අලුත් ගේ හදන Plan එක ඇඳීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු.

0
14


ගෙයක් හදන්න පටන් ගන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕනෑ කාරණා බොහොමයක් තියෙනවා. නිවසක් කියන්නේ දිගු කාලීන ආයෝජනයක් නිසා එය කිසිසේත්ම ආවාට ගියාට කළ යුත්තක් නෙවෙයි.
මේ ගැන ඔබට පිළිවෙලකට විස්තර කරන්න අපි හිතුවා. මේ ඒ ලිපි මාලාවේ දෙවැන්න. මුල්ම ලිපියෙන් නිවැරදි විදියට ඉඩමක් තෝරා ගන්න හැටි අපි කතා කළා ඔබට මතක ඇති.අපි මේ ලිපියෙන් කතා කරන්නේ නිවසක් සෑදීමට කලින් ඔබ හිතන්න ඕනෑ ඊළඟ කාරණාව ගැන.

ඒ තමයි Plan එක හරියට සකසා ගැනීම.මේක හරියට කරන්න නම් අපි සැලකිලිමත් වෙන්න ඕනෑ කාරණා මොනවාද?

සැලසුම සැකසීම වැදගත් ම කාර්යයක් මෙය පළපුරුදු වාස්තු නිර්මාණ ශිල්පියෙකු සමඟ කර ගත යුතු දෙයක්. ඔබ වාස්තු දෝෂ ආදිය ගැන සැලකිලිමත් වෙනවා නම් ඒ ගැනත්, ඔබට අවශ්‍ය සිහින නිවහනේ ස්වරූපයත් ඔහුට ලබා දෙන්න.වරින් වර කඩමින් වෙනස් කරමින් නිවෙස් අලුත් වැඩියා කිරීම කාලය සහ මුදල් අපතේ යැවීමක්.

ඒ වගේම තමයි Architect කෙනෙක් නැතුව සැලසුමක් ඇඳ ගන්න පහසු ක්‍රමයම තමයි අපේ ඉඩම අයිති පළාත් සභාව හෝ ප්‍රාදේශීය සභාවට ගිහින් එතන ඉන්න තාක්ෂණික නිලධාරියෙක්ට සැලසුම සැකසීමට භාර දීම.මායිම් සහ ප්‍රාදේශීය සභා අනුමැතිය ලබාගන්න නිවාස සැලසුම සකස් විය යුතු ආකාරය ගැන හොඳම අවබෝධයක් තියෙන්නෙ ඔවුන්ට. ඒ නිසා වඩාත් පහසුවෙන් ප්ලෑන් එක පාස් කරගන්න පුළුවන්.

හරි ප්ලෑන් එකක් නැති ගෙයක් තමන්ගේ විතරක් නෙවෙයි අන් අයගේ පවා ජීවිතයට තර්ජනයක් බව අමතක කරන්නම එපා.

අත ඇති ඉතිරිය හෝ නිවාස ණය ලබා ගත හැකි සම්පූර්ණ ප්‍රමාණය ගැන ස්ථිර අදහසකට එන්න.ඔබ ඔබේ බජට් එක ගැන පැවසූ පසු සැලසුම සැකසීම Architect කෙනෙක්ට පහසුයි. සැලසුම හදනකොට වැය කළ හැකි මුදල ගැන ඔබට හරි අදහසක් තිබීම වැදගත්

ඔබට නිවස සමඟ කුඩා වෙළඳ සැලක්,ඇනෙක්ස් එකක් අවශ්‍ය ද යන්නත් මුලින්ම තීරණය කරන්න. පසුව කඩමින් වෙනස් කිරීම නිරපරාද වියදමක්.

පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය කාමර ගණනට අමතරව අමුත්තන්ගේ කාමරයක්, සේවක කාමරයක් ආදිය සැලසුමට ඇතුළත් කරන්න. සේවක වැසිකිළියක්, ගරාජයක් ආදියත් සැලසුමේ කොටස් විය යුතුයි. ඒවාට පසුව මුදල් වැය කිරීම හෝ පසුව ඉදි කරගැනීමට වඩා එක්වර සියල්ල සැලසුම් කර මුදල් වෙන් කර ගැනීම ඔබට පහසුවක්.

නිවසේ කොටසක් ඉදි කර පදිංචියට යනවා ද කියන කාරණාවත් ඔබ මුලින්ම තීරණය කළ යුත්තක්. එවිට ඔබට අත්‍යවශ්‍ය කොටස සකසා ගැනීමේ දී එයට ඇතුළත් කළ යුතු කාරණා ගැන ගෘහ නිර්මාණ ශිල්පියා දැනුවත්.

ඔබ වාස්තු විද්‍යාව පිළිගන්න කෙනෙක් නම් ප්ලෑන් එක අනුමත කිරීමට යොමු කරන්න කලින් වාස්තු විද්‍යානුකූල භාවය පිරික්සීම අනිවාර්යෙන් කරගන්න.
පාස් කරපු ප්ලෑන් එකක් වෙනස් කරද්දී මායිම් සහ ප්‍රාදේශීය සභා අනුමැතිය ගන්න බලපාන කාරණා එහෙ මෙහෙ වීම නිසා ඔබට ණය අනුමත කරගන්න, වරිපනම් අංක ලබාගන්න ගැටලු ඇති වෙන්න පුලුවන්.

මෙන්න මේ දේවල් ගැන හොඳින් සැලකිලිමත් වෙලා ඔබේ ගෙදර ප්ලෑන් එක සකස් කර ගන්න.

තවත් කාරණා අපි ඉස්සරහට කතා කරමු!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here