අපනයන කර්මාන්ත බරපතළ අනතුරක…කර්මාන්තකරුවෝ අනතුරු අඟවති

0
3

2026 දී ආර්ථිකය පෙර තිබූ මට්ටමට

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යෑමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමෙරිකාවේ දී පවසා ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නිව්යෝර්ක්හිදී හමු වූ අවස්ථාවේ දී මේ බව පවසා ඇත. මෙහිදී ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිවරයා මෙසේ ද කියා ඇත.

‘නිදහසින් පසු අපේ රටේ හැමදාම ආණ්ඩු පෙරළි සිදුව තිබෙන්නේ මැතිවරණවලින්. හැබැයි, ලංකාවේ පළමු වතාවට මැතිවරණයක් නොමැතිව ජනතාව පාරට බැස පාලකයන් පළවා හැරියා. ඒ නිසා එම ආර්ථික අර්බුදය සමනය කර ගැනීමත්, නැවත කිසි දිනක ලංකාවේ එවැනි ආර්ථික අර්බුදයක් ඇති නොවන අන්දමින් ස්ථාවරත්වය නිර්මාණය කිරීමත් අපට තිබූ ප්‍රධාන අභියෝගය වුණා. වසරක කාලයක් යන විට අපේ රට ගිලී තිබූ ආර්ථික අර්බුදයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සමනය කර ගනිමින් ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට අපි සමත් වී තිබෙනවා. වේගයෙන්ම ආර්ථික අර්බුදය සමනය කර ගත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව අද හැඳින්වීමට පටන් ගෙන තිබෙනවා. ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය සමාගම් නිකුත් කළ වාර්තාවල සඳහන්ව තිබෙනවා.

සාමාන්‍යයෙන් මෙවැනි ආර්ථික කඩා වැටීමකදී එය රටකට අහිමි දශකයක් වෙනවා කියලා ආර්ථික විශේෂඥයන් සඳහන් කරනවා. ඒ කියන්නේ යළි රටක් එම තිබූ තත්ත්වය කරා ළඟාවීමට වසර 10ක් ගත වෙනවා. හැබැයි, ශ්‍රී ලංකාව ලෙස 2019 තිබූ ආර්ථිකය ලබන වසරේ (2026) දී ළඟා කරගත හැකි බව අපි විශ්වාස කරනවා. අපි ඉතා කෙටි කාලයකින් එය සිදු කර තිබෙනවා. සියලු දත්ත සහ සංඛ්‍යා මත අපට මෙය පුරෝකථනය කළ හැකියි.

ආර්ථික ස්ථාවරත්වය වසරක වික්‍රමයක් නොවේ

තවමත් අපේ ආර්ථිකය තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් වර්ෂ 2018 ට වඩා පසුපසින් බව මේ ලියුම්කරු විසින් ගිය ඉරිදා (21දා) ලිපියේ ද සඳහන් කර ඇත. ජනාධිපතිවරයා කියන පරිදි, 2019 වසරේ තිබූ ආර්ථිකය ලබන වසරේ (2026) දී ළඟා කර ගත හැකි වනු ඇත. එහෙත් මෙය අනුර කුමාර දිසානායක ජනපති වූ පසුව පමණක් සිදුකරගත් වික්‍රමයක් නොවේ. ආර්ථික ගමන්මග යනු ක්‍රියාවලියකි. අපේ ආර්ථිකය අගාදයට ඇද වැටුණේ 2022 වසරේ දීය. ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ රජයේ අවසන් කාලයේ දී රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගත් බවත් මේ රටේ ජනයා පමණක් නොව නිව්යෝර්ක්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද නොදන්නවා නොවේ. ඒ නිසා මේ ආර්ථික ස්ථාවරත්වය දැන් තිබෙන තැනට පත්කරගත හැකිව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව පසුගිය රජයන් (මේ රජය පමණක් නොවේ) විසින් එම අරමුදලේ එකඟතා ප්‍රකාරව දියත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසාය.

ඒ නිසා ඉහත ප්‍රකාශයේ සඳහන් වන ලෙස ‘වසරක කාලයක් යන විට අපේ රට ගිලී තිබූ ආර්ථික අර්බුදයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සමනය කර ගනිමින් ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට අපි සමත් වී තිබෙනවා.’ යන්න ඇත්තක් නොවේ. මෙය වසරකින් පමණක් අත්කරගත් ප්‍රගතියක් නොවන බව ඇත්ත කතාවයි. කෙසේ හෝ 2019 වසරේ තිබූ ආර්ථිකය ලබන වසරේ (2026) දී ළඟා කර ගත හැකි වනු ඇති බවට අනුර කුමාර දිසානායක ජනපතිවරයා විශ්වාසය පළ කර තිබේ. මේ නිසා ප්‍රධාන වශයෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ 2022 දී මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය ලබන වසරේ (2026) දී නැවත පැමිණෙනු ඇත්තේ කොතැනට ද? 2018 වසරේ තිබූ තත්ත්වයටමය. ඒ නිසා ලබන වසර (2026) අග දී ගත්තත් අපේ ආර්ථිකය තිබෙන්නේ වසර අටක පමණ පසුගාමී තත්ත්වයකය. එය අප අමතක නොකළ යුතුය. එසේම ගිය සතියේ ලිපියෙන් මේ ලියුම්කරු කියා සිටි පරිදිම ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී තිබේ. එසේ නැතුව රට මුහුණ දී ඇති බරපතළ දුප්පත්කමේ ප්‍රශ්නයට, රැකියා ප්‍රශ්නයට හෝ රටේ අතිමහත් බහුතර ජනයා තවමත් මුහුණ දී සිටින ආර්ථික පීඩනය සමනය කර ගැනීමට නිසි විසඳුමක් ලබාගත හැකි වනු ඇතැයි සිතිය නොහැකිය.

S¹AT ක්‍රමය අහෝසි කිරීම

මෙම වසරේ (2025) ඔක්තෝම්බර් 01 වැනි දින සිට S¹AT එනම් සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ඇත්තේ තවත් දින දෙකක් පමණි. එම තීරණය රජය විසින් දැනටමත් ගෙන ඇති නිසා එය වෙනස් කිරීමේ හැකියාවක් මේ වන විට නැති බව අපගේ අදහසයි. එහෙත් මෙරට අපනයනකරුවන් විශේෂයෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසන්නේ, S¹AT එනම් සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමත් සමගම වැට් බදු ආපසු ගෙවීමේ (ප්‍රතිපූර්ණය කිරීමේ) ක්‍රියාවලිය විධිමත් කරමින් අපනයන සුරක්ෂිත කිරීමේ බරපතළ අවශ්‍යතාවක් පවතින බවයි.

අපනයන කර්මාන්තවලට බරපතළ අනතුරක්

2025 ඔක්තෝම්බර් 01 වැනි දින සිට S¹AT ක්‍රමය අහෝසි කිරීමේ රජයේ තීරණය පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය එකඟතාව පළ කරමින් රජයේ ආයතනයන් සමග මෙම තීරණයට අනුකූලව කටයුතු කරන බව පැවසා ඇත. එසේ නම් දැන් ඇති ගැටලුව කුමක් ද? අපනයනකරුවන්ට ඇති ගැටලුව නම් S¹AT ක්‍රමය අහෝසි කිරීමත් සමගම වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය ගැන විශ්වාසයක් නොමැති වීමයි. මේ පිළිබඳ තහවුරු කර ගැනීමට ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශය ඇතුළු රජයේ බලධාරීන් සමග ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ඇතුළු අපනයන කර්මාන්තකරුවන් සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබේ. එසේ වුවත් තවත් දින දෙකකින් S¹AT ක්‍රමය අහෝසි කිරීමත් සමග වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කර ගැනීමට අසමත් වුවහොත් සියයට 18 ක ප්‍රතිශතයක වැට් බද්දකට යටත් වීමෙන් සහ ඒවා නිසි ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපූර්ණය කරගත නොහැකි වීමෙන් සියලුම අපනයන කර්මාන්තවලට බරපතළ අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් අපනයන ආදායම් බිඳ වැටෙනු ඇති බවත් අපනයන කර්මාන්තකරුවෝ කියති.

අපනයන කර්මාන්තකරුවන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව

ඉකුත් බ්‍රහස්පතින්දා (25 දා) කොළඹ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් අපනයන කර්මාන්තකරුවෝ මේ බව කියා සිටියහ. ඔවුන් මේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේ පවතින සන්දර්භය තුළ සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ තීරණය වෙනස් කළ නොහැකි බැවින් ඇඟලුම් ක්ෂේත්‍රයට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා කාලීනව ලබා දිය යුතු විසඳුම් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් සමග තවදුරටත් සාකච්ඡා සිදු කරන බවයි. එහෙත් ඔවුන්ගේ ප්‍රශ්නයට රජය නිසි සවන්දීමක් නොකළ බව ඔවුහු ඉතා පැහැදිලිව කියා සිටියහ. මේ මාධ්‍ය හමුවට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රධාන ලේකම් යොහාන් ලෝරන්ස්, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංවිධානයේ සභාපති රජිතා ජයසූරිය, තේ අපනයනකරුවන්ගේ සංවිධානය වෙනුවෙන් දේවනායගම් ගනේෂ්, අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය වෙනුවෙන් ශිහාන් මරිකාර්, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංවිධානය වෙනුවෙන් නාලක රත්නායක සහ ශ්‍රී ලංකා රබර් භාණ්ඩ නිෂ්පාදන සහ අපනයනකරුවන්ගේ සංවිධානය වෙනුවෙන් පුෂ්පික ජනධීර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

S¹AT ක්‍රමය අහෝසි කිරීමේ තීරණය කල් දමන්න

එම සංගම් සියල්ලේම නියෝජිතයන් රජයෙන් දැඩිව ඉල්ලා සිටියේ ඔක්තෝබර් 01 වැනිදා සිට S¹AT ක්‍රමය අහෝසි කිරීමේ තීරණය කල්දමන ලෙසයි. එසේ නොකළහොත් විධිමත් වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් නොමැති නිසා මේ තුළ වංචා හා දූෂණවලට ඉඩ සැලසෙනු ඇති බවත් එසේම අපනයනකරුවන්ට අතිරේක මූල්‍ය පිරිවැයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඔවුහු කියති.

තම සංගම් ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායමින් සියයට 70 කට අධික ප්‍රමාණයක් ලබාදෙන අපනයන කර්මාන්ත නියෝජනය කරන බව පෙන්වා දුන් එම සංගම්වල නියෝජිතයෝ මේ ප්‍රශ්නය ගැන රජය තමන්ට නිසි සවන්දීමක් නොකළ බවත් කියා සිටියහ. රජයේ තීරණය පරිදි තවත් දින පහකින් S¹AT ක්‍රමය අහෝසි වන බවත් මේ නව ක්‍රමවේදය තුළ විශ්වාසය තැබිය හැකි වැට් බදු ප්‍රතිපූර්ණය කිරීමේ ක්‍රියාවලියක් අන්තර්ගතව නැති නිසා ඔක්තෝබර් 01 වැනිදා සිට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන කර්මාන්තයටම ඉතා අහිතකර බලපෑමක් සිදුවනු ඇති බවයි. රජය 2025 ඔක්තෝම්බර් 01 වැනි දින සිට S¹AT ක්‍රමය අහෝසි කිරීමට තීරණය කර අවසන් නම් S¹AT ක්‍රමය අහෝසි කිරීමේ තීරණය කල්දමන ලෙස මේ අය කරන ඉල්ලීම ප්‍රායෝගික නොවේ. එසේ නම් දැන් තිබෙන්නේ අපනයනකරුවන්ට සිදුවන බලපෑම අවම වන ක්‍රමවේදයකට ගමන් කිරීමයි. ඒ සඳහා රජයේ බලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන් ඉල්ලා සිටින වැට් බදු ප්‍රතිපූර්ණයට අදාළ යාන්ත්‍රණය විධිමත් කර ගැනීමයි. මේ මාධ්‍ය හමුවේ දී දින 45ක් ලෙස නීතියේ සඳහන් වන කාලසීමාවට පෙර වැට් බදු ප්‍රතිපූර්ණයට අදාළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් එකඟතාව ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව පෙරහුරුවක් සිදුනොවූ බව ද ඔවුන් කියා සිටියේය. ඒ නිසා මෙය සිදුවන ආකාරය පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ දැඩි අවධානය යොමුව තිබේ.

ඇඟලුම් ක්ෂේත්‍රයට රු. බිලියන 12ක වැට් බදු

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ඇඟලුම් ක්ෂේත්‍රය සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමත් සමගම රුපියල් බිලියන 12ක මුදලක් වැට් බදු ලෙස ගෙවීමට සිදු වනු ඇත. අපනයනකරුවන් විසින් මෙසේ ගෙවනු ලබන වැට් බදු ප්‍රතිපූර්ණය දින 45ක් තුළ ඔවුන්ට හිමි විය යුතුව ඇත. එබැවින් අනිසි ප්‍රමාදයකින් තොරව වැට් බදු ප්‍රතිපූර්ණය අපනයනකරුවන්ට හිමි වීම තුළින් දැඩි පීඩනයකින් තොරව ඔවුන්ගේ මුදල් ප්‍රවාහය කළමනාකරණය කර ගැනීමට අපනයනකරුවන්ට හැකිවනු ඇත. ඇමෙරිකා නව තීරු බදු හා ගෝලීය මිල පහළ යෑම හමුවේ ද මේ ඇඟලුම් ක්ෂේත්‍රය වඩාත් තීරණාත්මක තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. මේ ගැන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මෙසේ ද කියයි.

‘සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීම සැපයුම්කරුවන් සඳහා සෘජුව බලපානු ඇත. විශේෂයෙන්ම ඇමෙරිකානු ඩොලර් බිලියනයක අමුද්‍රව්‍ය පදනමක් රට තුළ ගොඩනැංවීම සඳහා දායක වීමට නියමිත අපනයනකරුවන්ට මේ නිසා ක්ෂණික තරගකාරීත්වයකට මුහුණ දීම අභියෝගාත්මක වනු ඇත. රාජ්‍ය බලධාරීන් දැනට සහතික වී ඇති පරිදි දින 45ක් තුළ වැට් ප්‍රතිපූර්ණය සිදු කිරීම නියාමන වැඩසටහනකින් තොරව ක්‍රියාවට නැංවීමේ හැකියාව ගැන යම් අවිනිශ්චිත බවක් ඇති කර තිබේ. එනම් වැට් ප්‍රතිපූර්ණ ක්‍රමවේදයෙහි සූදානම පිළිබඳව ගැටලු ඇති බැවින් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට බාධා ඇති විය හැකිය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ අපනයනකරුවන් සතුව පවතින දත්ත සමපාත නොවන විට එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා වන පොදු වැඩපිළිවෙළක් තවමත් ඉදිරිපත්ව නැත. සරල කරන ලද වැට් බදු ක්‍රමය සංශෝධනයට පෙර මෙමගින් පැන නැඟිය හැකි අභියෝගයන්ට මුහුණ දීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට අවධාරණය කළ ද RAM¸S ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම තුළ කාර්යසාධන ගැටලු ගණනාවක් මතු කර ඇත. එමෙන්ම විද්‍යුත් බදු ක්‍රමයකට අවතීර්ණ වීම තුළ වඩාත් සුමට ඩිජිටල් මුදල් ප්‍රතිපූර්ණ ක්‍රමයක් වෙත පියනැඟිය හැකිය. මෙම සංකල්පය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීම තවමත් තාක්ෂණික අදියරෙහි පවතින අතර ඔක්තෝම්බර් පළමු වන දින වනවිට මේ සියලු කටයුතු අවසන් කළ නොහැකි බව අපගේ අදහසයි.

වැට් බදු ආපසු ගෙවීමේ නිසි ක්‍රමවේදයක අවශ්‍යතාව

මේ නිසා අපනයනකරුවෝ මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාව කියා සිටිති. අපනයන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා සුමට ප්‍රතිපූර්ණ යාන්ත්‍රණයක් පවත්වාගෙන යෑම අතිශය තීරණාත්මක බව ද අපනයනකරුවෝ කියති. වැට් බදු ප්‍රතිපූර්ණය දින 45ක් තුළ සිදු කිරීම තුළින් එම කාලපමාව නිසා ඔවුන්ගේ මුදල් රජයේ හිරවීමෙන් දහස් සංඛ්‍යාත අපනයනකරුවන්ගේ අපනයනයවල අඛණ්ඩතාව හෝ එය බිඳවැටීමට හේතුවක් වනු ඇති බව ද ඔවුන්ගේ අදහස වී ඇත. මේ නිසා ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු අයකිරීමේදී සිදු කළ ආකාරයට වැට් ප්‍රතිපූර්ණ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාකාරී වන තුරු සරල කරන ලද බදු ක්‍රමය අහෝසි කිරීම ප්‍රමාද කිරීමට හෝ අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය කියා සිටී. එම සංසදය වැඩිදුරටත් පැවසුවේ මේ කරුණට අදාළව ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ අනෙකුත් අදාළ රාජ්‍ය අධිකාරීන් සමග වඩාත් සමීපව කටයුතු කරනු ඇති බවත් සරල කරන ලද වැට් බදු ක්‍රමයේ සිට සාමාන්‍ය වැට් බදු ක්‍රමය දක්වා සිදු කෙරෙන පරිවර්තන ක්‍රියාවලිය තුළ දී අපනයන ක්ෂේත්‍රයේ තරගකාරීත්වයට අවම බලපෑමක් එල්ල කෙරෙන ආකාරයට මෙම ක්‍රියාවලිය සිදු කෙරෙන බව සහතික කිරීමට තමන් වඩාත් අවධානයෙන් සිටින බවත්ය. කෙසේ හෝ රජය සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසියට තීරණයක් ගෙන අවසන් නිසා එය දැන් ආපසු හැරවීම කළ නොහැකි වනු ඇත. කෙසේ හෝ මේ තුළ අපනයනකරුවාගේ වැට් බදු ප්‍රමාදයකින් තොරව ආපසු ගෙවීම සඳහා වන නිසි ක්‍රමවේදයක් සකස් කරදීම රජය විසින් තහවුරු කළ යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here