අමද්‍යප දිනය සහ හෙට දවස….

0
2

අමෙරිකානු සංස්කෘතිය යනු ලෝකයේ අඩුම වයසක් ඇති සංස්කෘතීන්ගෙන් එකකි. අප මේ කියන්නේ සුද්දන් අමෙරිකාවට ගොස් පිහිටුවන ලද අමෙරිකන් සංස්කෘතිය ගැනය. 1800 ගණන්වලදී මේ නැඟී එන සංස්කෘතියට විශාල හෙණයක් පාත්විය. ඒ වූ කලී විස්කි ය. යුරෝපාකරයේ සිටින මිනිස්සු කොහොමටත් මත්පැන් පානය කරති. අමෙරිකාවට වැඩි වශයෙන්ම සංක්‍රමණය වුණේ එංගලන්තයේ විසූ සුද්දෝ ය. මේ මිනිස්සු කොහොමටත් කනබොන උදවිය වූහ. 1820 වන විට අමෙරිකාව පුරා මත්පැන් පානය ඉතා දරුණුවට පැතිර ගියේය. මේ හෙණගෙඩිය නිසා අමෙරිකාවේ නිෂ්පාදනය දුර්වල විය. මිනිස්සු ද දුර්වල වූහ. මේ තත්ත්වයෙන් මිදීම පිණිස අමද්‍යප අමෙරිකන් සංස්කෘතියක් නිර්මාණය කිරීමට කල්පනා කළ තරුණ අමෙරිකානුවන් පිරිසක් 1737 දී රතු ඉන්දියානුවකු විසින් ආරම්භ කරන ලද අමද්‍යප ව්‍යාපාරයක් නැවත වතාවක් පොලිෂ් කර, අලුත්වැඩියා කර නිව්යෝර්ක් නගරයට ගෙන ආවේ ය. එංගලන්තයේ සිට පැමිණි සුද්දන් ලංකාවේ කසිප්පුවලට සමාන නීතිවිරෝධී හොර මත්පැන් පානය කර පිස්සු කෙළින හැටි දුටු රතු ඉන්දියානුවෝ මුල සිටම එයට විරුද්ධ වූහ. එහෙත් ඒ වනවිට අමෙරිකන් මහාද්වීපයේ උඩ කොටසේ බලය තනිකරම සුද්දන් අතේ තිබූ නිසා ඔවුන්ට කර කියා ගත හැකි දෙයක් නොවීය. ඔවුන්ට තිබුණු එකම විකල්පය වූයේ විස්කි සහ බ්‍රැන්ඩි ඇතුළු වෙනත් මද්‍යපාන පානය කිරීමෙන් වැළකී සිටීම ය. මේ ආදර්ශය දෙස බැලූ ප්‍රගතිශීලී තරුණ අමෙරිකානුවන් පිරිසක් 1850 ගණන්වල මැද හරියේ දී අමද්‍යප දිනයක් ප්‍රකාශයට පත් කළහ. එම අමද්‍යප දිනය වැටෙන්නේ ඊයේ (03දා) ට ය. ඒ ගැන කතුවැකියක් ලිවීම සුදුසු බව අපි තීරණය කළෙමු. පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම අවුරුද්දකම ඔක්තෝබර් 03 වැනිදා ලෝක අමද්‍යප දිනය ලෙස පිළිගත්තේ ය. අප දන්නා පරිදි මේ දිනයට ගරු කරමින් ඒ දවස පුරා බාර් වසා තබන ලදී.

ශ්‍රී ලංකාව යනු කොහොමටත් අමද්‍යප රටකි. අවුරුදු 2500 ක බෞද්ධ සංස්කෘතියක් ඇති බැවින් ලංකාව අමද්‍යප විය යුතුම ය. බුදුදහම මත්පැන් පානය බැහැර කරයි. එය පස්පව්වලින් එකකි. මීට අවුරුදු පන්සියයකට පමණ පෙර පෘතුගීසිකාරයන් ලංකාවට එන කාලයේ දී ආසවනය කරන ලද මත්පැන් තිබුණේම නැත. මේ රටේ මිනිසුන් පානය කළේ පොල් රා හෝ කිතුල් රා පමණි. රා කට්ටක් ගසා ලුණු කැටයක් හපා පිදුරුතලාගල කන්ද තරම් ලොකු බත් කන්දකට වගකියා ගෙයි පිලෙහි එලන ලද මාගල මත කෙහෙල් කඳක් සේ කඩාවැටී නිදාගැනීම පුරාණ ලංකාවේ ඇතැම් පිරිමින්ගේ පුරුද්ද විය. මෙසේ රා බිවූ කල එළිවනතුරු නැගිටීමක් නැත. මේ නිසා එකී බේබද්දාගේ බිරියට පවුල් කෑමට සිදුවුණේ වෙන අය සමග ය. ආසවනය කරන ලද මත්පැන් හෙවත් බ්‍රැන්ඩි, විස්කි වැනි එතනෝල් මිශ්‍ර මත්පැන් ප්‍රවර්ධනය කරන ලද්දේ මෙරට ආක්‍රමණය කළ යුරෝපීයයන් විසිනි. පෘතුගීසි ජාතිකයෝ අපට වයින් පුරුදු කළහ. වයින් යනු ඇඹුල් රස දියරයකි. එය රාවලට වඩා ඇඹුල් ය. රා කටු දෙකක් ගසා ලැබෙන සූර් එක වයින් එක පොල්කට්ටකින් ලැබිණ. ආසවනය කරන ලද මත්පැන් පුරුදු වූ පසු මිනිස්සු එයට මහත් සේ ඇදීගියහ. බ්‍රැන්ඩි පොල්කට්ටෙන් එකක් ගැසූ විට රා බෝතල් පහක් ගැසූ චූන් එක ක්‍ෂණිකව ලැබිණ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා ලංකාවේ මුළුමහත් මධ්‍යම කඳුකරයටම මත්පැන් පුරුදු කළේ ය. උඩරට තේ වතුවලට ඉන්දියාවෙන් ගෙනා දෙමළ කම්කරුවා ලංකාවට එන විටත් මත්පැන් ලෝලියෙකි. හෙතෙම මත්පැන් හදාගෙන පානය කළේ ය. පොල් කට්ටකට වයින් ස්ප්‍රීතු (මෙය උක්ගස්වලින් සාදන එතනෝල් වර්ගයකි) දමා එම වයින් ස්ප්‍රීතුවලට ගිනි තබා, දමා තිබූ වයින් ස්ප්‍රීතුවලින් භාගයක් දැවී ගිය පසු එම ඉතිරියට දෙහිගෙඩියක් මිරිකා දැමීම ඔවුහු කළහ. මෙවිට එම මිශ්‍රණය අල හොදි මෙන් සුදුපාට විය. මේ මත්පැන් වර්ගය හඳුන්වන ලද්දේ ද අල හොදි යනුවෙනි. දවස තිස්සේ තේ වත්තේ ගල්වැට බඳින කම්කරුවා රාත්‍රී කාලයේ දී මේ අල හොදි පොල්කටු භාගයක් බිවූ විට අහසේ සැරිසරන්නට පටන් ගත්තේ ය. මේ භයානක පානය විස වී වතුකරයේ පිරිමි විශාල වශයෙන් මිය ගියහ. මේ නිසා යුරෝපීය වතු පාලකයෝ වතුකරයට පොල් අරක්කු හඳුන්වා දුන්හ. කරත්තයක අරක්කු පීප්ප දෙකක් පටවාගත් සිංහල මිනිස්සු කිහිපදෙනෙක් එය තේ වත්තට තල්ලු කරගෙනවිත් කම්කරුවන්ට අරක්කු විකිණීමට පටන් ගත්හ. මෙය සුද්දට ලොකු වාසියකි. මේ නිසා අල හොදි ගැසීම සඳහා වැඩකරන අතරතුර හොර පොළවල්වලට රිංගන කම්කරුවන් ගණන ශූන්‍ය විය. ඔවුන්ට අරක්කු ලැබුණේ ණයට ය. ඒ ණය දෛනික පඩියෙන් හවසට කපා ගන්නා ලදී.

ලංකාවේ මත්පැන් පානයට එරෙහි වූ ප්‍රධානතම පුද්ගලයා ලෙස අනගාරික ධර්මපාලතුමා දැක්විය හැකි ය. ඉංග්‍රීසි නම් ඇති සිංහලයාට සිංහල නම් දෙමින් ද අරක්කුවලට හතර අතේ බණිමින් ද ධර්මපාලතුමා රට වටේ ගියේ ය. පියදාස සිරිසේන, වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි අය අරක්කුවලට තරයේම එරෙහි වූහ. මේ නිසා අරක්කු රේන්දවලින් ජීවත් වූ සිංහල බෞද්ධයෝ සිංහල බෞද්ධ අනගාරික ධර්මපාලතුමා සමගත්, සිංහල බෞද්ධ වලිසිංහ හරිස්චන්ද්‍ර සහ සිංහල බෞද්ධ පියදාස සිරිසේන සමගත් ගැටෙන්නට වූහ.

අමiප දිනය පැවැතිණි. අද ලෝක සත්ව දිනයයි. මේ දෙකම කොහොම වෙතත් අපි මත්පැනින්, දුම්පානයෙන් වෙනත් මත්ද්‍රව්‍යවලින් මිදිය යුතුය. එමෙන්ම සතා සිවුපාවුන්ට මෙන්ම මානවයාටද සෙනෙහස දැක්විය යුතුය. සැබෑ මිනිස් ආත්මයේ ඵල නෙළාගත හැකි වනුයේ එවිටය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here