අභියාචනාධිකරණයට අපහාස කරලා… විනිසුරු බාලේන්ද්‍රන්ගෙන් CIDයට පැමිණිල්ලක්… අභියාචනාධිකරණයෙනුත් නියෝගයක්…

0
7


අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන්ට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් 06ක තොරතුරු ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (28) අවසර ලබා දී ඇත.
ඒ මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ කරුණු මත පදනම්වය. එම බුද්ධි ඒකකය අදාළ කරුණු ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, එම සමාජ මාධ්‍ය ජාලාවලට ප්‍රශ්න නවයක් යොමුකර ඊට අදාළව පිළිතුරු ලබාගැනීම සඳහා අවසර ලබා දෙන ලෙසය.
රට තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පිල්ලෙයාන් යන අයට විරුද්ධව පැවරූ නඩු කටයුත්තෙන් පිල්ලෙයාන් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් අභියාචනාධිකරණයට හා තමාට අපහාසයක් වන ආකාරයට එම සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වල අසත්‍ය තොරතුරු පළකර ඇති බවත් ඒ සඳහා තමාගේ රාජකාරි නිල ඇඳුම් සහිත ඡායාරූපද පළකර ඇති බවත් විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් එම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇති බවද එම ඒකකය අධිකරණයට දන්වා ඇත.
එම ප්‍රශ්නගත නඩු කටයුත්ත කිසිදු දිනයක තමා ඉදිරියේ කැඳවීමක් කර නඩු කෘත්‍යයක් ලෙස විභාග නොවූ බවත් ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව තොරතුරු දන්වා යවා ඇති බවත් විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් සිය පැමිණිල්ල මඟින් පෙන්වාදී ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
එම සිද්ධියට අමතරව තමන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්ද එම සමාජය මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු පළ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසද අභියාචනාධිකරණ විනිසුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා ඇත.
පැමිණිල්ල ඉදිරිපත් කළ අභියාචනාධිකරණ විනිසුරු, තම බුද්ධි ඒකකය වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලට අනුව එම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළකර තිබෙන අසත්‍ය පුවත් හේතුවෙන් සමස්ත අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක් කරමින් ජනතාවට අධිකරණය කෙරෙහි විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට තිබෙන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දී තිබේ.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව ලැබී තිබෙන බලතල ප්‍රකාරව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද බුද්ධි ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here