අරපිරිමැස්මෙන් සවිමත් වූ සුරක්ෂිත අනාගතයක්!

0
3

ලෝක සකසුරුවම් දිනය අදයි!

අද දිනට (ඔක්තෝබර් 31) යෙදී ඇති 96 වැනි ලෝක සකසුරුවම් දිනය යනු, මුදල් ඉතිරි කිරීමේ සහ අරපිරිමැස්මෙන් ජීවත්වීමේ වැදගත්කම ලොවටම කියාපාන සුවිශේෂී දිනයකි. සකසුරුවම්කමේ සංස්කෘතිය ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1924 වසරේදී ඉතාලියේ මිලාන් නුවර පැවති ප්‍රථම ජාත්‍යන්තර සකසුරුවම් සම්මේලනයේදී ය. මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණ වූයේ පුද්ගලයන් තුළ මූල්‍ය වගකීම සහ දුරදක්නා නුවණ පිළිබඳ අවබෝධය ඇති කිරීමයි. සෑම වසරකම ඔක්තෝබර් මාසය පුරාම ලොව පුරා විවිධ වැඩසටහන් දියත් කරමින් සකසුරුවම්කම ඔප්නංවනු ලබයි. මෙම වැඩසටහන් අතර, ප්‍රායෝගික ක්‍රමවේද හරහා ජනතාවගේ දෛනික ජීවිතයට අරපිරිමැස්ම ඇතුළු කිරීමට ප්‍රමුඛස්ථානයක් ලබා දේ. නිදසුනක් ලෙස, ගෙවතු වගාව වැනි ක්‍රමවේද ඔස්සේ තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම, ගෙවත්තේ භූමිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම සහ නිරෝගී දිවියකට මග පෑදීම වැනි පුළුල් අරමුණු ඉටුකර ගැනීම සඳහා ජනතාව පෙළඹවීම සිදුවේ.

අතීතයේ සිටම ඉතිරිකිරීම සාර්ථකත්වය ළඟා කර දෙන බව මිනිසා අවබෝධ කරගෙන තිබුණි. මෙම සංකල්පය හුදෙක් ආර්ථික මූලධර්මයක් පමණක් නොව, එය මිනිස් පැවැත්මට සම්බන්ධ වූ උතුම් ජීවන දර්ශනයක් බව පැරැන්නන් තදින් විශ්වාස කළේය. අතීත ශ්‍රී ලාංකික සමාජයේද සකසුරුවම ප්‍රබල ගුණාංගයක් වූයේ ඒ නිසයි. එකල ආදායම් තත්ත්වය ඉතා පහළ මට්ටමක පැවතුණත්, මුදල් භාවිතය සහ මූල්‍ය පහසුකම් අවම වුවත්, අපේ පැරැණි මුතුන් මිත්තන් අරපිරිමැස්මෙන් ජීවත් වීමේ උදාර පුරුද්දක් පවත්වාගෙන ගියේය. නිදසුනක් ලෙස, පැරණි ශ්‍රී ලාංකික ජන සමාජයේ මව්වරුන් දිනපතා සහල් පරිභෝජනයෙන් මිටක් වෙන් කර තැබීමේ සිරිතෙන් පෙන්වා දුන්නේ ඉතිරි කිරීම අපගේ සංස්කෘතික උරුමයේම කොටසක් වූ බවයි. එම ඉතිරිකිරීම හදිසි අවශ්‍යතාවකදී හෝ අනාගතය සඳහා රක්ෂණයක් ලෙස භාවිතා විය. මෙය සරල ක්‍රමයක් වුවද, එය තුළ වූ මූල්‍ය දර්ශනය අදටත් වලංගු වන අතර, එය පුද්ගලයාගේ ස්වයංපෝෂිතභාවය තහවුරු කරයි. කෙසේ වෙතත්, අද අප ජීවත් වන නවීන සමාජය තුළ සකසුරුවම සහ ඉතිරි කිරීම වැනි සංකල්පවලට ලබා දී ඇති වටිනාකම ඉතා දුර්වල තත්ත්වයක පවතී. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලොව පුරා ව්‍යාප්ත වී ඇති දැඩි පරිභෝජනවාදී සංස්කෘතියයි. බොහෝ දෙනෙක් ක්ෂණික සහ කෙටි කාලීන තෘප්තිය පමණක් අපේක්ෂා කරන අතර, තමන් උපයන මුළු මුදලම පාහේ දිනෙන් දින වෙළෙඳපොළට එන නවතම භාණ්ඩ හා සේවා පරිභෝජනය සඳහා යෙදවීමට පසුබට වන්නේ නැත.

නවීන තාක්ෂණය හේතුවෙන් ලොවට දායාද වී ඇති සියලු නව උපාංග සහ මෙවලම් ණයට හෝ පහසු ගෙවීමේ ක්‍රමයට හෝ මිලදී ගැනීමට දක්වන්නේ දැඩි ආශාවකි. මෙම දැඩි පරිභෝජනවාදී ආකල්පය බොහෝ දෙනකු ණය උගුල්වලට හසු කිරීමට හේතුවී ඇති අතර, එය දිගුකාලීන මූල්‍ය අස්ථාවරත්වයකට මඟ පාදා ඇත. ක්ෂණික තෘප්තිය පසුපස යෑම, අනාගත සුරක්ෂිතභාවය පිළිබඳ ඇති අවධානය අඩු කිරීමට ප්‍රධානතම හේතුවක් වී ඇත. පුද්ගලයකු ණය වීමේදී, ඔහු තම අනාගත ආදායම වර්තමානයට ගෙනැවිත් පරිභෝජනය කරන බැවින්, එය මූල්‍ය නිදහසට බරපතළ බාධාවක් ඇති කරයි. දෛනික ජීවිතයේදී මිනිසුන් මුදල් වියදම් කරනු ලබන්නේ මූලික අවශ්‍යතා සහ අනවශ්‍ය උවමනා යන කාරණා දෙක මතයි. මෙහිදී ඔබගේ අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් මුදල් වියදම් කිරීම ප්‍රමාණවත් බව නිතරම වටහාගත යුතුය. සකසුරුවම්කම සාර්ථක කර ගැනීමට නම්, පළමුවෙන්ම නිසි අයවැයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වේ. නිවැරදි අයවැයකරණය තුළින් ආදායම සහ වියදම් අතර සමබරතාවක් පවත්වාගත හැකිය. වියදම් නිසි ලෙස සටහන් කිරීමෙන් හා ඒවා වර්ගීකරණය කිරීමෙන් අනවශ්‍ය වියදම් හඳුනාගෙන ඒවා පාලනය කළ හැකිය. නිවැරදි අයවැයක් මගින් ආදායමෙන් සියයට විස්සක් වත් සෑම මසකම ඉතිරි කිරීමට කටයුතු කළ යුතුය. මෙහිදී ඉතා වැදගත් මූලධර්මයක් වන්නේ මුලින්ම ඔබටම ගෙවීමේ සංකල්පයයි. සාර්ථක මූල්‍ය කළමනාකරණය මෙසේ විය යුතුය.

ආදායමෙන් මුලින්ම ඔබගේ ඉලක්කගත ඉතිරිය වෙන්කර තබන්න, ඉතිරිය වියදම් සඳහා තබා ගන්න. ඔබ ලැබෙන මුදල මුලින් වියදම් කර, පසුව ඉතුරු කිරීමට උත්සාහ කළහොත් බොහෝ විට ඉතිරි කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. නමුත් ඔබට ලැබෙන ආදායමෙන් පළමුව කොටසක් ඉතුරු කර, ඉතිරිය ඔබගේ වියදමට තබාගැනීමට පටන් ගත් විට, යම් කිසි දිනක ප්‍රමාණවත් ඉතුරුමක හිමිකාරයෙක් බවට පත්වන්නට ඔබට අවස්ථාවක් හිමි වනවා නොඅනුමානය. මෙමඟින් ස්වයංක්‍රීයව ඔබගේ වියදම් සීමා කර ගැනීමටත්, අරපිරිමැස්මෙන් කටයුතු කිරීමටත් පුරුදු වනු ඇත. ඉතිරි කිරීමේදී කුඩා මුදලකින් වුවද ආරම්භ කිරීමේ වැදගත්කම සෑමවිටම මතක තබා ගත යුතුය. මුදල් සම්බන්ධයෙන් ඇති කරන ධනාත්මක මානසිකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව යනු සකසුරුවම් දිනයේදී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් අංගයකි. ආර්ථික වශයෙන් දැනුම බලයක් වන අතර, දැනුවත්භාවය අපගේ ආර්ථික ගමන් මඟට අවධානය යොමු කරවා ගැනීමට උපකාරී වේ. නිසි ලෙස මුදල් කළමනාකරණය කරන්නේ කෙසේද, විවිධ ආයෝජන මාර්ග හඳුනා ගන්නේ කෙසේද, සහ ණය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. ‘ඔබට විශාල ධනවතෙකු වීමට නම්, ධනවතෙකු ලෙස සිතිය යුතුයි’ ලෙස සමාජයේ ජනප්‍රිය කියමනක් තිබේ. මෙවැනි සිතුවිලි ඔබව ධනාත්මක ජීවිතයක් කරා ගෙන යන්නට හොඳ අවස්ථාවක් ද වනු ඇත. ධනාත්මක චින්තනය මගින් මූල්‍ය ඉලක්ක කෙරෙහි අපගේ අවධානය යොමු කරවයි. කෙටිකාලීන, එනම් මාස හයක් වැනි කාලයක් සඳහා හදිසි අරමුදලක් නිර්මාණය කිරීම, සහ දිගුකාලීන, එනම් විශ්‍රාම ජීවිතය හෝ දරුවන්ගේ අධ්‍යාපනය වැනි මූල්‍ය ඉලක්ක තබා ගැනීමෙන් ඉතිරි කිරීමේ ක්‍රියාවලියට අරමුණක් ලැබේ. හදිසි අරමුදලක් නිර්මාණය කිරීම මගින් අනපේක්ෂිත වියදම් හමුවේ පීඩාවට පත්වීම හෝ ණය වීමේ අවශ්‍යතාව අවම කර ගත හැකිය. යම් දිනක මූල්‍යමය නිදහස ළඟා කර ගැනීමට අවශ්‍ය නම්, ඉතිරි කිරීමේ මීළඟ පියවර වන්නේ ආයෝජනයයි. සකසුරුවම්කම සහ අරපිරිමැස්ම මගින් එකතු කර ගන්නා ලද මුදල් නිෂ්ක්‍රීයව තබා ගැනීම වෙනුවට, එය නිසි ආයෝජන මාර්ගයකට යොමු කිරීමෙන් මුදලේ වර්ධනය වේගවත් කළ හැකිය. අද ඔබ සුළු මුදලක් ඉතිරි කර ආයෝජනය කිරීමෙන් අනාගතයේදී විශාල ප්‍රතිලාභ නෙළා ගත හැක්කේ සංයුක්ත පොලිය නම් වූ මූල්‍ය සංකල්පය නිසයි.

කාලයත් සමග ඔබේ ආයෝජනවලින් ලැබෙන පොලියද නැවත ආයෝජනය වීමෙන් ඔබගේ ධනය වේගයෙන් ගුණ වේ. මෙම අභියෝගාත්මක ලෝක ආර්ථික වටපිටාව තුළ දූරදර්ශී වීම සහ නිවැරදිව පුරෝකථනය කිරීම අත්‍යාවශ්‍ය වේ. උද්ධමනකාරී ආර්ථික තත්ත්වයන් සහ ගෝලීය වෙළෙඳපොළේ විවිධ විචලනයන් පිළිබඳව අවබෝධයෙන් සිටීම වැදගත්ය. මෙම අවිනිශ්චිත හා අභියෝගාත්මක වාතාවරණයන් තුළ මූල්‍ය ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය. මේ අනුව සකසුරුවම්කම යනු හුදෙක් පුද්ගලික පුරුද්දක් පමණක් නොව, එය රටේ සමස්ත ආර්ථික ස්ථාවරත්වයට ම බලපාන ජාතික අවශ්‍යතාවක් බව අවබෝධ කරගත යුතුය. එබැවින්, මෙතරම් කාලයකට ප්‍රමාණවත් ඉතුරුමක් කරගැනීමට ඔබ අසමත් වූවා නම්, ලෝක සකසුරුවම් දිනය වන අද (ඔක්තෝබර් 31) දිනයේ සිට හෝ යම් ඉතුරුවකින් පටන් ගෙන, යම් ඉලක්කයක් සිතෙහි තබාගෙන අනාගත ආයෝජනය සඳහා ඉතුරු කිරීමට පටන් ගන්න. අද දින සිට අරපිරිමැස්මෙන් ජීවත් වීමේ ප්‍රතිඥාව ලබා දෙමින්, සුරක්ෂිත අනාගතයක හිමිකරුවකු වන ලෙස 96 වැනි ලෝක සකසුරුවම් දිනය සමරන මේ අවස්ථාවේදී සමස්ත ලක්වාසී ඔබ සැමට අපි ආරාධනා කරමු.

කේ. ජී සඳුනි නිමේෂා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here