අයියෝ මේ උකුණු කරදරේ නම්

0
12


නිර්මලාගේ දියණිය දින කිහිපයක සිට හිස කසන්න ගත්තා. දාඩිය දාලා වෙන්න ඇති කියලා හිතපු නිර්මලා දියණියව  හොඳින් නෑව්වා. එත් ඉතින් හිස කැසීමෙ නම් අඩුවක් නැහැ. පාඩම් කරන්න ගත්ත වෙලේ ඉඳලා දියණිය හිස කසනවා. කොකටත් කියලා නිර්මලා දියණියගේ හිසකෙස් එහෙ මෙහෙ කරලා බැලුවා. දුවගේ කෙස් ගස් අතර  ඉන්න ලේඩින්ව දැක්ක නිර්මලා පුදුමයට පත් වුණා. ගෙදර කාගෙවත් උකුණෝ හිටියේ නැහැනේ කොහොමද මේ උකුණො බෝ වුනේ? ඇත්තටම උකුණො හිසේ ඉන්නවා කියන්නෙ නම් හරිම හිරි හැරයක්. හිස කැසීම වගේම උකුණො ඉන්න හිසක් තිබීම ලැජ්ජාවටත් කාරණයක්.

උකුණන් ලෙස හැඳින්වෙන හිසට හිරිහැරයක් වූ මේ පරපෝෂිතයන් pediculas humanis capitas යන විද්‍යාත්මක නාමයෙන් තමයි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අළු පැහැයට හුරු සුදු පැහැයක් ඇති සහ ක`ඵ පැහැති උකුණොත් ඉන්නවා. උකුණු බිත්තර ලේඩී ලෙස තමයි හඳුන්වන්නේ. උකුණන්ගේ ගැහැණු සතාට දිනකට බිත්තර 10ක් පමණ දැමීමේ හැකියාවක් තිබෙනවා. උකුණෙකුගේ ජීවිත කාලය සාමාන්‍යයෙන් දින 40 පමණ වෙනවා. මොවුන් හිස් කබලේ සමට කිට්ටුවෙන්ම ජීවත් වෙනවා. හිසෙහි ලේ උරා බොමින් ජීවත් වන උකුණන්ට සමේ තිබෙන උෂ්ණත්වය ජීවත් වීමට බොහොමත්ම හිතකරයි. උකුණන් තම බිත්තර හිසකෙස් මත රඳවා තිබෙනවා. මෙම බිත්තර ලේඩි පැටවුන් සහිත සරු ඒවා සහ පැටවුන් ඉවත්ව ගිය පැරණි ඒවා හෝ නිසරු ඒවා ලෙස වර්ග දෙක තුනක් දකින්න ලැබෙනවා.

උකුණන් හිස මත ඇති සමට විද රුධිරය උරා බොනවා. රුධිරය කැටි ගැසීම වළක්වා ගැනීමට සමට විද්ද සැනින් ඌගේ කෙල ඒ ස්ථානයට ඇතුල් කරනවා. අනතුරුව හොඳින් ලේ උරා බොනවා.

සම සිදුරු කර කෙල ඇතුල් කල ස්ථාන කැසීමකට ලක්වන නිසා තමයි උකුණු ආසාදන ඇති අය නිතරම හිස කසන්නෙ. සාමානයෙන් හිස කැසීමක් සිදුවුවද, උකුණන් විදින ස්ථානයේ දකින්න ලැබෙන්නේ නැති හේතුවත් එයයි. සමහර අයට පමණක් ඒ ස්ථාන තුවාල වී, විෂබීජ ආසාදනයට ලක් වී එම ස්ථාන පැසවීමකට ලක්විය හැකියි. ඒ වාගේම එම තුවාල හේතුවෙන් බෙල්ල අවට කුද්දැටි ඉදිමීමක් වුවත් සිදු විය හැකිය. ඒ වාගේම හිස උකුණන් බහුලව ගැවසෙන බෙල්ල ආසන්නයේදී හිස කෙස් ප්‍රදේශය හා කන් දෙක ආශ්‍රිතව ඇති හිසකෙස් ප්‍රදේශයේ බහුලව තුවාල හෝ සලකුණු දැකිය හැකිය. කොහොම වුනත් හිස උකුණන් මගින් සිදුවන හිස කැසීමට අමතරව වෙනත් රෝග බෝවීම සිදු වන්නේ නැහැ.

සාමාන්‍යයෙන් උකුණන් බෝවෙන්නේ උකුණන් සිටින අයෙකුගේ හිසකෙස් උකුණන් නොසිටින අයෙකුගේ හිසකෙස් හා ගැටීමෙනුයි. එකම නිවසක එකම ඇඳක් භාවිතා කිරීමේ දී එකිනෙකාගේ හිස් එකට ගෑ වීමෙන් ද පාසල් යන ළමුන් එකිනෙකා හා ගැටෙමින් කටයුතු කිරීමෙන් වගේම පාසල් වෑන් තුලදිත් මෙම උකුණන් හුවමාරු සිදු විය හැකිය.

එක් වරක් හෝ උකුණන් හිසෙහි බෝවී තිබීම තුලින් ශරීරය විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කරගෙන තිබෙන නිසා ඒ හා සමාන වඩාත් භයානක වූ ශරීර උකුණන් හා සටන් කිරීමට හා ඔවුන් ඉවත් කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ නිසා තමයි විශේෂයෙන් කුඩා ළමයින් සඳහා එක් වරක් හෝ උකුණු ආසාදනයක් වීම වාසි සහගත දෙයක් ලෙස සඳහන් කළේ.

උකුණු බිත්තර හෙවත් ලේඩි හිසකෙස්වල තිබීම  නිසා උකුණන් නැවත සක්‍රීය විය හැකිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here