අයිස් ගැසූ රියැදුරා බස් රථය ගසකට නග්ගන්න හදයි

0
8

මගීන් සිටියා නම් විශාල ජීවිත අනතුරක්
නොසැලකිලිමත් රියැදුරු ගෙන දෙයි මග අනතුරු

මොරටුව – පිටකොටුව අතර ධාවනය වන පෞද්ගලික මගී බස් රථයක් මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේදී මාර්ගය බෙදා වෙන්කරන තීරුවේ තිබූ විශාල ගසක පෙරේදා (13දා) උදේ ගැටී සිදුවූ රිය අනතුරකින් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පානය කර සිටි බව කියන බස් රථ රියැදුරකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.

එම බස් රථය විශාල ගසක ගැටී නැවත මාර්ගයේ වම්පසට ධාවනය වී ඒ ආසන්නයේ තිබූ විදුලි උපකරණ වෙළෙඳසලක ඉදිරිපස නාමපුවරුවක ගැටී නතර වී තිබූ බවද පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීහු නොසිටි බවද පොලිසිය කියයි.

අදාළ බස් රථ රියැදුරා රත්මලානේ සිට මොරටුව බස් නැවතුම්පළ වෙත බස් රථය රැගෙන යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇතැයි හෙළි වූ බවද පොලිසිය පවසයි.

බස් රථයේ රියැදුරු අයිස් හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කර බසය පදවා ඇති අතර බසයේ මගීන් සිටියේ නම් මගී ජීවිත රැසක් හානියට පත්වීමට ඉඩ තිබූ බවද පොලිසිය කියයි.

අනතුරින් බස් රථයේ ඉදිරිපස දකුණුපස දොර ප්‍රදේශයට දැඩි හානි සිදුවී ඇතැයි ද පොලිසිය කියයි.

මේ අතර අප මේ ගැන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතාගෙන් විමසූ විට කියාසිටියේ බස් රථයේ රියැදුරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙමින් පවතින බවත් එහිදී ඔහු වරදක් කර ඇති බවට සනාථ වුවහොත් ඔහුගේ බස් ධාවන ගමන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවත්ය.

බස් රථ රියැදුරන් විනීතව බස් රථ පැදවීම තුළින් මගී ජීවත ආරක්ෂා කරගත හැකි බවද සභාපතිවරයා කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ධර්මසේන වැලිපිටිය සහ පින්සිරි ආරියරත්න – රත්මලාන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here