කන්ටේනර් මිද්දෙණියට යන විදිහ පද්මේට වීඩියෝ යවලා
පාතාලයේ ආයුධ, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළේ මනම්පේරි
මිද්දෙණියේ ඉඩමෙන් අත් බෝම්බ 05ක්, ගිනි අවියක්, පතරොම්, පොලිස් නිල ඇඳුම් හමුවෙලා
ව්‍යාපාරික ශ්‍රී ස්කන්ධරාජා, රවිරාජ් ඝාතනයටත් මනම්පේරිට චෝදනා
මනුෂ්‍ය ඝාතන, පැහැර ගැනීම්වලටත් නම ගෑවිලා
මිද්දෙණියට කන්ටේනර් අරන් ගියේ සම්පත් මනම්පේරි
අයිස් හදන්න රසායන ද්‍රව්‍ය ගෙන්වූයේ පද්මේ
මනම්පේරි හිටපු ජනාධිපතිවරයකුගේ ආරක්ෂකයකු ලෙසත් ඉඳලා
බැකෝ සමන් මනම්පේරිගේ ගජ මිතුරෙක්
අයිස්වලින් මුළු රටම උණුසුම් වී ගොසින්ය. කෙහෙල්බද්දර පද්මේ නමැති නරුමයා ප්‍රමුඛ පාතාල මැරයන් විසින් මේ සුන්දර දිවයින අයිස් ලෝකයක් කිරීමට ගත් උත්සාහය රට පුරා උණුසුම් තත්ත්වයට හේතු වුණේය.
මෙපමණ කාලයකට අපට අසන්නට දකින්නට ලැබුණේ ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉරානය හෝ වෙනත් රටකින් අයිස් මත්ද්‍රව්‍ය තොග මෙරටට රැගෙන ඒමේ පුවත් ගැනය.
එහෙත් පසුගිය දිනවල රටේ සිදුවූ මහත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් මාලාවකින් පසු අපට අසන්නට දකින්නට ලැබුණේ අයිස් මත්ද්‍රව්‍ය තොග පිටින් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා මෙරට ඉදිකිරීමට මේ පාතාල පාපතරයන් ගත් උත්සාහයන් ගැනය.
සහකාර පොලිස් අධිකාරිවරුන් වන රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර නිලධාරීන්ට පිංසිදුවන්නට මේ සියලු කරුණු කාරණා හෙළි නොවන්නට මේ පුංචි දිවයින ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොට කුඩු පුරය වීම වැළැක්විය නොහැක.
කෙහෙල්බද්දර පද්මේ, පානදුරේ කුඩු නිලංග, කොමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන පාපතරයන් කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමත් සමගම මුළු රටම කැළඹුණේය. මේ පාපතරයන් කල්ලිය විදේශගතව සිට කළ මහා අපරාධ එකින් එක හෙළිදරව් වීමත් සමගම රට තුළ ඇති වූයේ මහත් උණුසුම් තත්ත්වයකි. ඒ උණුසුම දේශපාලනය හරහා පාර්ලිමේන්තුව දක්වා ගොස් තිබිණි.
පාතාලය සමග කෙලින්ම සබඳතා පැවැත් වූ දේශපාලනඥයන්ට සිදුවුණේ මහ දවල් ඇඳ සිටි ඇඳුම් උණාදමන්නටය. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නඩය දේශපාලනඥයන් අතර පැවති සම්බන්ධතාවන් සහ ඔවුන් ගනුදෙනු කළ ආකාරය එකින් එක හෙළිදරව් වන්නට පටන් ගැනීමත් සමගම මේ උණුසුම තව තවත් තිව්‍ර වන්නට පටන් ගත්තේය.
දකුණේ රජ පවුලක කේවට්ටයකු ලෙස කටයුතු කළ සම්පත් මනම්පේරි නමැති පුද්ගලයාගේ නම කරලියට එන්නේ කෙහෙල්බද්දර පද්මෙලා ගැසූ ගේම් එකින් එක එළියට එන්නට පටන් ගැනීමත් සමගය.
පොලිස් විමර්ශකයන් අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙරට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ සහ පානදුරේ කුඩු නිලංගය. මොවුන් විදෙස්ගතව සිට මෙහෙයවන මේ කර්මාන්ත ශාලා පිහිටුවීමේ මෙරට ඒජන්තවරයා ලෙස කටයුතු කර ඇත්තේ මේවන විටත් සැඟවී සිටින සම්පත් මනම්පේරිය.
මේ අයිස් මත්ද්‍රව්‍ය කර්මාන්ත ශාලා පිහිටුවීමේ මෙරට ඒජන්තවරුන් ලෙස කටයුතු කළ බව කියන පියල් සේනාධීර සහ සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි සොහොයුරන්ය. පියල් සේනාධීර 2019 වර්ෂයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර මේ වනවිට ඔහු මිද්දෙණිය ප්‍රදේශයේ ලී ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටින අයෙකි.
මනම්පේරිගේ පැටිකිරිය
පියල් සේනාධීරගේ සොහොයුරු වන සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට මෙවර පොදුජන පෙරමුණෙන් තරග කළ අයෙකි. මේ අයිස් නිෂ්පාදනාගාර පිහිටුවීමේ සිද්ධිය කරලියට ඒමත් සමගම කලබලයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය ද තහනම් කළේය.
සම්පත් මනම්පේරි යනු එසේ මෙසේ පුද්ගලයකු නොව වැඩකාරයකු බව හෙළිවන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. කලක් මොහු ආරක්ෂක අංශයක සේවය කළ අයකු විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු ලෙස කලක් මොහු කටයුතු කළේය. ඒ කාල සීමාවේ රටේ සිදුවූ පුද්ගල පැහැරගැනීම් දේශපාලන ඝාතන සම්බන්ධයෙන් මනම්පේරිගේ නම ගෑවුණේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි කාලයේ පිටකොටුවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ශ්‍රී ස්කන්ධරාජා මහතා රුපියල් කෝටි ගණනක කප්පම් මුදල් ලබාගැනීමට පැහැරගෙන ගොස් තිබිණි. අදාළ කප්පම් මුදල් ලබාගැනීමෙන් පසු ස්කන්ධරාජා ඝාතනය කෙරිණි. මේ පැහැර ගැනීම සහ ඝාතනය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරිට චෝදනා එල්ල වී තිබුණේය.
ස්කන්ධරාජා ඝාතනය කිරීමෙන් පසු ඔහුට අයත්ව තිබූ මහ ධනස්කන්දය මෙන්ම ව්‍යාපාරවලට අත් වූ ඉරණම දන්නේ එකල සිටි දේශපාලනඥයන් කීපදෙනකු සහ උඩ ඉන්න දෙවියන් පමණි. රාජපක්ෂ රජය පැවති සමයේ රටේ සිදු වූ තවත් ආන්දෝලනාත්මක ඝාතනයක් සම්බන්ධයෙන් ද මනම්පේරිට චෝදනා එල්ල වුණේය. ප්‍රකට දමිළ දේශපාලනඥයකු වූ නඩරාජා රවිරාජ් නාරාහේන්පිටදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සම්පත් මනම්පේරිට චෝදනා එල්ලවිය. එකල ඔහු ප්‍රභූ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කර තිබුණේය. රවිරාජ් ඝාතනයට සම්පත් මනම්පේරි ද අත්අඩංගුවට පත්විය. එකල නීතිය කනපිට පෙරළෙන කාලසීමාවක් විය.
රවිරාජ් ඝාතනයේ රජයේ සාක්‍ෂිකාරයකු ලෙස එකල නීතිපතිවරයා විසින් සම්පත් මනම්පේරි නම් කෙරෙන්නේ කාගේ අනුහසින් දැයි කිසිවකුත් දන්නේ නැත.
පද්මේගේ අයිස් ෆැක්ට්‍රිය
සම්පත් මනම්පේරි සිදුකළ හෙළි වූ අපරාධ චෝදනාවලට වඩා හෙළි නොවූ අපරාධ චෝදනා වැඩි බව නොරහසකි. කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ බැකෝ සමන් සම්පත් මනම්පේරිගේ ගජ මිතුරෙකි. මීට කාලයකට උඩදී බැකෝ සමන් බස්රථ රියැදුරකු ලෙසද රැකියාවක් කළේය. බැකෝ සමන් වැඩ කළේ සම්පත් මනම්පේරිට අයත් බස් රථයක රියැදුරා ලෙසය.
බැකෝ සමන් සහ සම්පත් මනම්පේරි අතර එදා ඒ තිබූ සම්බන්ධතාවන් අදටත් නොවෙනස්ව පවතී. පද්මේගේ අයිස් ෆැක්ටරි ඉදිකිරීම සඳහා සම්පත් මනම්පේරි සම්බන්ධ වන්නේ බැකෝ සමන් හරහාය. ඊට අමතරව පද්මේ මෙහෙය වූ පාතාල කල්ලියේ අවි ආයුධ ප්‍රවාහනය කිරීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ද සම්පත් මනම්පේරි විසින් සිදුකර ඇති බව පොලිසිය මේ වනවිට හෙළිකරගෙන හමාරය. මනම්පේරිලා සිදුකළ මහපොළොව නුහුලන අපරාධ හරහා උපයා ගත් අතිමහත් ධනස්කන්ධය වැය කර ඔවුන් අති සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටියේය.
අතිසුඛෝපභෝගී නිවාස සුපිරි වාහන පරිහරණය කරමින් ඔවුන් ගත කළ ජීවිත සාමාන්‍ය මිනිසකුට කළ නොහැක්කකි.
අයිය මලෝ අයිස් හදපු හැටි
විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන ඇති ආකාරයට පද්මේ කුඩු නිලංග ඇතුළු පාතාල මැරයන් ස්ථාපිත කිරීමට සූදානම් වූ අයිස් මත්ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවල මෙරට මෙහෙයුම්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ සම්පත් මනම්පේරි සහ ඔහුගේ සොහොයුරා වන පියල් සේනාධීර විසින්ය.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍යන් අඩංගු බවට සැකකරන කන්ටේනර් දෙක ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින්ය. ඉරානයෙන් ගෙන්වූ මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් රථ දෙක කාලයක් වරායේ රේගු භාරයේ පැවති අතර එය මුදාහැර ඇත්තේ ඉකුත් ජනවාරි 21 වැනිදාය.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්ව මේ වනවිට සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා භාරයේ සිටි බැකෝ සමන් විසින් හෙළි කළ තොරතුරුවලට අනුව වරායෙන් නිදහස් කළ කන්ටේනර් රථ දෙක මිද්දෙණියට රැගෙන ගොස් ඇත්තේ සම්පත් මනම්පේරි විසින්ය. කන්ටේනර් මිද්දෙණියට ගෙන ගොස් ඇත්තේ ජනවාරි 29 වැනිදාය.
කන්ටේනර් රථ දෙක මිද්දේණියට රැගෙන යන ආකාරය ජංගම දුරකථන මාර්ගයෙන් වීඩියෝගත කර විදේශගතව සිටි කෙහෙල්බද්දර පද්මේට යැවීමට ද ඔවුන් කටයුතු කර තිබිණි.
රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් රථ දෙක මිද්දෙණිය ආරක්ෂිත ස්ථානයක රඳවා ඉන් කොටසක් නුවරඑළියේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන නිවස වෙත යැවීමට මනම්පේරි කටයුතු කර තිබුණේය. එහෙත් එම රසායන ද්‍රව්‍ය රැගෙන ගිය ලොරිය නුවරඑළිය නිවස ආසන්නයේ මඩේ එරී යෑම නිසා එය ගොඩබෑමට හැකි වී නැත.
කඳානට ගිය අයිස්
නුවරඑළියේ නිවසේ හිමිකරු මේ රසායන ද්‍රව්‍ය තම නිවසට රැගෙන ඒම නොකරන ලෙස කියමින් ඊට තදින් විරුද්ධ වීම නිසා ඔවුන් ඒවා කඳානේ පිහිටි වෙනත් නිවසක් වෙත රැගෙන ගොස් තිබිණි.
පසුගියදා කඳානේ සුවිසල් නිවසකින් සොයාගෙන තිබුණේ මනම්පේරි විසින් නුවරඑළියට යවා ගොඩබෑමට නොහැකි වූ රසායන ද්‍රව්‍ය තොගයයි.
විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබූ තොරතුරුවලට අනුව පද්මේ ප්‍රමුඛ පාතාල නඩය විසින් අවස්ථා කිහිපයකදීම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට උත්සාහ කළත්, එය ව්‍යර්ථ වී ඇත. එහෙත් අවසානයේදී ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නිෂ්පාදනය කිරීමට සමත් වූහ. එසේ නිෂ්පාදනය කළ අයිස් මත්ද්‍රව්‍ය විදේශ රටවලින් ආනයනය කරන අයිස් මත්ද්‍රව්‍ය තරම් ප්‍රමිතියෙන් ඉහළ නොවූවත් ඒවා යම්කිසි හොඳ මට්ටමක පැවතිණි.
පද්මේ ඇතුළු පාතාල මැරයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එකකු කියා සිටියේ කිලෝග්‍රෑම් 14ක් මේ ආකාරයට නිෂ්පාදනය කළ බවය. තවත් පාතාල මැරයකු ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේ කිලෝග්‍රෑම් 64ක් නිෂ්පාදනය කිරීමට සමත් වූ බවය. කෙසේ වෙතත් පද්මේ කුඩු නිලංග ප්‍රමුඛ පාතාල මැරයන් මෙරටදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බව පැහැදිලිය.
කෙසේ වෙතත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නඩය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ පුවත ප්‍රචාරය වීමත් සමග මනම්පේරිලා කලබලයට පත් වූහ. සීඅයිඩී නිලධාරීන් වැඩි දවසක් නොගොස් තමන් ලුහුබඳින බව ඔවුන් හොඳාකාරවම දැන සිටියහ. පද්මේ ඇතුළු පාතාල මැරයන් ශ්‍රී ලංකාවට රැගෙන ආපසු ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ඇරඹුණි. කෙහෙල්බද්දර පද්මේ කුඩු නිලංග සහ කොමාන්ඩෝ සලින්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි අතර බැකෝ සමන් සහ තැඹිලි ලහිරු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරගෙන ගියහ.
අයිස් ගැන මුලින්ම කියපු බැකෝ සමන්

මෙරට අයිස් මත්ද්‍රව්‍ය කර්මාන්ත ශාලා ඉදිකිරීමට පද්මේ කළ සැලසුම මුලින්ම හෙළි කරන්නේ බැකෝ සමන් විසින්ය. අයිස් ෆැක්ටරි ඉදිකිරීමට නුවරඑළියේ සහ කඳානේ නිවාස දෙකක් කුලියට ගත් බවත් ඒ සඳහා පාකිස්ථානයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන විශේෂඥයන් දෙදෙනකුගේ සහාය ලබාගත් බවත් බැකෝ සමන් හෙළි කළේය. ඒ තොරතුරුවලට අනුව ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් මිද්දෙණිය වටලා විමර්ශන ආරම්භ කළහ. එහෙත් පොලිසියට පෙර සම්පත් මනම්පේරි ඉස්සර විය. ඔහු ඒ වනවිටත් අතුරුදන්ව සිටියේය. සම්පත් මනම්පේරිගේ සොහොයුරා පියල් සේනාධීර අත්අඩංගුවට පත් වුණේය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් බොහෝ දේ හෙළිවන්නට විය.
කොළඹ සිට රැගෙන ආ අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය මිද්දෙණියේ රහසිගත තැනක කන්ටේනර් තුළම සඟවා මාස 07ක් පමණ සඟවා තැබූ ආකාරය ඔහු හෙළි කළේය.
පද්මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු සම්පත් මනම්පේරිගේ උපදෙස් මත මෙම රසායන ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් ට්‍රැක්ටර්වලින් මිද්දෙණියේ පිහිටි තමන්ට අයත් ඉඩමකට රැගෙන ගොස් වළ දැමූ අයුරුත් ඔහු අනාවරණය කළේය. ඉන් තවත් රසායන ද්‍රව්‍ය තොගයක් තංගල්ල තලාව ප්‍රදේශයේ කැලෑවකට ගෙන ගොස් අතහැර දැමූ ආකාරය ද හෙළි විය.
වහා ක්‍රියාත්මක වූ රොහාන් ඕලුගල ඇතුළු නිලධාරීන් මිද්දේණියේ ඉඩම වෙත ගොස් එහි වළ දමා තිබූ රසායන ද්‍රව්‍ය තොගය ගොඩ ගැනීමට කටයුතු කළහ. එහි කිලෝග්‍රෑම් 42,000ක පමණ රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් විය.
මේ අතර මෙම ඉඩමේ කළ තවත් සෝදිසි මෙහෙයුමකදී අත්බෝම්බ 05ක්, ගිනි අවියක්, ජීව උණ්ඩ ඇතුළු තවත් ආයුධ සොයාගැනීමට හැකි වුණේය. පොලිසිය සැකපහළ කරන්නේ මනම්පේරි අවි ආයුධ ජාවාරමටත් සම්බන්ධ පුද්ගලයකු බවයි. විමර්ශන නිලධාරීන් පවසන අන්දමට සම්පත් මනම්පේරි කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයකු ලෙස කටයුතු කර තිබෙයි. විමර්ශනවලින් හෙළි වූ තොරතුරවලට අනුව කුඩු තොගයක් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් වරකට ඔහුට මිලියනයකට ආසන්න මුදලක් ලබාදී ඇත. ඊට අමතරව අවි ආයුධ ප්‍රවාහනය, ගංජා ප්‍රවාහනය සඳහා ද ඔහුට විශාල වශයෙන් මුදල් ගෙවා ඇති බව මේ වනවිට හෙළිවී තිබෙයි. මනම්පේරිට අයත් ඉඩමක සඟවා තිබූ පොලිස් නිල ඇඳුම් කට්ටල සහ අවි ආයුධ කිහිපයක් ද පොලිසිය සොයා ගත්තේය. පොලිසිය සැක පහළ කරන්නේ මෙම පොලිස් නිල ඇඳුම්වලින් සැරසී මනම්පේරි මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කිරීමේ කටයුතුවල නිරත වී ඇති බවටය.
මේ අතර මිද්දෙණියේ ගොඩ බෑ අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් තංගල්ල තලාව ප්‍රදේශයෙන් සහ කඳාන දුම්රියපළ පාරේ නිවසක තිබී පොලිසිය සොයා ගත්තේය.
පොලිසිය විශ්වාස කරන්නේ කඳානේ පිහිටි නිවස පද්මේගේ පාතාල කල්ලිය විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගැනීමට සූදානම් කර තිබූ බවයි.
මෙම නිවස මාසිකව රුපියල් ලක්ෂ එකහමාරක කුලී පදනම මත ලබාගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකු විසින්ය. මාස 06ක කාලසීමාවක් සඳහා රුපියල් දහතුන් ලක්ෂයකට ආසන්න මුදලක් මොහු ගෙවල් හිමියාට ලබාදී තිබෙයි. එහෙත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමත් සමගම කලබලයට පත් වූ නිවස කුලියට ගත් පුද්ගලයා එහි හිමිකරුට යතුර භාර දී අතුරුදන් වුණේය.
නිවසට ගෙනැවිත් තිබූ රසායන ද්‍රව්‍ය කිලෝ 4000කට අධික ප්‍රමාණයක් අසල තිබූ වගුරු බිමකට විසිකර යෑමට ද ඔහු අමතක කර තිබුණේ නැත.
කෙසේ වෙතත් කෙහෙල්බද්දර පද්මේ පානදුරේ කුඩු නිලංග සම්පත් මනම්පේරි ඇතුළු පාතාල නඩය මේ පුංචි දිවයින කුඩු පුරයක් කිරීමට ගත් උත්සාහය ඕලුගල සහ ජයසුන්දර යන නිලධාරීන්ට පිංසිදු වන්නට වැලකී ගියේය.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත ඇතුළු පාතාල මැරයන් සමීපව ඇසුරු කරමින් ඔවුන් සමග ජාවාරම්වල නිරත වූ පොලිසියේ සහ යුද හමුදාවේ සාමාජිකයන් පිරිසක් පිළිබඳව තොරතුරු කරලියට ආවේය.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය. මේ නිලධාරියා වසර 05කට ආසන්න කාලයක් ගම්පහ ප්‍රදේශයේ පොලිස් ස්ථානවල රාජකාරි කළ නිලධාරියෙකි. මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු දීර්ඝ කාලයක සිට කෙහෙල්බද්දර පද්මේ ළඟින් ඇසුරු කළ නිලධාරියෙකි.
මේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ වෙසල් ජීප් රථයක් ද, ටී 56 ජීව උණ්ඩ කීපයක් ද සොයාගැනීමට පොලිසියට හැකි විය.
මේ අතර පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඉතාම බරපතළ හෙළිදරව් කිරීමක් කළේය. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් සිදු කළ පුළුල් විමර්ශනයකදී කොමාන්ඩෝ සලින්ත සමග සමීප සබඳතා පැවැත් වූ යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.
පද්මේ ඇතුළු කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමට ටික දිනකට උඩදී ඔවුන්ගේ කල්ලියේ මෙරට පාතාල මැරයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට හැකි වී තිබිණි. ඉන් එක් අයකු පස් දේවාය. අනෙකා වලස් කටාය. පෑලියගොඩ අපරාධ කොට්ඨාස ගොඩනැඟිල්ලෙන් බිමට පැන පලා යන්නට උත්සාහ කළේ වලස් කටාය.
පාතාලයට ආයුධ දුන්න හමුදා නිලධාරියා
වලස් කටාගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී තිබුණේ කොමාන්ඩෝ සලින්තගේ උපදෙස් මත තමන්ට යුද හමුදා ජීප් රථයක පැමිණි නිලධාරියකු අවි ආයුධ සහ පතරොම් තොගයක් ලබාදුන් බවය.
වලස්කටාට ආයුධ ලබාදුන් හමුදා නිලධාරියා සම්බන්ධයෙන් රොහාන් ඕලුගලගේ දැඩි අවධානය යොමු වී තිබුණේය. සති කීපයක් තිස්සේ සිදු කළ විමර්ශනවලදී මෙම ආයුධ රැගෙන පැමිණි හමුදා නිලධාරියා හඳුනා ගැනීමට රොහාන් ඕලුගල, ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් සමත් වූහ.
කොමාන්ඩෝ සලින්ත සමග සමීප සබඳතා පැවැත් වූ හමුදා නිලධාරියා යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කලක් රාජකාරි කළ ලුතිනන් කර්නල්වරයෙකි. මොහු යාපනය, මල්ලාවි ප්‍රදේශයේ හමුදා කඳවුරක ප්‍රධානියා ලෙස රාජකාරි කරන අයෙකි.
කොමාන්ඩෝ සලින්ත යුද හමුදා කොමාන්ඩෝ බළකායේ රාජකාරි කරද්දී ඔහු මෙම ලුතිනන් කර්නල්වරයාගේ බඩියා ලෙස කටයුතු කර ඇත්තේය. වසර ගණනාවක සිට මොවුන් අතර පැවතියේ දැඩි මිත්‍රත්වයකි. කොමාන්ඩෝ බළකාය හැර ගිය පසු ද කොමාන්ඩෝ සලින්ත තම ප්‍රධානියා වූ ලුතිනන් කර්නල්වරයා සමග පැවැති සබඳතාව නතර කළේ නැත. කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරද්දී ද සලින්ත සිය ප්‍රධානියාව සිටි ලුතිනන් කර්නල්වරයා ළඟින් ඇසුරු කළේය.

රාත්‍රි සමාජ ශාලාවල නිතර ගැවසීම මෙන්ම කැසිනෝ ක්‍රීඩාවට ද ඇබ්බැහි වී සිටි ලුතිනන් කර්නල්වරයා අසීමිතව මුදල් වියදම් කළ අයෙකි.
ඒ අසීමිත වියදම් සඳහා මුදල් උපයා ගැනීමට ලුතිනන් කර්නල්වරයා මාර්ගයක් පාදාගෙන සිටියේය. ඒ කොමාන්ඩෝ සලින්තට අවි ආයුධ මෙන්ම ජීව උණ්ඩ විකිණීමට අවස්ථා කීපයකදීම මේ ලුතිනන් කර්නල්වරයා සලින්තගේ ඉල්ලීම මත ඔවුන්ගේ පාතාල කල්ලිය වෙත ආයුධ සහ ජීව උණ්ඩ ලබාදී තිබුණේය. ඒ සඳහා අවස්ථා හයකදී වරින් වර කොමාන්ඩෝ සලින්ත විසින් ඔහුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ හයහමාරක පමණ මුදලක් බැර කර තිබුණේය.
අන්තිමේදී ලුතිනන් කර්නල්වරයාට වැඩ වැරදුණේය. පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනවලින් ඔහු පොලිසියට කොටු වුණේය. ප්‍රශ්න කිරීම් හමුවේ සියල්ල හෙළි කිරීමට ලුතිනන් කර්නල්වරයාට සිදු විය.
මේ ආකාරයට පද්මෙලාගේ පාතාල කල්ලිය සමග සබඳතා පැවැත්වූ ආරක්ෂක අංශ නිලධාරීන් රැසකට ඉදිරියේදී ඒ සියලු දෙනාගේම දෑත්වලට විලංගු වැටෙනු නියතය.
එමෙන්ම මේ පාතාල මැරයන් සමග ගනුදෙනු කළ දේශපාලනඥයන් කීපදෙනකු ද ඉදිරියේදී කරළියට ඒමට නියමිතය.
මිනී මරමින්, මත්ද්‍රව්‍ය රට පුරා බෙදාහරිමින් රට විනාශ කිරීමට පුරෝගාමීව කටයුතු කළ මේ තුට්ටු දෙකේ පාතාල මැරයන් සමග සබඳතා පැවැත්වූ කුමන තරාතිරමක හෝ එකතු වේ නම් උන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුය. නීතිගරුක පුරවැසියන් ඒ දෙස නොඉවසිල්ලෙන් බලා සිටිති.
සහකාර පොලිස් අධිකාරිවරුන් වන රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර ඉන්දුනීසියාවේදී සිදුකළ අභීත මෙහෙයුම හෑල්ලුවට ලක්කරමින් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරයන් විකාශය වන්නට පටන් ගත්තේය.
පාතාල මැරයෙක් තබා කසිප්පුකාරයෙක්වත් අල්ලා ගැනීමට හැකියාවක් නැති ඇතැම් පොලිස් නිලධාරීන් ද ඕලුගලලා කළ මෙහෙයුම හෑල්ලුවට ලක්කරමින් කතා කළෝය.
ඉන්දුනීසියාවේදී ජකර්තා පොලිසිය විසින් පද්මේ ඇතුළු පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමට කළ මෙහෙයුමට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණේය. පාතාල මැරයන් අත්අඩංගුවට ගන්නා ස්ථානයේ අපේ පොලිස් නිලධාරීන් නොසිටීම බොහෝ දෙනකුට බරපතළ ප්‍රශ්නයක් විය.
කෝ මහ ලොකුවට ඕලුගලලා මේ ඔපරේෂන් එක කළා කිව්වා. ඒ වුණාට එයාලා පැත්තකවත් හිටියේ නැහැ යනුවෙන් ඇතැමුන් ප්‍රකාශ නිකුත් කරන්නට වූහ. ඉන්දුනීසියාවේදී සිදු වූ සත්‍ය නොදත් අය මෙන්ම මේ නිර්භීත නිලධාරීන්ට මඩ ගැසීමට සිටින පුද්ගලයන් එවැනි ප්‍රකාශ නිකුත් කළෝය.
විදේශ රටක සිටින අපරාධකාරයන් එක් අයකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට අපේ රටේ පොලිසියට හැකියාවක් නැහැ. එය සිදුකරන්නේ එරට පොලිසිය විසින්ය. ඉන්දුනීසියාවේදී සිදු වුණේ ද ඒ දේමය. එහෙත් ජකර්තා පොලිසිය ඒ වැටලීම කරන ස්ථානයට එනතුරු තිරය පිටුපස වූ විශිෂ්ටතම කාර්ය සිදුකරන්නේ රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර විසින්ය.
කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සිටි පාතාල මැරයන් ගැන ඉන්දුනීසියා පොලිසිය කිසිවක් දැන සිටියේ නැත. දින ගණනක් තිස්සේ ජකර්තා නගරයේ අනේක විධ දුක් විඳිමින් මංමාවත්වල රස්තියාදු වෙමින් පද්මේ ඇතුළු පාතාල මැරයන් පිළිබඳව තොරතුරු රැස් කළේ රොහාන් ඕලුගල සහ ජයසුන්දර මහත්වරුන් විසින්ය.
පාතාල මැරයන් සැඟවී සිටින ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඔවුන් පිළිබඳ සියලු තොරතුරු හෙළිකරගෙන ඒ සියල්ල ජකර්තා පොලිසියට ලබාදීමට කටයුතු කළේ මේ නිර්භීත පොලිස් නිලධාරීන් දෙදෙනා විසින්ය.
සැබැවින්ම මේ නිලධාරීන් දෙදෙනා දිවිහිමියෙන් කටයුතු නොකරන්නට මේ වනවිට පද්මේලා සිටින්නේ යුරෝපයේ සුපිරි රටකය.
එබැවින් මේ අභීත මෙහෙවර ඉටුකර රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර යන නිලධාරීන්ට නිසි ගෞරවය ලබාදීමට කටයුතු කළ යුතුය.
හේමන්ත රන්දුණු
Saru FM Media