අල්ලස් ඉල්ලු සුරා බදු නියාමකවරු දෙදෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 28ක සිර දඬුවම්

0
5


හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් දෙදෙනෙකුට ලිහිල්ව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 150000/- අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු සුරා බදු නියාමකවරු දෙදෙනකුට බරපතළ වැඩ සහිත වසර 28ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිර දඬුවම් වසර හතකින් ගෙවී යා යුතු බවට නියෝග කරනු ලැබුවා. 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙම තීන්දුව ලබා දුන්නා.

2013 වසරේ නොවැම්බර් මස 13 වනදා හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට මහාධිකරණයේ නඩු නොපවරා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඔවුන්ට ගැලවී යාමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් රුපියල් 150000/- අල්ලසක් ඉල්ලීම සම්බන්ධයෙන් සුරා බදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරා බදු නියාමකවරු දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම විත්තිකරුවන් දෙදෙනා අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනා හතරකට වරදකරුවන් කරන බව සඳහන් කරනු ලැබුවා.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණයේ හමුවේ කරුණු දක්වූ විත්තියේ නීතිඥවරු මෙම විත්තිකරුවන්ට කුඩා දරුවන් සිටින බවත් ඔවුන්ගේ පවුල් යැපෙන්නේ මෙම විත්තිකරුවන්ගෙන් බවත් සඳහන් කළා.

ඒ අනුව ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසයි විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයේ කරුණු දක්වමින් අල්ලස සහ දූෂණය සමාජයෙන් තුරන් කළ යුතු බරපතළ වැරදි බවත් ඒ අනුව සමාජයට ආදර්ශයක් දිය හැකි නීතියේ සඳහන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතු පුද්ගලයින් දෙදෙනෙකු බව සඳහන් කළා. 

එහෙත් ඔවුන් එම රාජකාරිය පසෙක ලා මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට උදව් වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා එබැවින් ඔවුන්ට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නා.

එසේ කටයුතු කළහොත් මෙවැනි වැරදි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට එය රුකුලක් වනු ඇති බවත් විනිසුරුවරයා සඳහන් වැඩි දුරටත් සදහාන් කර සිටියා. 

ඒ අනුව විත්තිකරුවන්ට නීතියේ සඳහන් දැඩි දඬුවම් ලබාදීමට සිදුවන බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව මෙම සිරදඬුවම් නියම කළා. 

ඊට අමතරව එක් එක් විත්තිකරුට රුපියල් 20000ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් කළා. 

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරංග සඳරුවන් විජේරත්න සහ සිසිර කුමාර සිල්වා යන නියාමකවරු දෙදෙනාට මෙසේ දඬුවම් නියම වුණා.

කෙසේ වෙතත් රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව ඔවුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල බවත් නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

උදය කුමාර 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here