අමෙරිකාව විසින් ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් අනතුරුව, අමෙරිකාවට ප්‍රසිද්ධියේම අභියෝගකළ පුද්ගලයෙකු ලෙස 64 හැවිරිදි මොහොමඩ් බාගර් ගලීබාෆ් හැදින්විය හැකිය.
සතුරු බලපෑම් හමුවේ පසුබට නොවන, ඉරානයේ ‘දැඩි මතධාරී’ දේශපාලන ස්ථාවරයක් නියෝජනය කරන ගලීබාෆ්, ඉරාන හමුදාව, ආරක්ෂක සහ සිවිල් පාලන යන ත්‍රිත්ව අංශයෙන්ම ඉහළ තනතුරු දැරූ දැවැන්ත චරිතයක්ය.
ඔහු අමෙරිකාව සමග පාකිස්තානයේ පැවති සාම සාකච්ඡාවලදී ද ඉරාන දූත පිරිසට නායකත්වය දුන්නේය.
එම සාකච්ඡා සාර්ථක නොවූ පසුබිමක ඔහු ප්‍රසිද්ධියේ පවසා සිටියේ, ඉරාන නියෝජිත කණ්ඩායමේ විශ්වාසය දිනා ගැනීමට අමෙරිකාව අපොහොසත් වී ඇති බවය.
හමුදා පසුබිමක් ඇති ගතානුගතික ඉරාන දේශපාලනඥයෙකු වන ගලීබාෆ්, 2020 වසරේ මැයි මාසයේ සිට ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කරයි.
1961 වසරේ දී උපත ලැබූ ගලීබාෆ්, 1980 වසරේ දී ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) සම්බන්ධ වී ඇත.
ඔහු ඉරාන-ඉරාක යුද්ධයේදී එහි අණදෙන නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබේ.
ටෙහෙරානයේ දීර්ඝතම කාලයක් නගරාධිපති ධුරය හෙබවූ පුද්ගලයාද වන ගලීබාෆ්, 2005 සිට වසර 12ක් එම තනතුර හෙබවීය.
ඔහු ටෙහෙරානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ගෞරවනීය පුද්ගලයෙකුද වේ. එහෙත් ඔහුට මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.
ගලීබාෆ් සිව් වතාවක් ඉරාන ජනාධිපති ධුරයටද තරග කර ඇති අතර, ඒ සෑම අවස්ථාවකම අසාර්ථක විය.
අමෙරිකාව හා ඊශ්‍රායලය පෙබරවාරි 28 වනදා ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළදා සිට ඉරානය පුරා රජය විසින් රටපුරා අන්තර්ජාල සබඳතා අවහිර කිරීමට කටයුතු කළත්, ඔහුගේ ‘X’ ගිණුම ක්‍රියාකාරීව පැවතීමද සුවිශේෂීය.
Saru News















