අල්ලස් කොමිසම 2025දී දේශපාලනඥයන් 15ක් අත්අඩංගුවට අරන්… පැමිණිලි 569ක් විමර්ශනය කරයි… – Saru News | සිංහල

0
2

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් 2025 වසර තුළ සිදු කරන ලද වැටලීම්වලින් සහ පැමිණිලි විමර්ශන මඟින් දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 214ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව එම කොමිෂන් සභාවේ 2025 ප්‍රගති වාර්තාව මඟින් හෙළි වේ.

හිටපු ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, එස්.එම් චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, චාමර සම්පත් දසනායක ඇතුළු දේශපාලනඥයෝ 15ක් මේ අතර වෙති.

හිටපු කොමසාරිස් ජනරාල්වරයෙක්, සේවය කරමින් සිටි නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු 10ක්ද අත්අඩංගුවට ගත් රාජ්‍ය නිලධාරීන් අතර සිටිති.

අත්අඩංගුවට ගත් රාජ්‍ය සේවකයන්ගෙන් වැඩිම පිරිස පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන අතර, එය සංඛ්‍යාත්මකව 33කි. අධිකරණ අමාත්‍යාංශය යටතේ සේවය කරන ලද නිලධාරීහු 14 දෙනෙක්ද කොමිසම මඟින් අත්අඩංගුවට ගත් රාජ්‍ය සේවකයන් අතර වෙති.

2025 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලයේදී කොමිසමට පැමිණිලි 8,080ක් ලැබී ඇති අතර, පැමිණිලි 569ක් විමර්ශනය සඳහා නියෝග ලැබී තිබේ. පැමිණිලි 3,660ක් ප්‍රමාණවත් කරුණු නොවීම හෝ පනතට අදාළ නොවීම මත විමර්ශනය නොකිරීමට තීරණය කර ඇත. ඉදිරිපත් වූ පැමිණිලි 1,167ක් වෙනත් අදාළ ආයතන වෙත යොමු කර ඇති අතර, වසර අවසානයේදී පැමිණිලි 731ක් ඉදිරි කටයුතු සඳහා ඉතිරිව පවතී.

කොමිෂන් සභාව මඟින් සිදු කරන ලද විමර්ශනවලින් පසු 153 දෙනකුට එරෙහිව නඩු පවරා ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යටතේ පවරන ලද නඩු විභාගවලින් 2025 වසරේදී 36 දෙනකු වරදකරුවන්ව දඬුවම් ලබා තිබෙන බවද අදාළ වාර්තාවේ දැක්වේ.

සිළුමිණ


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here