“සිනාසෙන තොල් අතර මිමිනෙන ප්‍රේම ගීයක තාලයයි
නැමීගෙන කැඩපතට නිති කෙහෙ රැවුලු සකසන ලීලයයි
බලාගෙන මඳනල කියන්නේ එකම එක පද පේලියයි
මගේ පුත මා නුඹේ අතැඟිලි මුදාලිය යුතු කාලයයි”
මේ ගීතය ජනප්‍රිය ලේඛිකාවක වන චන්දි කොඩිකාර මහත්මිය අතින් ලියවුණු ගීතයක්.පුතු ආදරයෙන් බැඳී විවාහයට සූදානම් වෙද්දී ඔහුට ඔහුගේ ලෝකය සොයා ගන්නට ඉඩ දීම හැම අම්මා කෙනෙකුම කළ යුතු දෙයක්.නමුත් එය එසේ නොවන තැන් තියනවා.
“අපිට ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන්.ඒත් ඒ හැම තැනකටම නැන්දම්මා හරස් වෙනවා.මට ඇත්තටම දික්කසාද වෙන්න උවමනා ඒ නිසාමයි.
අපේ සමූහයට එසේ ලියා එවන තරුණ බිරින්දෑවන් ඕනෑ තරම්.එපමණක් නෙවෙයි.අවුරුදු විසි තිස් ගණන් ඒ දුක දරා ගත් බව කියන පරිණත ගැහැනු පවා අපිට හමු වෙනවා.
“මමාස් බෝයි” කියලා අපි සාමාන්‍ය කතාබහේ හඳුන්වන කෙනෙක් ඔබේ සැමියා වුණොත් එය බරපතල ගැටලුවක් තමයි.අපි කොහොමද එවැනි තත්ත්වයකට සාර්ථකව මුහුණ දෙන්නේ?අද අපි ඒ ගැන කතා කරමු.
1.ඔහුගේ මවගේ කැමැත්ත ඔහුගේ අවසාන තීරණයයි.ඇයට අවශ්‍ය ඔහු සමඟ යම් කාර්යයක් කිරීම කියලා හිතමු.ඇයව වෛද්‍යවරයා වෙත ගෙන යාමට, ඇය සමඟ ආහාර ගැනීමට වගේ දෙයක් ඔහුගේ අම්මාට අවශ්‍ය නම් ඔබේ සැමියා ඔබේ අවශ්‍යතා නොසලකා ඇය සමඟම ඉන්නවා.
2.ඔහුට දුරකථනය හරහා දිනපතාම අම්මාට අමතන්න අවශ්‍ය වෙනවා.මෙය නම් ඇත්තටම ඒ තරම් කලබල විය යුතු කාරණාවක් නෙවෙයි.
3.ඔහු සෑම විටම තම සහකාරිය හෝ දරුවන්ට වඩා අම්මාව තෝරා ගන්නවා.
4.ඔහු කිසි විටෙකත් තම මවගෙන් දුරස් වෙන්න කැමති නැහැ.විවාහයෙන් පස්සේ මහ ගෙදර නවතින්න තෝරා ගන්න සමහර තරුණයන්ට ඇත්තටම අවශ්‍ය වෙන්නේ අම්මාගෙන් ඈත් නොවී ඉන්න එකයි.
5.ඔහුගේ මව නොමැතිව ඔහුට තීරණ ගැනීම දුෂ්කරයි.මුළු වැටුපම අම්මා අත තැබීම වගේ දේ කරන්න පෙළඹෙනවා.
6.අම්මා වාගේම ඔබත් ඔහුව රැකබලා ගැනීම ඔහු අපේක්ෂා කරනවා.
මේවා හඳුනාගත් පමණින්ම ඔබ කලබලයට පත් වී ඔහුගෙන් දුරස් වෙන්න උත්සාහ ගන්න එපා.
ඔබේ සැමියා මමාස් බෝයි කෙනෙක් නම් මේ දේවල් කරන්න.
ඔහුට ඔබ සහ අම්මා අතර සීමාවන් ඇති බව වටහා දෙන්න.”ඔයා අම්මා බලන්න යන්න කලින් මේ දේ කරලා යන්න..” වගේ කාරණා පවසන්න.අම්මාගේ නිවසේ ජිවත් වීම වෙනුවට ඇය සිටින නිවසට සමීප නිවසක ජීවත් වීම වැනි දේ තෝරා ගන්න.මඳක් ආත්මාර්ථකාමී වීම බුද්ධිමත්ව සිදු කරන්න.
ඔබේ විවාහය සැමවිටම ඔබේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය කර ගන්න එපා. ඔබම ඔබේ ප්‍රමුඛතාවය වෙන්න. ඇත්තටම ටිකක් යහපත් ආකාරයට ආත්මාර්ථකාමී වන්න. ඔබ වෙනුවෙන් වැඩ කරන්න, විනෝදාංශයක් සොයා ගන්න, නව රුචිකත්වයන් ගවේෂණය කරන්න. ඔබේ සැමියාගෙන් පිටත මිතුරන් සහ පවුලේ අය සමඟ ඔබේ සබඳතා වර්ධනය කරන්න. ඔබ ස්වාධීන බව ඔහුට දැනෙන්නට ඉඩ හරින්න.
නැන්දම්මාට දොස් නගමින් සැමියා සමඟ රණ්ඩු කරන්න යන්නට එපා.ඇයව පහත් කරමින් කතා කරන්නට යාම සැමියා තවතවත් ඔබගෙන් දුරස් කරනවා මිස වෙනත් යහපතක් සිදු කරන්නේ නැහැ.එය ඔබ දෙදෙනා අතරට නැන්දම්මා රැගෙන එන අතර දරුණු කුණාටු ද නිර්මාණය කරන්නට ද එය හේතුවක් වෙනවා නිසැකයි.ඒ නිසා ඔබ අකමැති දෑ බුද්ධිමත්ව ඔහුට පෙන්වා දෙන්න.
මේ අර නිර්නාමික ගැටලු වල සිටින පීඩාවට පත් ලේලියගේ චරිතය නෙවෙයි.නැන්දම්මා ඔබේ සැමියාම පතන සමහර තැන්වල දුවකගේ භූමිකාව ඔබ භාර ගන්න.”අම්මව බේත් ගන්න එක්ක යන්න මට පුලුවන්” වැනි ඉදිරිපත් වීම් ඔබත් ඒ පවුලේ කටයුතු සඳහා අත පොවන බව ඇයට වටහා දෙනු නිසැකයි. “පුතා මගේ චිකන් කරි එකට මාර ආසයි” කියමින් ඇය ඔබව පහතට ඇද දමද්දී ” එයා මං හදන පුඩිමටත් කැමති.අම්මා කරීස් හදන්න.මම ඩෙසට් හදන්නම්” කියන්න ඔබට පුලුවන්.ඇගේ උපන්දින තෑග්ග තේරීම මේ වතාවේ කළේ ඔබ බව සාදය අතර සුහදව ඇයට කීමෙන් පුතා ඇගේ කැමති අකමැති තැන් ඔබට ද කියන බව ඇය වටහා ගනිවී.
පාලනය කර ගන්නට නොහැකි තරමට නැන්දම්මා ඔබේ සැමියාව අයත් කර ගන්නා තැන් තිබෙනවා.පුතාගේ වැටුප පාලනය කරන අම්මලා ඔහුගේ ලිංගික ජීවිතයට පවා අත පොවන අම්මලා ඉන්නවා.එවැනි මොහොතක උපදේශනය මඟින් ඔබ කළ යුතු දේ තීරණය කරන්න.සැමියා සමඟ සෘජුව කතාබහ කර උපදේශනයට යොමු වන්න.
සෑම ගැටලුවකටම විසඳුමක් තිබෙනවා.නමුත් ගැටලු නිර්මාණය කිරීම නවත්තන්න පුලුවන් අපේ පරම්පරාවටයි.ඔබේ පුතු ආදරණීය දරුවෙකු කරන්න.ඔහුව ස්වාධීන ජීවියෙකු බවට පත් කරන්න.මොනම අවස්ථාවකවත් ඔහු මමාස් බෝයි කෙනෙකු කරන්න එපා.
ඔබ විඳින දුක අනාගතයේ දැරියකට නොවිඳින්නට ඉඩ දිය යුත්තේ ඔබම බව මතකයේ තබා ගන්න.
Saru FM Media