙඳ පොළේ ප්‍රධාන වෙළෙඳ රූපය බවට පත්වන අතර, භාණ්ඩ මිල දී ගන්නිය හා විකුණන්නිය ලෙස නූතන පුරාවෘත්තයක් බවට පත් වෙයි. කිරිපිටි, බටර් හා සුවඳ විලවුන් වෙළෙඳාමේ සිට දරු ප්‍රසූත, ප්ලාස්ටික් සර්ජරි, ජිම්, ෆැෂන් සහ පිළිකා බෙහෙත් වෙළෙඳ පොළ දක්වා ස්වකීය විපරිණාමය සලකුණු කිරීමට ගැහැනියට සිදු වේ.
ස්වර්ණා මල්ලවආරච්චිගේ සිනමා රංගනයේ විප්ලවීය අන්තර්ගතය හෙවත් අඩංගුව ඇති වන්නේ එකී ධනේශ්වර පෙර ඇණවුම කලාවේ අතිමහත් ශක්තියෙන් එකහෙළා ප්‍රතික්ෂේප කිරීමටත්, ජනතාවාදයට නොවැටී සිය සෑම ස්නායු තන්තුවකින් ම ඊට අභියෝග කිරීමටත් දක්වන භාව ප්‍රකාශන හැකියාවෙනි. ඇය සිය අභීත රංගන ශෛලියෙන් ප්‍රති-ධනේශ්වරවාදයේ රැඩිකල් ප්‍රකාශනයට සිය අත්සන හා මුද්‍රාව තබයි. එය කොමියුනිස්ට් ප්‍රකාශනයේ ආශීර්වාදය යටතේ ඩාඩාවාදීන්ගේ, අධියථාර්ථවාදීන්ගේ ප්‍රකාශනයකට අත්සන හා මුද්‍රාව තැබීමකි.
ඇගේ රංගන කලාවේ මූලයන් ගොතික් කලාවේ බිය දනවන දිගටි, කැහැටු, පරුෂ රූපයන් තුළ හඳුනා ගත හැකි වේ. සිනමාවේ හුරුපුරුදු සුකොමළ, ළද බොළඳ, ප්‍රේමණීය නොවන අනෙක් ගැහැනිය තුළ වාසයට පැමිණීමෙන් ස්වර්ණා මල්ලවආරච්චි නම් නළඟන බිහි වෙයි. ඇය නාගීනා නොවන්නේ ඉතාලි නව යථාර්ථවාදී සිනමාව තුළ සොෆියා ලොරේන් වැන්නියන් ලබාගත් ප්‍රාචීනවාදී නොවූ යථාර්ථවාදය කොහෙන් හෝ ඇයට කාවැදී ඇති බැවිනි. සමහර විට එය සිනමා ශාස්ත්‍රාලයක උරුමයක් නොව ඈ උගත් ග්‍රෑන්ඩ්පාස් පාසලකින් ලද වටිනා නිර්ධන පංතික සංස්කෘතික උරුමයක් විය හැකි ය. ස්වකීය හිමිකම් සහ ගරුකටයුතු ප්‍රේම ජීවිතයකට වැඩි යමක් ඇය සිනමා රංගනය මගින් අධම පිරිමියා වෙතින් ඉල්ලා නොසිටියි.
Saru FM Media