2000ට තිබුණු ආසන පටිය දැන් 4500යි ආණ්ඩුව
මේ කළේ ව්‍යාපාරිකයන්ට ඉල්ලමක් පාදල දීපු එක
- ජනතාව
ආසන පටිය අනිවාර්යය කිරීමෙන් ප්‍රවාහන ක්‍ෂේත්‍රය ගැටලුවක
මරදාන ඩාලි පාරේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසල් කීපයක බොහෝ පිරිසක් රැස්ව සිට කඩිමුඩියේම ගනුදෙනුවක නිරත වී සිටින අයුරු අපි දුටුවෙමු. “ඔය ලාස්ට් ප්‍රයිස්ද? ඊට වැඩිය අඩුවෙන් අපට ගන්න බැරිද?
පාරිභෝගිකයකු එසේ ඇසුවේ අතේ ඇති මිලට වාහන බඩු ගෙදර ගෙන යන්නටය. කොළඹ නගරය කියන්නේද මෝටර් රථ අමතර කොටස්වලට සුප්‍රසිද්ධ ස්ථානයකි. පංචිකාවත්ත, මරදාන, වැල්ලම්පිටිය ආදී තවත් බොහෝ ස්ථාන රැසක පිහිටි රථ වාහන අමතර කොටස් වෙළෙඳසල් කිහිපයක සංචාරය කළ අපට දැක ගන්නට හැකි වූයේ ‘සීට් බෙල්ට්’ එසේත් නැතිනම් ‘ආසන පටියට’ නම් මෙදා පාර ‘හොඳ කලක්’ ගොස් ඇති බවය. වෙළෙඳපොළේ වැඩි මිලට ගජරාමෙට විකිණෙන ආසන පටියේ කතාව අප මෙවර කියන්නේද අද වන විට ආසන පටිය රියැදුරාගේ හා මගීන්ගේ ආරක්‍ෂාවට වඩා පාරිභෝගිකයාගේ පොකැට්ටුවට විදින මෙවලමක් බව පෙන්වා දීමටය.
සෑම පැය 4කට වරක් මෙරට රිය අනතුරකින් පුද්ගල මරණයක් වාර්තාවීම කෙතරම් ඛේදනීය තත්ත්වයක්ද? පසුගිය වසර පහ තුළ සිදුව ඇති අනතුරු පිළිබඳව නිරීක්ෂණය කළ විට සෑම පැය හතරකට වරක් ම ආසන්න වශයෙන් මාරක රිය අනතුරක් හේතුවෙන් ජීවිතයක් අහිමි වූ අවස්ථාවන් දැකිය හැකිය. ශ්‍රී ලංකා පොලිසිය විසින් පසුගිය වසර කිහිපයේ සිදුව ඇති රිය අනතුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක ඇති දත්ත විශ්ලේෂණයේදී දිනකට රිය අනතුරු 64ක් පමණ සිදුවේ. එවන් තත්ත්වයක් තිබියදී කොතරම් ජනතාව දැනුවත් කළද මෙරට සිදුවන රිය අනතුරු පිළිබඳව සලකා බැලීමේදී එය තවමත් පෙනී යන්නේ ‘බීරි අලින්ට වීනා වයන්නාක්’ වැනිය.
මින් පෙර අප කොතෙක් රිය අනතුරු පිළිබඳ කතා කළද තවමත් අපට එයින් මිදිය නොහැක්කේ මිනිස් ජීවිතයක වටිනාකම දන්නා නිසාය. මාරක රිය අනතුරක් බොහෝ විට සිදුවන්නේ රියැදුරාගේ අපරික්ෂාකාරී ධාවනය, බීමත්කම, අධික වේගය හා නිසි ආරක්ෂක අංගෝපාංග භාවිත නොකිරීම මතය. එයට කදිම නිදසුනක් සපයන්නේ ආසන්නතම මාරක රිය අනතුර වූ ඇල්ල බස් රථ අනතුරය. තවද රම්බොඩ ගැරඬිඇල්ල වැනි මාරක අනතුර ද පසුගිය කාලය තුළ මෙරටට වටිනා මිනිස් ජීවිත අහිමි කළේය. බස් රථ අනතුරුවලට අමතරව අනෙකුත් රිය අනතුරුද දිනෙන් දින ශීඝ්‍ර වැඩිවීමක් සිදුවන්නේ ඉහත කී කරුණු හේතු කොටගෙනය. එහෙත් අප මේ කතා කරන්නේ ඒ අල්ලපනල්ලේම රිය අනතුරුවලින් ජීවිත බේරාගැනීම සඳහා වත්මන් රජය ආසන පටි නීතිය අනිවාර්ය කිරීම ගැනය.
රියැදුරාටත් මගීන්ටත් අනිවාර්ය වූ ආසන පටිය
අගෝස්තු මස 01දා සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද, සැප්තැම්බර් 01දා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැළඳීම අනිවාර්ය බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කොට තිබුණි. මෙකී නියමයට අනුකූල නොවන රියැදුරන් සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඒ සම්බන්ධව පොලිසියට හා අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද එම අමාත්‍යාංශය මගින් කියා තිබුණේ ය.
ආසන පටියට පාලන මිලක් නෑ මිලක් පනවලා තිබුණා නම් වැඩි මිලට විකුණුවොත් නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන්
- පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්
අද ඊයේ ආපු නීතියක් ද
ආසන පටි නීතිය පසුගිය මස සිට පැනවීමත් සමගම සමාජය තුළ කථිකාවතක් නිර්මාණය වූයේ පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු රථ වාහන ධාවනයේදී ආසන පටි පැළඳීම නව රජය ගෙන ආ නීතියක් බවටය. ඇතමුන් මේ ආසන පටි නීතියට විවිධ අර්ථකථනයන් සපයන්නට ද විය. බොහෝ දෙනකු කියන්නට වූයේ ආසන පටි පැළඳ රිය ධාවනයේදී ශාරීරික අපහසුතා ඇතිවන බවය. තවත් අයකු කියන්නට වූයේ ආසන පටිය නොපැළඳුවේ නම් අනතුරකදී මගියා එළියට විසි වී හෝ ජීවිතය බේරා ගත හැකි වනු ඇති බවය. තවත් පිරිසක් මේ ආසන පටි නීතිය පිළිබඳව අසත්‍ය පුවත් මවමින් මාධ්‍යයේ පළ කර තිබෙන හැටිද අපි දුටුවෙමු. එහෙත් අප කියන්නේ ආසන පටි නීතිය නව රජය මගින් ගෙන ආ ලද්දක් නම් නොව එය මෝටර් රථ ආඥා පනතේ මගියා හා රියැදුරාගේ ජීවිත ආරක්ෂාව තකා ගෙන ආ නීතියක් බවය.
තවත් විදිහකින් කිවහොත් මෙය නව නීතියක් වශයෙන් 2025 සැප්තැම්බර් 1දා සිට සංශෝධනය කර තිබුණද, 2011 අගෝස්තු 09 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1718/12 දරන ගැසට් පත්‍රය මගින් රථ වාහන ධාවනයේදී රියැදුරකු විසින් ආසන පටිය පැළඳීම අනිවාර්ය බවට සඳහන් කර ඇත.
මගියා හා රියැදුරාගේ ජීවිතය රැක ගැනීමට නීති පනවා තිබුණේ එම නීතිය ද පමණක් නොවේය. 1981 අංක 21 දරන මෝටර් වාහන සංශෝධිත පනතේ 169 වන වගන්තිය ප්‍රකාරව අඛණ්ඩව රිය ධාවනය කිරීමේදී රියැදුරකු සෑම පැය 4යි විනාඩි 30කට වරක් විනාඩි 30ක කාලයක් විවේක ලබාගත යුතු බවද සඳහන්ය. එහෙත් වත්මන් රජය දෛනිකව මෙරට තුළ වාර්තා වන මාරක රිය අනතුරු අවම කර ගැනීමේ අභිප්‍රායෙන් යුතුව නැවත සංශෝධනය කළ ආසන පටි නීතිය කෙතරම් ප්‍රායෝගික ද යන්න ප්‍රශ්නය දැන් මතුව ඇත. ආණ්ඩුව කියන හැටියට සැප්තැම්බර් 01දා සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම බස් රථ රියැදුරන් මෙන්ම ගමන් ගන්නා සියලුම මගීන් ආසන පටි පැළඳිය යුතුය. ඒ අනුව මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව නීතිය ක්‍රියාත්මක වන අතර දක්ෂිණ, කොළඹ කටුනායක හා මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලු අධිවේගී මාර්ග සඳහා මෙම නීතිය බලපැවැත්වෙනු ඇත.
ආසන පටිය ගැන ඇමැති කියන කතාව
පසුගිය දිනක ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවකට සහභාගි වී සිටි ප්‍රවාහන ඇමැතිවරයා ආසන බඳ පටි නීතිය ගෙන ඒම පිළිබඳව කියා තිබුණේ මෙවැන්නකි.
“අපේ රටේ අවුරුද්දකට 2,350ක් මිනිස්සු රිය අනතුරුවලින් මැරෙනවා. තව 6,000 ක් විතර මාරාන්තික තුවාල ලබනවා. ඒක නිසා 2025 සහ 2026 අවුරුද්දට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා රෝඩ් සේෆ්ටි ප්ලෑන් එකක්. ඒක යටතේ සීට් බෙල්ට් ප්ලෑන් එකක් පනවන්න අපි ගැසට් එක ගහනවා. මොකද කොපමණ රිය අනතුරු පිළිබඳව දැනුවත් කළත් මිනිස්සු ගණන් ගන්නේ නැහැ. හයිවේ යන්නෙත් සීඩ් බෙල්ට් එක දාන්නේ නැතුව. මේ නව නීතිය නිසා අපිට 2,350ක් ජීවිත අහිමිවන එක 2,000 කට අඩු කරන්න පුළුවන්. අපි සැප්තැම්බර් ඉඳන් සියලුම අධිවේගී මාර්ගවලට සීල් බෙල්ට් දාන්න අනිවාර්ය කරනවා. ඒ නීතිය ක්‍රියාත්මක නොකරන බස් තහනම් කරනවා. නැත්නම් ලයිසන් කැන්සල් කරනවා.”
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා ආසන පටි නීතිය පිළිබඳව මාධ්‍යයට කියා තිබුණේ නිෂ්පාදනයේදී ආසන පටි රහිත රථ වාහන සඳහා මාස තුනක ඉදිරි සහන කාලයක් ලබාදෙමින් එම වාහනවල ආසන පටි සවිකර ගැනීමට අවස්ථාව ලබා දෙන බවය. එය එසේ තිබියදී මෙරට මගී ප්‍රවාහන අවශ්‍යතාවයෙන් වැඩි සේවාවක් සපයන පෞද්ගලික බස් රථ සේවාව මේ නව නීතියට සූදානම්ද යන්න අප විමසුවෙමු. ඒ ජූලි මස 01 දා සිට සියලුම මාර්ගවල ගමන් ගන්නා සියලු බස් බස්රථ රියැදුරන් සහ සැප්තැම්බර් මස 01 දා සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම පෞද්ගලික බස් සේවාවට දැඩි අභියෝගයක් එල්ල වී ඇති නිසාය.
අද වන විට පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දී ඇති ආසන පටි ප්‍රශ්නය එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දකින්නේ ‘අතීසාරයට ගසනා අමුඩයක්’ ලෙසය. ඒ පිළිබඳව ඔහු අපට කීවේ මෙවැනි කතාවකි.
“ආසන පටි ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියන එක ඇමැතිවරයාගෙන් තමයි අහන්න ඕන. මොකද දැන් මේ නීතිය ඒ අයම ගෙනාපු එකක් නිසා. ආණ්ඩුව වැඩක් කරන්නේ නැතුව අවශ්‍ය නැති දේවල් තමයි කතා කරන්නේ. අපේ රටේ ආසන බඳ පටියට වැඩිය කොච්චර දේවල් තියෙනවද හොයන්න. අද බස් සේවකයන්ට යන්න වැසිකිලියක් නෑ, වතුර බොන්න තැනක් නෑ, විවේක ගන්න තැනක් නෑ. අපි කියන්නේ ඔක්කෝටම ඉස්සෙල්ලා ඒ ටික හදල දෙන්න කියලා. දැන් ආණ්ඩුව ආසන බඳ පටියක් ගැන කතා කරනවා. පෞද්ගලික බස්රථ රියැදුරා, කොන්දොස්තරවරු කියන්නෙත් සත්තු නෙවෙයි මිනිස්සු. ඒ වගේම ආසන පටි හදන්නත් 2011න් ඉස්සෙල්ලා ආපු පරණ බස් තියෙනවා 6000-7000ක් විතර. අනිත් එක ආසන බඳ පටියක් ප්‍රමිතියක් තියෙන එකක් හදන්න ඕනනේ. දැන් එන බස් වලටත් මගීන්ට කියලා ආසන පටි නෑ. ඒ මදිවට කඩේ ආසන පටිත් මිල ඉහළ ගිහින්. මේ වැඩේ ප්‍රායෝගික නෑ. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව දැන් කරන්නේ ‘අතීසාරයට අමුඩ ගහනවා වගේ’ වැඩක් කියලා.
ඔක්කෝටම ඉස්සෙල්ලා ජනාධිපතිවරයාත් ඇමැතිවරුත් දැනගන්න ඕනෑ අර බස් තුන්දාහක් දුවන ලංගම නෙවෙයි බදාගන්න ඕනා කියලා. අපේ බස් 14000ක් විතර දුවනවා. අපි තමයි රටේ ප්‍රවාහනයට වැඩියෙන් දායක වෙන්නේ. ආණ්ඩුව කරන්න ඕනා මුලින්ම අපේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ටික ඉටු කරලා දෙන එකයි. ඒත් හැම ආණ්ඩුවක්ම කළේ පෞද්ගලික සේවාවට කුඩම්මගේ සැලකිල්ල දක්වපු එක. ආණ්ඩුව දැන් ලංගම වැළඳගෙන පෞද්ගලික බස් සේවාවට නීති පනවල වැඩක් නෑ. පහුගිය කාලේ ඇල්ල අනතුර එහෙම සිදුවුණේ අපේ පෞද්ගලික බස් රථයකින් නෙවෙයි. ඒක වන්දනා ගමන් යන බස් රථයක්. ඔය රූට් එකේ අපේ බස් ඕන තරම් දුවනවා කිසිම කරදරයක් නැතිව. ආණ්ඩුව දැන් කරන්නේ අහක යන කුණු අපට පටවන එකයි. ඒකෙන් වෙන්නේ හැම නීතියක්ම මිනිස්සුන්ට වැටෙන එක. අද පාසල් වෑන් ටික, ත්‍රීවිල් ටික, අනිත් ප්‍රවාහන අංශ ටික කිසිම නියාමනයක් කරලා නෑ. අඩුම තරමේ ලංගමයවත් හරියට නියාමනය කරලා නෑ. අපි කියන්නේ ආණ්ඩුව ඇහේ පොල් පරාලේ තියාගෙන එළියේ තියෙන පොල් කෙන්දට ඇඟිල්ල දික් කරනවා කියලයි.”
ආසන පටි නීතිය ප්‍රායෝගික නෑ ‘අතීසාරයට ගහපු අමුඩය’ වගේ
- පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න

නීතිය නිසා තරවන බිස්නස්
ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මේ වන විට වෙළෙඳපොළේ ආසන පටි මිල රොකට්ටුවකට වඩා වේගයෙන් ඉහළ ගොස් ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඒ පිළිබඳව කළ සොයා බැලීමකදී අපට දැක ගන්නට ලැබුණේ කිසිදා නොවූ විරූ ආකාරයට වෙළෙඳපොළේ ආසන පටි මීල ඉහළ ගොස් ඇති බවකි. මරදාන ඩාලි පාරේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසල් කිහිපයකට ගොඩ වූ අපට දැකගන්නට ලැබුණේ ආසන පටි මිලදී ගැනීමට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි ජනතාවකි. එහිදී ආසන පටි මිලදී ගැනීමට ආ පාරිභෝගිකයකු කියන්නට වූයේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කර පැය 24 ක් යන්නටත් මත්තෙන් වෙළෙඳපොළේ ආසන පටියේ මිල ඉහළ ගොස් ඇති බවය. ඒ පිළිබඳව අපට කීවේ අනුරාධපුර සිට පැමිණි කුලරත්න මහතාය.
“කොළඹ මිල ගණන් අඩු නිසා අපි ආවා මෙහෙන් ගන්න. දැන් බැලුවම කොහෙත් මිල එකයි නේ. අපේ බස්වල ආසන පටි එනකොටම තිබුණේ නෑ. දැන් ආණ්ඩුව අපට සහන කාලයක් දීලනේ තියෙන්නේ. ඉතින් අඩුපාඩු ටික හදාගන්න තමයි කොළඹ ආවේ. අද එක සීට් බෙල්ට් එකක් හාරදහස් පන්සීයක් වෙලා. මම බස් එකටම බඩු ගන්න කියලයි ආවේ. කඩ හිමියෝ කියන ගාණට අපි ගන්නේ කොහොමද. ආපු වැඩේ අද කරගන්න විදිහක් නෑ.. දැන් ආපහු ගෙදර යනවා..”
ඩාලි පාරේ සෑම වෙළෙඳසලකම කරක්ගැසූ ඔහුට සිදුවන්නේ හිස් අතින් ආපසු ගෙදර යන්නටය. අමතර කොටස් වෙළෙඳසල් හිමිකරුවකු සමග මේ දිනවල කතා බහට වැටීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේය. සීට් බෙල්ට් වුවමනාවට නගරයට පැමිණෙන දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණෙන ජනයාගෙන්ද වීදියම පවතින්නේ කාර්යබහුල තත්ත්වයකය. අලුත් ආසන පටි නීතිය නිසා බොහෝ වෙළෙඳසල් හිමියන්ද තමන්ගේ පටිය තද කර ගැනීමට බොහෝ උනන්දුවක යෙදෙන අයුරුද අපට දැක ගන්නට හැකි විය.
“මහත්තයෝ… මේ වෙලාවේ නම් අපි බිසී. දැන් කතා කරන්න අමාරුයි” රථ වාහන අමතර කොටස් වෙළෙඳසල් හිමියකු අප ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු බැන්දේ එසේය.
“අපිට කරන්න දෙයක් නෑ.. සීට් බෙල්ට් විතරක් නෙවෙයි හැම වාහන අමතර කොටසක්ම දැන් මිල වැඩියි. අනික බෙල්ට්වලට තියෙන ඉල්ලුම වැඩි නිසා වෙළෙඳපොළේ සීට් බෙල්ට් මිල වැඩිවෙලා. දැන් බෙල්ට් හිඟයක් පවා ඇතිවෙලා.” බොහෝ වෙලාවක් බලා සිටි අපට නම් ගම් හෙළි කිරීමට අකමැති වූ ව්‍යාපාරික මහතෙකු සීට් බෙල්ට්වලට වී ඇති සන්තෑසිය කීවේ එසේය. කොළඹ නගරයේ සීට් බෙල්ට් ගැනීමට පැමිණි තවත් වාහන හිමිකරුවකු අපට හමුවිය. අලුත් ආසන පටි නීතියෙන් හිරවී ඇති ඔහු තමන් මුහුණ දී ඇති තත්ත්වය අපට කියන්නට විය.
“මම පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස්, වෑන් රථ ව්‍යාපාරිකයෙක්. දෙයියන්ගේ පිහිටෙන් අපි කාලා ඇඳලා ඉන්නේ මේ රස්සාව නිසා. මේ රස්සාවෙන් මට විතරක් නෙවෙයි තවත් අයට රස්සා කීපයක් දීලා තියෙනවා. ගමේ ඉඳන් පාසල් ළමුන් කොළඹ අරන් යන එක තමයි අපේ රස්සාව. ඒත් දැන් අලුත් නීතිය නිසා අපේ බස්වලට අලුතින් සීට් බෙල්ට් හයිකරන්න වෙලා. සීට් බෙල්ට් තියෙන එක හොඳයි. ඒකෙන් මගීන්ට ආරක්ෂාව ලැබෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒත් ඒක එකපාරටම අපට හදාගන්න අමාරුයි. ඒකට කාලයක් යනවා. රජයෙන් ඒ සඳහා ණය පහසුකමක් ලබා දෙනවා නම් ඒක අපට ගොඩක් වටිනවා. මොකද අද ඉන්ධනවලට, වාහන අමතර කොටස්වලට, සේවක පඩි නඩි බේරුවම අපට ලාභයක් නෑ.”
“මීට මාස කීපයකට කලින් සීට් බෙල්ට් එක තිබුණේ රුපියල් 2000 ට. ඒත් අද ඒක රුපියල් හාරදහස් පන්සීයක් වෙලා. ආණ්ඩුව මේ කරල තියෙන්නේ වාහන අමතර කොටස් විකුණන අයට ඉල්ලමක් පාදා දීපු එක. මේක හරිම අසාධාරණයි. අපි කියන්නේ ආණ්ඩුවෙන් මේවාට මිල පාලනයක් පනවන්න ඕන කියලයි. මේකෙන් හොද්ද බොර වෙලා තියෙන්නේ එක පාර්ශ්වයකට විතරයි.” තවත් සීට් බෙල්ට් ගැනීමට පැමිණි අයෙකු එසේ කීවේය.
අප මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්ගෙන් විමසුවෙමු.
“ආසන පටිවලට පාලන මිලක් පනවලා නැහැ. එක පාරටම මිල වැඩිවුණාම අපට එහි ගිහිල්ලා අහන්න පුළුවන් කොහොමද මෙච්චර වැඩි වුණේ කියලා. එහෙම නැතිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ආසන පටිවලට තවම පාලන මිලක් පනවලා නැහැ. එහෙම පාලන මිලක් පනවලා තිබුණා නම් වැඩි මිලට විකුණුවොත් අපට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපිට ඒ අයට කියන්න පුළුවන් මෙච්චර ලාභ ගන්න එපා සාධාරණ මිලකට ලබා දෙන්න කියලා. අනෙක් භාණ්ඩ වගේ ආසන පටි වලටත් සාධාරණ පාලන මිලක් පනවලා තිබුණොත් අපි වැටලීම් කරනවා.” ඔහු කීවේ එවන් කතාවකි. ඒ අනුව මෙරට මගීයාට හා රියැදුරාට ආරක්‍ෂාව සපයනවාද, නොඑසේනම් වෙනත් පාර්ශ්වයක් පොහොසත් කරනවාද කියන කාරණය දැන් ආණ්ඩුවට භාරය.
රමින්ද මාවතගේ
Saru FM Media