අපේ පුතුට නංගියෙක්…ගේනවා..

0
10


පවුලක් වුනාම දරුවෝ දෙතුන් දෙනෙක් වුනොත් බොහොම ආලෝකයක් ලැබෙනවා. ඒ නිසාම දෙමව්පියන් තම කැදැල්ලට තවත් අමුත්තෙක් බලාපොරොත්තු වෙනවා. කාලයත් සමග ඒ සුබ ආරංචිය ලැබෙනවා. ඉතින්..තවත් ගැටලුවක් ඇති වෙනවා..

අම්මාට දැන් ටිකක් අපහසුයි…

කුළුදුලේ දරුවා ලැබෙද්දී නම් අම්මාට එතරම් ගැටලුවක් වුනේ නැහැ. දැන් පුංචි පුතෙක් හෝ දුවෙක් ඉන්න නිසා එයාගේ වැඩ කටයුතුත් සමග කාලය ගෙවන්නත් ඕන. මුල් කාලයේදී ඇති වෙන ශාරිරික අපහසුතාවයන් නිසා තමන් මෙච්චර කාලයක්ම දැඩි ආදරයෙන් සහ අවධානයෙන් සිටි දරුවා ගැන පුංචි හෝ අතපසුවීම් ඇති වෙනවා. මේ තත්වය දැන් පැටියාට ගැටලුවක්.දරුවාත් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. අම්මාටත් ඒ තත්වය ටිකක් අපහසුයි. 

අම්මාට කරදර කරන්න එපා…

ඔන්න දැන් හැම තැනින්ම පැටියාට ලැබෙන පණිවිඩය ඒකයි.මම නිවස තුළම ප්‍රතික්ෂෙප වෙලා කියන සිතුවිල්ල දරුවාට ලැබෙනවා. ඒ නිසා දෙවැනි දරුවා ලැබෙන පණිවිඩය ලැබුනාම පුංචි අමුත්තෙක් නිවසට එන බව වැඩිමහල් දරුවාට බොහොම ආදරයෙන් සහ ප්‍රවේසමෙන් කියා දෙන්න.ඔබ දරුවාට ලබා දෙන පණිවිඩය අනුව තමන්ගේ ප්‍රතිචාර දරුවා ගොඩ නගා ගන්නවා.

දරුවාගේ හිතේ ඊර්ශ්‍යාව ඇති වෙන්නේ ඇයි..?

දරුවන්ගේ හිත් බොහොම සංවේදියි. ඔවුන්ට හැම දෙයක් දෙසම සාධාරණ ඇසකින් බලන්න බැහැ. ඒ නිසා පවුල තුළ අලුත් අමුත්තෙකුගේ ආගමනය ඉතා දැඩි විදිහට බලපාන මානසික තත්වයක් වෙන්න ඉඩ තිබෙනවා.

නිවස තුළ ඇති වෙන මේ පරිසරය නිසා වැඩිමහල් දරුවා බෙහෙවින් මානසික පසුබැසීමකට පත් වෙනවා. එය දරුවෙකු සම්බන්ධයෙන් එතරම් ගැලපෙන තත්වයක් නොවෙයි.

දරුවාගේ මානසික තත්වය ගැන දැන ගන්නේ කොහොමද..?

ඔන්න ඔය විදිහට වැඩිමහල් දරුවා විවිධ හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය කරන්න පුලුවනි. ඒ සේරමටත් වඩා දැඩි ගැටුමක් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා. බාල දරුවාට රහසේම හිරිහැර කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මේ මානසික තත්වය සමග දෙමව්පියන් බොහොම ප්‍රවේසමෙන් කටයුතු කරන්න අවශ්‍යයි.

ඉතින්..වැඩිමිහල් දරුවාටගේ හිත නොරිදෙන විදිහට අලුත් අමුත්තා පිලිගන්නේ කොහොමද..?

පුතාට නංගියෙක් ගේන්නයි යන්නේ…

ඔන්න අම්මා පුතාට නංගියෙක් ගේන්නයි යන්නේ..අම්මාගේ බන්ඩියේ දැන් නංගියෙක් ඉන්නවා. පුතා කැමැතියි නේද..? එතකොට පුතාට සෙල්ලම් කරන්න පුලුවනි..පුතා අයියා කෙනෙක් වුනාම නංඟියාව හොදට බලාගන්න ඕන.. නංඟිත් ඔයාට ආදරෙයි නේ..

මේ අන්දමින් දරුවාගේ මානසිකත්වය අලුත් අමුත්තා පිලිගන්නා ලෙසින් සූදානම් කිරීම ඉතාම වැදගත්.

එසේ නොමැතිව නිතරම දරුවා ප්‍රතික්ෂෙප වන අන්දමින් කටයුතු කරත්ම ඔහු අම්මා විසින් අනාගතයේදී කැදවා ගෙන එන අලුත් නංඟියා හෝ මල්ලියා ගැන සිතේ අමනාපයක් අද දවසේ පටන්ම ගොඩ නගා ගන්නවා.

වැඩිමහල් දරුවාටත් අවධානය දෙන්න..

දෙවැනි දරුවාගේ ප්‍රසුතිය වෙනුවෙන් සූදානමින් සිටින දෙමව්පියන් වැඩිමහල් දරුවාටත් හැකි අන්දමින් අවදානය ලබා දෙන්න.මෙතෙක් පවුලේ රජා ලෙසින් සිටි ඔහු දැන් නොදැනීම අවතැන් වුනොත් එය දරුවාට දැඩි මානසික ප්‍රශ්නයක් විය හැකියි.ඒ නිසා වෙනදා මෙන් නොහැකි වුනත් ඉඩ ලද සෑම විටම අවදානය, ආදරය දක්වමින් ඔහු පවුලේ වැදගත් චරිතයක්ය යන ශක්තිය ගොඩ නගා ගැනීමට හැකි ලෙසින් පවුලේ වටපිටාව සූදානම් කරන්න.

අළුත් අමුත්තා පැමිණි විට..

අලුත් අමුත්තාගේ පැමිනීමත් සමග නිවසේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට පටන් ගන්නවා. වෙනදා නොමැති කලබලයක් වගේම අලුත් පැටියා බලන්න එන නැදෑ හිත මිතුරන් සමග නිවසේ පැවැති පරිසරය සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා. මේ වෙනස තුළ වැඩිමහල් දරුවා අවතැන් නොවන සේ කටයුතු කිරීම ඉතාම වැදගත්.අළුත් දරුවාට තෑගි බෝග ලැබෙන විට එය යම් අන්දමකින් වඩිමහල් දරුවාගේ හිතට දැනෙන්න පුලුවනි.ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබ වැඩිමහල් දරුවාගේ හිතේ ඊර්ශ්‍යාවක් ගොඩ නැගෙන්නට ඉඩ නොමැති ලෙසින් නිවස සූදානම් කරන්න.ඒ නිසා බාල දරුවාට තෑග්ගක් දෙන විට ඒ නිවසේ වැඩිමහල් දරුවෙකු සිටිනවා නම් පුංචි හෝ යමක් ඔහුටත් ලබා දීම වඩාත් සුදුසුයි.

වෙනදා තාත්තා එන තෙක් මග බලා සිටි වැඩිමහල් දරුවා ගෙන තවමත් ඔබේ අවධානය ලබා දෙන්න.මුලින්ම ඔහු සිප සනසන්න. නංගි හෝ මල්ලි ගන තොරතුරු ඔහුගෙන් විමසන්න.

මල්ලි කිරි බිව්වද..? මල්ලි අද ඇඬුවද..? ඔයා මල්ලි බලා ගත්තද..? මේ විදිහට යම් වගකීමක් ලබා දුන් විට තමාත් මේ පවුලේ වැදගත් චරිතයක් බැව් වැඩිමහල් දරුවා විසින් තේරුම් ගනු ඇත.

බාල දරුවාගේ වැඩ කටයුතුවලට සහය කර ගන්න

බොහෝ දෙමව්පියන් බාල දරුවාගේ වැඩ කටයුතුවලදී වැඩිමහල් දරුවාගේ සහයෝගය ලබා ගන්නේ නැහැ. සමහර විට එයින් එක වැඩය දෙගුණයක් බවට පත් වෙන්නත් පුලුවනි. නමුත් නිතරම එපා..එපා…කියනවාට වඩා පුතා නංගිගේ රෙදි ටික ගෙට ගේන්න… නංගාට අන්දවන්න ලස්සන ගවුමක් පුතු තෝරලා දෙන්න..

මෙවැනි පුංචි පුංචි කටයුතු පැවරීම සමග අලුත් අමුත්තා සමග තමාද ගනුදෙණු කරන බැව් ඒත්තු ගැනුනොත් පුංචි වුනත් මටත් නිවසේ යම් වගකිමක් තිබෙන වැදගත් චරිතයක් බැව් වැඩිමහල් දරුවා විසින් තේරුම් ගනු ඇති.

ඒ නිසා අලුත් අමුත්තෙකුගේ පැමිනීමත් සමග තිබෙන මාස ගණනාව පුරා ඔබට වැඩිමහල් දරුවාගේ මානසිකත්වය ඉතාම යහපත් අන්දමින් ගොඩ නගන්න පුලුවනි.කිසිම දිනක ”ඔයා දැන් ලොකුයි..දැන් අපට නංගියෙක් ඉන්නවා..ඔයා දගයි..ඔයා අපට දැන් වැඩැක් නැහැ…නංගා හොදයි..යනුවෙන් විවිධ අන්දමින් ඔබේ වැඩිමහල් දරු පැටියා අවතැන් කරන්න එපා. ඔබ නොදැන සිදු කරන මේ තත්වය නිසා වැඩිමහල් දරුවා නොදැනීම තමාගේ සහෝදරයා සමග විරසකබවක් හිතෙන් ගොඩ නගා ගැනීම අනාගතයේදී සහෝදරත්වයට පවා බලපාන තත්වයක්..ඒ නිසා අලුත් අමුත්තා පිලිගන්නා මානසිකත්වය දරු පැටියාගේ මානසිකත්වයේ ගොඩ නගන්න.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here