අලි රොෂාන් වසර 15ක් හිරේ – දඩය ලක්ෂ 206යි

0
7

‘අලි වරදකට’ දුන් ලොකුම දඬුවම

දඩය නොගෙවන්නේනම් බරපතළ තවත් වැඩ සහිත වසර 4ක සිර දඬුවම්

තව තිදෙනෙක් නිදොස් කොට නිදහස්

මේ වරද වෙන චෝදනාවලට වඩා වෙනස්: උපරිම දඬුවමක් දෙන්න – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්

අලි ඇතුන්ගේ වයස සනාථ කරන්න විශේෂඥයන්ට බැරිවෙලා -නඩු තීන්දුවෙන් කියයි

වනජීවී දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ අලියකු බව හඟවමින් ලියාපදිංචි නොකළ හා සන්තකයේ තබා ගැනීමට බලපත්‍රයක් නොමැති පොදු දේපළක් වන අලියකු නීතිවිරෝධී ආකාරයෙන් සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු යැයි කියන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල බරපතළ වැඩසහිත වසර 15 ක සක්‍රිය සිරදඬුවම් හා රුපියල් ලක්‍ෂ 206ක දඩයක් ගෙවීමට ඊයේ (19දා) නියෝග කළහ. එකී දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් හා මාස තුනක ලිහිල් සිරදඬුවම් ලබාදීමට මංජුල තිලකරත්න, ආර්. එස්. එස්. සපුවිද හා ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතික නිකුත් කළ තීන්දුවෙන් නියම කළහ.

එම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කොට තිබූ පළමු වන විත්තිකාර අලි රොෂාන් නමැත්තාගේ සහෝදරයකු වන සමරප්පුලිගේ උචිත නිශාන් ධම්මික, ඔවුන්ගේ ඥාතියකු වන පස්වන විත්තිකාර පලහපිටිය ගමගේ ජයලත් හා වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි නමැති තිදෙනා ඔවුනට එරෙහිව ගොනු කර තිබූ සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළහ. පළමු වන විත්තිකරු චෝදනා පත්‍රයේ සඳහන් 27 සහ 28 සහ චෝදනා දෙකට වරදකරු බවට සිය විනිසුරු මඬුල්ල නිගමනය කොට ඇති බවත් සෙසු විත්තිකරුවන් තිදෙනා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරු මඬුල්ල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විනිසුරු මඬුල්ලට මෙලෙස පැවැසීය.

ගරු මැතිතුමනි, ගරු මැතිනියනි මෙම වරද අපි කතා කරන සෙසු දූෂණවලට වඩා බෙහෙවින් වෙනස් චෝදනාවක්. යම්කිසි අනිසි ක්‍රියාවක් නිසා අසාධාරණයට ලක්වෙන වින්දිතයන් බවට පත්වෙන මිනිසුන්ට ගරු අධිකරණයක් හමුවට ඇවිත් තමන්ට සිදුවූ හානිය ගැන සාක්‍ෂි දෙන්න පුළුවන්. නමුත් මිනිසුන්ගේ නොපහත්කම් නිසා නීතිවිරෝධී ක්‍රියා නිසා වින්දිතයන් බවට පත්වූ අලි ඇතුන්ට එහෙම උසාවියට ඇවිත් තමන්ට සිදුවූ හානිය ගැන කියන්න පුළුවන්ද? එලෙස හඬක් නැඟීමට නොහැකි අපරාධයක වින්දිතයන් වෙනුවෙන් තමයි නීතිපතිවරයා ඔබතුමන්ලාගේ අධිකරණය හමුවට ඇවිත් හඬක් නඟන්නේ. නීතිය අතට අරගෙන විටෙක නීතියට අභියෝග කරමින් නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක් කරමින් දේශපාලනඥයන්, අධිකරණ නිලධාරීන්, පූජකවරුන් හා මෙවැනි පුද්ගලයන් කටයුතු කර ඇති බව පසුගිය කාලය තුළදී අපිට අසන්නට ලැබුණා. දකින්නට ලැබුණා. මෙවැනි සිද්ධීන් නිරතුරුවම සිදුවුණත් ඒවා අධිකරණ හමුවට පැමිණෙන අවස්ථා විරලයි. සෙසු විත්තිකරුවන්ට ද පාඩමක් කියා දෙන පරිදි මෙකී චූදිතට නීතිය අනුව ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදෙන ලෙස ඔබතුමන්ලාගේ විනිසුරු මඬුල්ලෙන් නීතිපතිවරයා වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා.

එහිදී විත්තිකාර අලි රොෂාන් නමැත්තාට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය ඇමතූ විත්තියේ ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායකයා පාසල් අධ්‍යාපනය ලබන කුඩා දරුවන් තිදෙනකුගේ පියකු වන බැවින් ඔහුට යළි සමාජ ගතවීමට හැකි පරිදි ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය. විවෘත අධිකරණය හමුවේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කරුණු දැක්වූ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා; මෙම චූදිත වරදකරු කර ඇත්තේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. ඔහු එවැනි පෙර වැරැද්දක් ඇත්තකු බව අනාවරණය වී තිබෙනවා. නීත්‍යනාකූල බලයක් නොමැතිව පොදු දේපළක් වනඅලි ඇතුන් සන්තකයේ තබා ගැනීම බරපතළ වරදක්. මෙරට වනාන්තරවල ජීවත් වන අලි ඇතුන් ආරක්‍ෂා කිරීම වර්තමානයේ බරපතළ අභියෝගයක් වී ඇති බවයි අධිකරණයට පෙනෙන්නේ. අලි ඇතුන් රටේ සම්පතක්. එය ආරක්‍ෂා කර ගැනීම සමස්ත ජනතාවගේම වගකීමක්. ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණයේ වගකීම තමයි නීතිවිරෝධී ලෙස එකී අලි ඇතුන් සම්පත විනාශ කළ බවට සාක්‍ෂි මගින් සනාථ වනවිට නිසි දඬුවම් ලබාදීම.

27 වන චෝදනාවට එනම් 2015.08.31 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ඇරැව්වල දී ලියාපදිංචි නොකරන ලද බලපත්‍රයක් නොමැති අලියකු අංක 350 යටතේ ලියාපදිංචි කරන ලද අලියකු බවට හඟවමින් සන්තකයේ තබා ගැනීමෙන් වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතේ 22 අ (7) වගන්තිය යටතේ ගැනෙන වරදට වරදකරු කරනු ලැබූ එම නඩුවේ පළමු වන විත්තිකාර අලි රොෂාන් නමැත්තාට එකී චෝදනාවට බරපතළ වැඩසහිත වසර පහක සිරදඬුවමක් හා රුපියල් ලක්‍ෂ දෙකක දඩයක් නියම කළ විනිසුරු මඬුල්ල එකී දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවම් ලබාදීමට නියෝග කළහ.

28 වන චෝදනාවට එනම් සොරකම් කරනු ලැබූ සතකු බව දනිමින්ම පොදු දේපළක් වන අලියකු වංචනික ලෙස සන්තකයේ තබා ගැනීමෙන් 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ හැඟෙන චෝදනාවට වරදකරු කරනු ලැබූ එම විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කළ විනිසුරු මඬුල්ල එයට අමතරව රුපියල් ලක්‍ෂ 206ක දඩයක් ද නියම කළහ. එකී දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් ද නියම කළ විනිසුරු මඬුල්ල 27 සහ 28 යන චෝදනා දෙකට නියම කළ සිරදඬුවම් එකවර එනම් වසර 15කින් ගෙවී යන ලෙසට ලබාදීමටත් දඩ නොගෙවන්නේ නම් පනවනු ලැබූ සිරදඬුවම් මුල් සිරදඬුවම් කාලයක් පසුව වෙන් වෙන්ව ගෙවී යන ලෙසට ලබාදීමටත් නියෝග කළහ. නීතිපතිවරයා විසින් මෙකී විත්තිකරුවන් ඇතුළු අටදෙනකුට එරෙහිව අධිචෝදනා 36 යටතේ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. අලි ඇතුන් පස් දෙනකු ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ එම නඩුවේ විත්තිකරුවන් හතර දෙනකු විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය මින් පෙර නියෝග කොට තිබිණි. රජයේ අධිනීතිඥ සමදරි පියසේන, රජයේ අධිනීතිඥ බෙස්වල්ඩ් ලක්‍ෂ්මන් පෙරේරා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, සිදන්ත ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් නිදොස් කොට නිදහස් කරනු ලැබූ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නිකුත් කළ එකී තීන්දුව මගින් ලබාදුන් දඬුවම් මෙරට අධිකරණ ඉතිහාසයේ එවැනි වරදකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට ලබාදුන් ඉහළම දඬුවම ලෙස සැලකේ.

එකී තීන්දුවේ මුල් කොටස ප්‍රකාශයට පත් කිරීම සාමාජික විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් සිදු කරන ලදී. විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විසින් දෙවන කොටස ප්‍රකාශයට පත් කරන ලදී. චෝදනා පත්‍රයේ සඳහන්ව තිබූ සෙසු චෝදනාවලට අදාළ වැරදි සිදු කළ වේලාව එකී චෝදනාවලින් නිශ්චිතව පැමිණීල්ල විසින් සනාථ කර නොමැති බවත් එකී චෝදනාවල සඳහන් අලි ඇතුන් පිළිබඳව මෙන්ම එකී වැරදි කළ ස්ථාන පිළිබඳව ද නිශ්චිතව සඳහන් නොවීම නිසා එකී චෝදනාවලින් පළමු වන විත්තිකරු ඇතුළු විත්තිකරුවන් සිවුදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට සිය අධිකරණය ඒකමතිකව තීරණය කළ බවත් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය කියවා දුන් එකී තීන්දු කොටස මතින් පෙන්වා දෙන ලදී. පෙරකී චෝදනාවල සඳහන් අලි ඇතුන් කුමන වයස් කාණ්ඩයට අයත් දැයි පැමිණීල්ලේ ගොනු කළ චෝදනාවල සඳහන්ව ඇතත් එකී වයස් පිළිබඳව සනාථ කිරීමට පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස කැඳවනු ලැබූ 28, 29 සහ 31 වන සාක්‍ෂිකරුවන් අසමත් වී ඇති බවත් සාමාජික විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විවෘත අධිකරණය හමුවේ කියවා දුන් තීන්දු ප්‍රකාශයේ කොටස මගින් පෙන්වා දෙන ලදී.

එකී සතුන් පිළිබඳ විශේෂඥයකු තම අධිකරණය හමුවේ ලබාදුන් සාක්‍ෂිය මගින් සනාථ වූයේ එළුවන්ගේ වයස පිළිබඳ සාක්‍ෂි දීමට ඔහුගේ විශේෂඥභාවය ප්‍රමාණවත් වුවත් ප්‍රශ්න ගත අලි ඇතුන් සිවු දෙනාගේ වයස් පිළිබඳව සනාථ කිරීමට ඔහුගේ විශේෂඥභාවය ප්‍රමාණවත් නොවන බව වන්නේ යැයිද විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා කියවා දුන් එකී තීන්දු කොටස මගින් පෙන්වා දෙන ලදී.

පළමුවන වරදකරු කරනු ලැබූ චෝදනාවට අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කළ විනිසුරු මඬුල්ල එම අලියා වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා භාරයට පත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කළහ. අලි රොෂාන් නමැත්තා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අලි ඇතුන් පස්දෙනකු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි. කෙසේ නමුත් පළමු වන විත්තිකාර අලි රොෂාන් නමැත්තා වරදකරු කරනු ලැබුවේ නීතිවිරෝධී ලෙස එක් අලියකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනි. සෙසු අලි ඇතුන් සිව්දෙනා සන්තකයේ තබා ගැනීම හෝ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා සනාථ කර නොමැති බව තීන්දුව මගින් ප්‍රකාශ කෙරිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here