අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර නොදෙන බවට ජනපතිගෙන් පොරොන්දුවක් (වීඩියෝ හා ඡායාරූප)

0
11


අල්ලස හා දූෂණය නමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණය ද කඩිනමින් නිවැරදි මගට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් මේ වන විට ලබා දී ඇති බවත්, නිලධාරී යාන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (09) පැවති “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්.

මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය රජ වී ඇති බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස හය තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බවත් පැවසු ජනාධිපතිවරයා නිලධාරී යාන්ත්‍රණය වෙනස් වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මෙම මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළා.

අල්ලස හා දූෂණය නමැති අපරාධය නිසා ශ්‍රී ලංකාව ලෝකය තුළ දශක ගණනාවක් පසුපසට ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් බව ද අවධාරණය කළා.

නීතියට අනුගත වන හා නීතියට බිය වන සමාජයක් ගොඩනැඟිය යුතු අතර ඊට දේශනා, වැඩමුළු ප්‍රමාණවත් නොමැති බවත්, අපරාධයකට දඬුවමක් ලැබෙන බව ප්‍රායෝගික ව තහවුරු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ගමේ බොරලු පාරෙන් ආරම්භ වූ අල්ලස හා දූෂණය පුරවැසියාගේ දෑස් අන්ධ වන ඖෂධ ගෙන ඒම දක්වාත්, සරල තැනින් ආරම්භ වූ අල්ලස හා දූෂණය අතිශය අමානුෂිකත්වය දක්වාත්, ප්‍රාදේශීය සභාවේ සිට මහ බැංකුවෙහි සොරාකන තත්ත්වය දක්වාත් පැතිර තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම කටයුතුවලට හිටපු පාලකයන් ආරක්ෂාව සැපයූ බව ද සිහිපත් කළා.

රාජ්‍ය පරිපාලන ආයතනවල සහ නීතිය පසිඳලන ආයතනවල කිහිප දෙනෙකුගෙන් සහ සන්නද්ධ අපරාධකරුවන්ගෙන් සමන්විත අල්ලස හා දූෂණය ක්‍රියාත්මක කරන චෞර වළල්ලක් නිර්මාණය වී ඇති බව ද පැවසූ ජනාධිපතිවරයා, එය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරියේ දී ඊට විසඳුම් ක්‍රියාත්මක කරන බවත් අනාවරණය කළා.

අල්ලස හා දූෂණය රටින් තුරන් කර දැමීමේ වගකීම ඊළඟ පරම්පරාවට භාර නොදෙන බවත් වත්මන් ආණ්ඩුව යටතේ ඊට විසඳුම් ලබාදෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කෙරුණා.

ශ්‍රී ලංකාවට වසරකට පෙර නිදහස ලබාගත් ඉන්දියාව ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාවකාශ තරණය සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ දැවැන්ත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය ගත් තීන්දු තීරණ නිසා 2022 දී බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ බව ද කියා සිටියා.

ජනතාවගේ සෑම රුපියලකටම වගකියමින් ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඔසවා තැබීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

එසේ කිරීම තුළින් යුක්තිය පසිඳලන ආයතන පිළිබඳ විශ්වසනීයත්වයක් පුරවැසියා තුළ ඇති කළ හැකි බව ද අපරාධයක් සිදු කර නීතියෙන් බේරී යාමට කිසිදු අවස්ථාවක් නොමැති බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

“ජාතික දූෂණ විරෝධී 2025-2029 ක්‍රියාකාරි සැලැස්ම” මගින් රට “සුපිළිපන් දේශයක් කරා” ගෙන යාම අරමුණ වී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එය නිරීක්‍ෂණය කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපනය සහ ප්‍රජා සහභාගීත්වය, ආයතනික ශක්තිමත් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සඳහා ඉඩ සලසන උපායමාර්ගික ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙනවා.

රටක අභිවෘද්ධිය සහ ප්‍රගමනය උදෙසා අල්ලස හා දූෂණය තුරන් කිරීම වඩාත් තීරණාත්මක සාධකයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ, එකී යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හඳුනාගත හැකි වනු ඇති.

ඒ අනුව, අල්ලසින් තොර සමාජයක් නිර්මාණය කිරීම උදෙසා සියලු අංශ හරහා ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලබනවා.

මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේ දී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, සියලුම පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව, ජාතික හා පළාත් මට්ටමින් වැඩසටහන් පවත්වන ලද අතර, භාෂා ත්‍රිත්වයෙන් පුවත්පත් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ජාල හරහා දූෂණ ගැටලු පිළිබඳ මහජන මතය තක්සේරු කිරීම සඳහා සිදු කරන ලද පුළුල් සමීක්ෂණයක්ද එයට ඇතුළත්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විනිසුරුවරු , රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය, අන්තර්ජාතික සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, ප්‍රජා පාදක සංවිධාන, ආගමික කණ්ඩායම්, විවිධ අවශ්‍යතා ඇති කණ්ඩායම් , ජනමාධ්‍ය, තරුණයින්, ළමුන් ඇතුළු සමස්ත මහජනතාව මෙන්ම විදේශීය රාජ්‍ය අත්දැකීම් සහ සියලුම පළාත්වල විවිධ කණ්ඩායම්වලින් රැස් කරන ලද යෝජනා, ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

මෙම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරමින්, දූෂණයට එරෙහිව සටන් කරන, දුෂණය පිටු දකින පුරවැසියන් පිරිසක් , දුෂණයට එරෙහිව සටන් කිරීමට සියලු ආකාරයෙන් සහාය දෙන දේශපාලන කැමැත්තක්, නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පසුතලයන් සහ සුපිළිපන්න රාජ්‍ය සේවයක් සමග සියලුම ක්ෂේත්‍රයන්හි සුපිළිපන් බව ඇති කරමින්, අනාගත පරපුරට සුපිළිපන්න රටක් උදාකර දීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා මහතා ද මෙම උත්සව සභාව ඇමතූ අතර මෙතෙක් පැවැති පාලකයින්ගේ වැරැදි තීන්දු තීරණ නිසා ශ්‍රී ලංකාවෙන් ඈත්ව ගිය ආයෝජකයන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා නැවත ශ්‍රී ලංකාවට සමීප වෙමින් සිටින බව තානාපතිවරයා පැවසුවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here