අලින්ගෙන් රිළවුන්ගෙන් වගාව බේරගන්න කර්ණය බලා පැළ සිටුවන්න

0
1

“කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ” යනුවෙන් අපේ පැරණි ජන කවියක සඳහන්ව ඇත. බත බුලතින් ස්වයංපෝෂිත වූ රටක, ගොවිතැන සිය ප්‍රධාන ජීවනෝපාය කර ගත් අපේ හෙළ මුතුන් මිත්තන් කෘෂිකර්මාන්තයේදී හැමවිට ම වගා කටයුතු සිදු කරන ලද්දේ කල් යල් බලාය. හෙළ ගොවියා, තම ගොවිතැන් කටයුතුවලදී හැමවිටම ගුරු කොට ගත්තේ ස්වභාව ධර්මයයි. සොබා දහම මැනවින් අධ්‍යයනය කළ ඔවුහු බෝග තෝරාගැනීමේදීත්, එම බෝග වගා කළ යුතු කාලය තීරණය කිරීමේදීත් පරිසරය හා කාලගුණය

ගැන මනා අවබෝධයකින් කටයුතු කළහ. එහිදී ඔවුන් අනුගමනය කළ එක් ප්‍රධාන ක්‍රමවේදයක් වූයේ “කරණය” අනුව ගොවිතැන් කිරීමයි. වර්තමානයේ අප රටේ බොහෝ කතා බහට ලක්වන අලි, වඳුරු, ඌරු වැනි සතුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කරගැනීමට ඇති ඉතාම සුදුසු ක්‍රමවේදයක් වන්නේද මෙයයි.

එනම් දිවි කරණය හෝ සිංහ කරණය පවතින දිනක වගා කටයුතු ආරම්භ කළහොත් ඌරන්, ඉත්තෑවුන්, රිළවුන් වැනි සතුන්ගෙන් හානි සිදු නොවේ. ඌරු කරණය ඇති දිනක සිටුවන අල ජාති ඉතා විශාලව සෑදෙන නමුත් ඌරන්ගෙන් හානි පැමිණේ. ගවයන් සම්බන්ධ වැඩ කටයුතුවලට මෙදින සුබදායකය. කුකුළු කරණය සහිත දිනවල ආරම්භ කරන ගොවිතැන් කුකුළන්ගෙන් පාළු වේ. මෙම කරණය පොල් මල් මැදීමට යෝග්‍ය වේ. ගජ කරණයෙන් කරන ගොවිතැන් අලි ඇතුන්ගෙන් විනාශ වේ. ගව සහ එළු කරණ පවතින දිනවල සිදු කරන වගාවන් ගව සහ එළු වැනි සිවුපා සතුන්ගෙන් විනාශ වේ.

චන්ද්‍ර මාසයක් තුළ අමාවකින් පසු පුර පෑලවිය සිට පසළොස්වක දක්වාත් පසළොස්වකින් පසු අවපෑලවිය සිට අමාවක දක්වාත් කාලය මෙම කරණ හතට බෙදා ඇත.

එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ
ජලවක කුකුළු පස සිව් සය එළු කරණ
සත ගව අට සිහ නව සූකර කරණ
දසවක ගජ කරණ දැන ගන් මේ ලෙසින

එකොළොස්වක කුකුළු කරණය කියන්නේ
දොළොස් දිවි තෙළෙස් එළු කරණය වන්නේ
තුදුස් ගවය පහළොස් සිංහය වන්නේ
පුරට කරණ මේ ලෙස දැන ගන්නේ

ඒ අනුව අමාවකින් පසුව එළැඹෙන පළමු දිනය සිංහ කරණයත් දෙවැනි දිනය ඌරු කරණයත්, තුන්වැනි දිනය ගජ කරණයත්, හතරවැනි දිනය කුකුළු කරණයත්, පස්වැනි දිනය දිවි කරණයත්, හය වැනි දිනය එළු කරණයත් හත් වැනි දිනය ගව කරණයත් වශයෙන් බෙදා ඇත. අට වැනි දිනයේ නැවත සිංහ කරණය උදාවී ඉහත පිළිවෙළින් පසළොස්වක දක්වා ඒ ඒ සතුන්ගේ කරණ උදා වේ.

ඒ අනුව මෙම සතියේ ඔක්තෝබර් 10 වැනි සිකුරාදා පස්වරු 7.43 දක්වා දිවි කරණය පවතී. එදිනට සුබ දිසාව උතුර වන අතර දිවි කරණයෙන් හෝ සිංහ කරණයෙන් ගෙඩි, මල්, කරල්, කොළ, මුල්, අල වර්ග සිටුවීමෙන් දිවියාට හා සිංහයාට බය සතුන්ගෙන් වගාවට හානි සිදු නොවේ. මෙම සතියේ 12 වැනි ඉරිදා පස්වරු 2.23 න් පසුව සිංහ කරණය උදාවන අතර එදිනට සුබ දිශාව වන්නේ දකුණු දිශාවයි.

ජාත්‍යන්තර සම්මානලාභී ජ්‍යොතිර්වේදී, වාස්තු විද්‍යා විශාරද, විදුහල්පති දේශමාන්‍ය
ආචාර්ය දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස
076 824 8000

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here