අලුත් අවුරුද්දේ සජිත්ගේ අභියෝගය ….

0
19


මෙවර පළාත් පාලන මැතිවරණ වේදිකාවේත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධානතම තුරුම්පුව වී ඇත්තේ විපක්ෂයට පතුරු හැළෙන්නට පහර දීම බව පෙනේ. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව ජාතික ජන බලවේගයේ පාලනයක් පිහිටුවා මාස හතක් ගතවී ඇතත් මැතිවරණ වේදිකාවකදී තමන් කළ වැඩක් රටට කියා ඡන්දය ඉල්ලනට නොහැකි වීම ආණ්ඩුව පත්ව ඇති දුෂ්කරතාවේ මට්ටමයි. එහෙත් ආණ්ඩුවේ පහළ මට්ටමේ ප්‍රචාරකයින් දැක් කියමින් යන්නේ “හරිහමන් විපක්ෂයක් තිබ්බා නම් මෙහෙම වෙන්නෑ” පන්නයේ කතාවකි. එනම් ආණ්ඩුවේ බැරි බැරියා රෝගයට පවා වගකිව යුත්තේ විපක්ෂය බවට මතයක් නිර්මාණය කිරීමට ඔවුහු උත්සාග ගනිමින් සිටිති.

විපක්ෂයේම සිටින ඇතැම් කුඩා පක්ෂ ද සෘජුවම හෝ වක්‍රව ආණ්ඩුවේ ඉහත කී උපක්‍රමයට දායක වෙමින් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට විටින් විට පහර ගසන ආකාරයත් දැකගත හැකිය. රටටම කැම්පේන් කර යාන්තම් එක ආසනයක් දිනාගත් ඇතැම් පක්ෂ පවා පෙන්වන්නට හදන්නේ තමන්ට ප්‍රධාන විපක්ෂය වෙන්නට ලැබුණා නම් තුනෙන් දෙකේ ආණ්ඩුව “මෙහෙම මෙහෙම” මෙල්ල කරගන්නට තිබුණා යනුවෙනි. සමගි ජන බලවේගය ඔය කියන තරම් දුර්වලද, සජිත්ගෙන් මේ ආණ්ඩුවට අභියෝගයක් ඇත්තේම නැද්ද යන කරුණු පිළිබඳව අපි කෙටියෙන් විමසා බලමු.

සජබ මැතිවරණ පරාජයන්

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අලුත් දේශපාලන පක්ෂයකි. එම පක්ෂයේ වයස තවමත් අවුරුදු පහකි. සජබ බිහිවීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා මුහුණ දුන් 2019 ජනාධිපතිවරණයත් සමග බැලූවිට සජබ මේ වෙද්දී ජනාධිපතිවරණ දෙකක් සහ මහමැතිවරණ දෙකක් පරාජයට පත්ව තිබේ. එහෙත් ඒ පරාජයන්වලට බලපෑ ප්‍රබල හේතූන් ද ඒ ඒ මොහොතට අදාළව තිබුණු බව අමතක නොකළ යුතුය.

2019 ජනාධිපතිවරණය පැමිණියේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳ මාතෘකාව රටේ ප්‍රධානතම ධාවක බලවේගය බවට පත්ව තිබුණු අවස්ථාවක ය. එහිදී හිටපු මිලිටරි ප්‍රධානියෙකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීම නොවැළැක්විය හැකි තත්වයක් උද්ගතව තිබිණි. ජාත්‍යන්තර සාධක පවා ඒ මොහොතේ පැවතියේ ගෝඨාභයගේ වාසියට ය. ඔහුට 69 ලක්ෂයක ජනවරමක් ලැබුණේ ඒ ආකාරයෙනි. ඒ 69 ලක්ෂයක ජනාධිපතිවරණ ජයග්‍රහණය පසුපසින් මහමැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ද නිරායාසයෙන් ලබාගැනීමට පොහොට්ටුව සමත් වූ අතර විපක්ෂයට එහිදී කළ හැකි දෙයක් තිබුණේ නැත.

2024 ජනාධිපතිවරණය මීට වඩා මඳක් වෙනස් තත්වයකි. එය මෙරට ජනාධිපතිවරණයකදී තුන්කොන් සටනක් නිර්මාණය වූ පළමු අවස්ථාවයි. එහිදී ප්‍රධාන විපක්ෂය වූ සජබ නියෝජනය කළ සජිත් පරදා ජයගැනීමට විපක්ෂයෙන්ම ඉදිරිපත් වූ ජවිපෙ ප්‍රමුඛ අනුර කුමාර දිසානායක මහතා සටන් කළ අතර ආණ්ඩුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාව වී තිබුණේ ද සජිත්ව පරාජයට පත්කිරීම මය. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේම තමන්ට ජයග්‍රහණය අසලකටවත් ඒමට නොහැකි බව හොඳටම දැන දැන ය. අනුරගේ ජයග්‍රහණය තහවුරු කිරීම ඔහුගේ ද එකම වුවමනාව වී තිබිණි. ඡන්ද ලක්ෂ 20ක් රනිල්ගේ පුද්ගලික පළිගැනීම වෙනුවෙන් කඩා දමද්දී අනුරට පහසු ජයක් වාර්තා කිරීමේ අවස්ථාව ලැබිණි. එදා ගෝඨාභයට ඡන්දය දුන් 69 ලක්ෂයෙන් සාතිශය බහුතරයක් මෙදා අනුරට ඡන්දය ලබාදුන් අතර 2024 මහමැතිවරණයේදී ලක්ෂ 68.5ක් ඡන්ද ලබමින් තුනෙන් දෙකකටත් එහා යන බලයක් ලබාගැනීමට අනුරගේ නායකත්වයෙන් යුත් ජාජබට හැකිවුණි.

සජිත්ගේ ඡන්ද පදනම

ඔය ආකාරයෙන් මැතිවරණ 4ක් පරාජයට පත්වූ නමුත් සජිත් ප්‍රේමදාස යනු එක්සත් ජාතික පක්ෂයෙන් එළියට බසිද්දී තමන් සමග ආ ඡන්දදායකයින් ප්‍රමාණය මේ දක්වාම විශාල වෙනසකින් තොරව රැකගෙන සිටින නායකයෙකි. 2019 සහ 2024 යන මැතිවරණ දෙකේදීම ඔහුට එරෙහිව ක්‍රියාත්මක වූයේ පොහොට්ටුවේ 69 ලක්ෂයක ජන බලවේගය වන අතර ඔවුන් පළමුව ගෝඨාභයවත් දෙවැනි වර අනුරවත් පෙරටු කරගෙන ජයග්‍රහණය කිරීමට සමත් වූහ. එකී 69 ලක්ෂයේ අභිලාෂයන්ට විරුද්ධ බලවේගය තවමත් තමන් වෙත රඳවා ගැනීමට සජිත් පැහැදිලිවම සමත්ව සිටී.

ප්‍රශ්නය ඇත්තේ ජාතිවාදී, යුධවාදී, දූපත්වාදී, කොමියුනිස්ට්වාදී කවලම් අච්චාරුවක් වන 69 ලක්ෂයට එරෙහිව සජිත් සමග සිටින බලවේගය මැතිවරණ ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් නොවීමයි. එය හුදෙක් සජිත්ගේම ප්‍රශ්නයක් නොව බංකොලොත්භාවය දක්වාම දිවුණු රටක ජනතාව පිළිබඳ ප්‍රශ්නයකි.

සජිත් ඔය කියනා ආකාරයේ දුර්වල නායකයෙක්ද ?



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here