
කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දිල්ෂි අම්ෂිකා පාසල් සිසුවිය ගුරුවරයකු විසින් අපයෝජනය කිරීමෙන් අනතුරුව මානසික පීඩනය නිසා සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ඊයේ (8) කොළඹ ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්විණි.
ඊයේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම සිදුවීමට සම්බන්ධිත කොටහේන රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ පාසල් ගුරුවරයෙකු වන නාරායන පිල්ලෙයි සිවනන්දරාජ් වෙනත් පාසලකට මාරුකර ඇත.
එකී ගුරුවරයා ජාතික ජන බලවේගය යටතේ පසුගිය මහමැතිවරණයේ අංක 9 යටතේ තරග කළ කොළඹ අපේක්ෂකයෙකුද විය.
කෙසේ වෙතත් මෙම අතවර සිදුවීම පසුගිය රජය සමයේ සිදුවූවක් වන අතර 2023 ඔක්තෝබර් 10 දිනට පෙර සිදුවී ඇති අතවර සිද්ධියට අදාළව එකී විදුහලේ විදුහල්පතිනිය හෝ අධ්‍යාපන බලධාරීන් නිසි පියවර ගෙන නැත. ඔහු දේශපාලනයට සම්බන්ධ නිසාදෝ නීතියේ හිදැස් වලින් පහසුවෙන් බේරී සිටි බව පැවසිණි.
ගුරුවරයා අතවර කළ බවට පැමිණිල්ලෙන් අත්අඩංගුවට පත්වූ නමුත් පසුව ඇප මත නිදහස්වී ඇති අතර පාසල ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත.
මාස කිහිපයක් ගිය පසු සිසුවිය වෙනත් පාසලකට මාරු කර යවා ඇත. සිසුවිය දිගින් දිගටම පීඩාවට පත්ව පසුව ටියුෂන් පන්තියකදී ඇතිවූ විහිළුකිරීමේ සිද්ධියකට පසුදින පදිංචිව සිටින මහල් නිවාසෙන් බිමට පැන දිවි නසාගෙන තිබුණි.
මෙම සංවේදී සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ද සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු සහ ළමා හා කාන්තා කටයුතු ඇමතිවරිය අතර උණුසුම් වාද විවාද ද ඇති විය.
විරෝධතාකරුවන්ගේ ඉල්ලීම
කොළඹ ප්‍රදේශයේ විවිධ ස්ථානවල පැවැත්වුණු විරෝධතාවලදී සහභාගිවූවන් ප්‍රකාශ කර සිටියේ අවුරුදු 15ක දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වී තිබෙන්නේ දැඩි කළකිරීමක් වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ද විශාල පිරිසක් සිදුවීම හෙළා දැක ඇත.
විරෝධතාකරුවන් විශේෂයෙන් අවධාරණය කරන්නේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව නැවත ඇප මත නිදහස් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවත්ය.
පාර්ලිමේන්තුවේ හඬ නැගූ සිද්ධිය
මෙම ගැටලුව පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් වූ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සභාව හමුවේ මෙම සිද්ධිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
“මේ කණ්ඩායම කලහකාරි නැහැ. ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ. අවුරුදු 15ක දරුවෙක් දූෂණය කරලා. ඒ සර් අත්අඩංගුවට ගත්තත් නැවත ඇප දීලා තියෙනවා. පසුව ළමයව වෙන ඉස්කෝලෙකටත් මාරු කරලා,” යනුවෙන් ගනේෂන් මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “සිද්ධිය වෙලා මාස කිහිපයකට පස්සේ ටියුෂන් සර් කෙනෙක් මේ ළමයට අපහාස කරලා තියෙනවා. ඒ නිසා සිත් තැවුලට පත්වෙලා මේ ළමයා මෙහෙම කරගෙන තියෙනවා. අපහාස කරපු ක්ලාස් එකේ අයිතිකාරයා ඕගොල්ලොන්ගේ පක්ෂේ උතුරු කොළඹ සංවිධායකයෙක්. ඒ නිසා මේක යටගහන්න යනවාද කියලා සැකයක් තියෙනවා,” යනුවෙනි.
ඇමතිවරියගේ ප්‍රතිචාරය
ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ, “මේ ළමයා දූෂණය වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් JMO (අධිකරණ වෛද්‍ය නිලධාරී) රිපෝට් එකත් අරගෙන තියෙනවා. මම කිව්වා මේ ගැන ළමා ආරක්ෂන අධිකාරියට පැමිණිලි කරන්න කියලා.”
ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කළේ, “පෙත්සමක් එක්ක මව්පියන්ට මාව ඇවිත් හම්බවෙන්න කියලා. තවමත් ආවේ නැහැ. සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කරගන්න බැහැ. නීතිය අතට අරගෙන මේවට පිළිතුරු හොයන්න බෑ. ඒ නිසා නීතිය අනුවම කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා,” යනුවෙනි.
උණුසුම් වාද විවාද
ඇමතිවරියගේ ප්‍රකාශයෙන් අතෘප්තියට පත් ගනේෂන් මන්ත්‍රීවරයා, “මම මේ ඇමතිතුමියගෙන් මේ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුණේ නැහැ. මේ වගේ වෙලාවක එයාව ඇවිත් මුණගැහුණේ නෑ කියලා විහිළු සපයන්න එපා,” යැයි පැවසීය.
මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය, “උද්ඝෝෂණ කරන්න අයිතිය තියෙනවා. හැබැයි මේකට නීත්‍යානුකූලවම තමා යන්න ඕන,” යනුවෙන් ප්‍රකාශ කළාය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කළඹීමක් ඇති වී තිබෙන අතර, ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස බොහෝ දෙනා ඉල්ලා සිටිති. සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙම සිද්ධියට එරෙහිව විශාල පිරිසක් හඬ නගා ඇති අතර, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලීම් කරනු ලැබේ.
ළමා අපයෝජන සිදුවීම් වැළැක්වීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමත්, පාසල් තුළ ළමුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කඩිනම් පියවර ගැනීමත් අවශ්‍ය බවට මතයක් සමාජය තුළ ගොඩනැගී ඇත.
ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුව දැඩි වුවද, බොහෝ අවස්ථාවල එම නීති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාදයන් හා අඩුපාඩු දැකගත හැකි බවට විවේචන එල්ල වෙයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ප්‍රමාණවත් ක්‍රියාවක් සිදු නොවූ බවට චෝදනා එල්ල වේ.
ළමා ආරක්ෂක අධිකාරිය හා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් වඩාත් සක්‍රීය කාර්යභාරයක් ඉටු කළ යුතු බවට අදහස් පළ වෙයි.



Saru FM Media