අපදාවෙන් පසු ශක්තිමත් ජාතියක් ලෙස ගොඩනැඟීමට නම්

0
2

කම්පනයක කම්පිත බව හදවතෙන් වියැකී යන්නට ගත වන්නේ කෙටි කලක් නොවේ. ඒ කම්පනයේ කම්පිත ස්වර ජන ජීවිත පුරා විසිරී පවත්නේ, එහි වන කම්පිත භාවය සංඛ්‍යාත වලට ඔරොත්තු නොදෙන තරම් ජීවන බරක් මිනිසුන් පිට පටවමිනි. දිත්වා සුළි කුණාටුව නික්ම ගියේ ද එවන් වූ ව්‍යසනයක් සහ කම්පිත මානසික මට්ටමක් අප සිත්හි ඉතිරි කරමිනි.

 දිත්වා ඇති කළ කම්පනය පහව ගිය පසුත් පශ්චාත් ව්‍යසන සමයකදී අප අපගේ කාර්යභාරය නිසියාකාරව කරමින් සිටින්නේ ද, එසේත් නැතිනම් මෙවැනි ව්‍යසන සඳහා අපගේ පෙර සූදානම කෙබඳු ද යන්න ගැන විධිමත්  සාකච්ඡා මාලාවක් පසුගියදා රයිට්ස් නව් සංවිධානය විසින් ආරම්භ කෙරිණි. මේ දිත්වා සුළි කුණාටුවෙන් පසු ආපදාමය තත්ත්වය කළමනාකරණය කර ගැනීම පිළිබඳ වන එකී සාකච්ඡා මාලාවේ දෙවැන්නයි. මේ පිළිබඳ සමබිම සංවාද මණ්ඩපය ඇරඹ් සංවාද මාලාවේ මෙවර තේමාව වූයේ ‘ආපදා ප්‍රතිචාරය සහ යළි ගොඩනැගීමේදී රජයේ ආපදා කළමනාකරණ ආයතනවල කාර්යභාරය’ යන්නයි. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ආපදා අවදානම් කළමනාකරණ වෘත්තිකයන්ගේ සංගමයේ (ADRIMP) ලේකම් මේනක විජේසිංහ මහතා විසිනි.

 ආපදා යනු අහිතකර ස්වභාවික සිදුවීමක් පමණක් නොව, සමාජයක සංවිධාන ශක්තිය, පාලන පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ ජනතාවට ඇති වගකීම මැනෙන කාල පරීක්ෂාවකි. එවන් අවස්ථාවල ශ්‍රී ලංකාවේ රජයේ ආපදා කළමනාකරණ ආයතන, ජීවිත රැක ගැනීමේ සිට දිගුකාලීන යළි ගොඩනැඟීම දක්වා පුළුල් කාර්යභාරයක් ඉටු කරති.

2004දී සිදු වූ සුනාමි ව්‍යසනය ශ්‍රී ලංකාවට ආපදා කළමනාකරණයේ නව පරිච්ඡේදයක් ඇරඹීමේ මාවත පෙන්වා දුණි. එහි පසුබැසීමෙන් 2005 දී ස්ථාපිත වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මඟින් රට පුරා ආපදා අවදානම් හඳුනා ගැනීම, පෙරහුරු හා පුහුණු වැඩසටහන් සංවිධානය, සහ ප්‍රාදේශීය මට්ටමෙන් සම්බන්ධීකරණ ක්‍රියාවලියක් ගොඩනැඟීම ආරම්භ විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වන ජාතික හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ආපදා තොරතුරු එකතු කිරීම, අනතුරු ඇඟවීම් නිකුත් කිරීම, සහ හදිසි ප්‍රතිචාර සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා මූලික ව්‍යුහය සපයයි.

ආපදා ප්‍රතිචාරයේ පළමු පියවර වන්නේ ජීවිත රැක ගැනීමයි. ගංවතුර, නායයාම්, හෝ වියළි කාලගුණය හේතුවෙන් ඇතිවන හදිසි තත්ත්වයන්හිදී, ආරක්ෂක හමුදා, පොලිසිය, සෞඛ්‍ය අංශ සහ ප්‍රාදේශීය පාලන ආයතන සමඟ සමීප සම්බන්ධතාවකින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි. අවතැන්වූවන් සඳහා තාවකාලික නවාතැන්, පානීය ජලය, වෛද්‍ය පහසුකම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම මෙම පියවරේ මූලික කාර්යයන් වේ. මෙය හදිසි ප්‍රතිචාරයකින් පමණක් නොව, සැලසුම්ගත සම්බන්ධීකරණයකින් යුතු ක්‍රියාවලියකි.
කෙසේ වෙතත්, ආපදා කළමනාකරණය හදිසි සහන සැලසීමෙන් අවසන් නොවේ. යළි ගොඩනැගීමේ අදියරේදී විනාශ වූ නිවාස, පාසල්, මාර්ග සහ ජල සැපයුම් පද්ධති නැවත ඉදිකිරීම, ජීවනෝපාය මාර්ග නැවත ස්ථාපිත කිරීම සහ ප්‍රාදේශීය ආර්ථිකය සවිබල ගැන්වීම වැදගත් වේ. පෙර තත්ත්වයට පමණක් නොව, වඩාත් ආරක්ෂිත සහ තිරසාර ව්‍යුහයක් ගොඩනැඟීම ඕනෑම රජයක අරමුණක් බවට පත්ව ඇත්තේ එබැවිනි.

එසේම, ආපදා අවදානම් අවම කිරීම  යනු දිගුකාලීන ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය අංගයකි. භූ-විද්‍යාත්මක සමීක්ෂණ, අවදානම් සිතියම් සකස් කිරීම, පාසල් මට්ටමින් සූදානම් කරන වැඩසටහන් සහ ප්‍රාදේශීය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් විපතක් සිදුවීමට පෙර එය අවම කරගැනීමේ උත්සාහ දියත් වේ. මෙහිදී රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය පමණක් නොව, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා මට්ටමේ සහභාගීත්වය ද අත්‍යවශ්‍ය වේ.

අවසානයේ, ආපදා කළමනාකරණ ආයතනවල කාර්යභාරය යනු විපතකදී හදිසි ලෙස ක්‍රියා කිරීම පමණක් නොව, විපතක් නොවෙන තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා පෙර සූදානම් වීමයි. ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිචාරය සහ යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය විමසා බැලීම යනු, රටක් ලෙස අපගේ වගකීම, සම්බන්ධීකරණය සහ අනාගත පරපුර සුරක්ෂිත කිරීම පිළිබඳ ගැඹුරු සංවාදයකට ආරාධනා කිරීමකි.

මෙහිදී ඉතා වැදගත් ප්‍රවේශයක් ගත් ආපදා අවදානම් කළමනාකරණ වෘත්තිකයන්ගේ සංගමයේ (ADRIMP) ලේකම් මේනක විජේසිංහ මහතා අවධාරණය කළේ, ආපදා කළමනාකරණය යනු ලෝකයේ වැඩිම ඉල්ලුමක් පවතින මාතෘකාවලින් එකක් බවය. මේ වන විට ලෝකයේ වැඩි ම කතාබහට ලක්වන මාතෘකාව වන්නේ දේශගුණ විපර්යාස වන බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් විවිධ එකඟතාවලට අනුකූල වීම් හා ආයතන පිහිටුවීම් වැනි ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකාව භූගෝලීය පිහිටීම, මෝසම් කාලගුණ රටා සහ වාසස්ථාන ව්‍යාප්තිය හේතුවෙන් නිරන්තරයෙන් ජල ගැලීම්, නාය යෑම්, වායුගෝලීය කුණාටු, වියළි කාල පරිච්ඡේද හා මුහුදු ආශ්‍රිත ගැටලු වැනි ස්වාභාවික ආපදාවලට මුහුණ දෙයි. විශේෂයෙන්ම දේශගුණික වෙනස්වීම් හේතුවෙන් මෙම ආපදා තත්ත්වයන්ගේ තීව්‍රතාව හා පිරිමිතිය වැඩිවෙමින් පවතී.

2004 සුනාමියෙන් පසුව රටේ ආපදා කළමනාකරණ පද්ධතිය සැලකිය යුතු ලෙස සංවිධානාත්මක වශයෙන් ශක්තිමත් කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය යටතේ ජාතික, පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් ආපදා සූදානම් කිරීම, ප්‍රතිචාර දැක්වීම හා පුනරුත්ථාපනය ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. එහෙත් මේවායේ පැහැදිලිව පෙනෙන ගැටලුකාරී වාතාවරණ කිහිපයක් ද තිබේ. ඒ පිළිබඳ විමසීමේදී මේනක විජේසිංහ මහතාගේ අදහස වූයේ මෙවැන්නකි.

‘ අපි විවිධ අවස්ථාවල ආපදාවලට මුහුණ දුන්නා. නමුත් සුනාමිවලින් පස්සේ ආව ලොකු ම ව්‍යසනය තමයි දිත්වා. මෙහි ගැටලු කිහිපයක් පෙනුණා. ඒ තමයි බිම් මට්ටමින් මේ සඳහා ප්‍රජාව සූදානම් ව සිටියා ද කියන කාරණය. ඇත්තටම ආපදා කළමනාකරණ ව්‍යුහය පොළොවට ළඟ ද? මෙය මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයයක්. බිම් මට්ටමේ ඉන්න ග්‍රාම නිලධාරී ඇතුළු ආපදා කළමනාකරණ පසු මැදිහත්වීම් නිලධාරීන් ඉන්නෙ  සුළු ප්‍රමාණයයි. බිම් මට්ටමට ළඟ ආයතනය තමයි ජාතික ආපදා කළමනාකරණ සහන සේවා ආයතනය. ඒක තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් මට්ටමෙන්. මේ දෙක අතර කොතරම් දුරට සම්බන්ධයක් තියෙනවාද යන්න ගැන ආයතනික ප්‍රශ්නයක් තියෙනවා. ආපදා කළමනාකරණ ප්‍රතිපත්තිය නැත්නම් පනත ගත්තම එහි පැහැදිලිවම පළාත් ව්‍යුහයක් සහ සහ දිස්ත්‍රික් ව්‍යුහයක් තියෙනවා. නමුත් මේවා ක්‍රියාත්මක කරවා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒක පුද්ගල බද්ධ ප්‍රශ්නයක් නෙවෙයි; ව්‍යුහාත්මක ප්‍රශ්නයක්. බිම් මට්ටමේ මෙය පවත්වා ගැනීමේ අපහසුව තියෙන්නේ නඩත්තු කරගෙන යාමේ ගැටලුව නිසයි.
අපි ආපදා කළමනාකරණය කියන එකේදි හමුදාව මත මුළුමනින්ම යැපෙන මානසිකත්වයක් කලක් තිස්සේ පවත්වා ගෙන යනවා. මේ ව්‍යුහ, පද්ධති ශක්තිමත් නොවීමට මේ කරුණත් බලපෑම් කරනවා. මිනිස්සු මේ ව්‍යුහ පිළිබඳව දක්වන දැඩි යැපුම්කාරී බව නිසා අපි නිකම්ම හිටියත්, හමුදාව හරි පොලිසිය හරි ඇවිත් අපිව බේරා ගනීවි කියලා ඔවුන් හිතනවා. ගමේ මිනිස්සු මේ සඳහා සෘජුව සම්බන්ධ කර ගැනීමේ ක්‍රමවේදත් ගැටලුවක් තියෙනවා.

තව එකක් තමයි ගම කියන කියන සාධකය තාක්ෂණිකව තියෙන එකක් නොවීම. ගම හදලා තියෙන්නේ එක්කෝ පාරක් පාරක් මායිම් කරලා, නැත්තම් වෙනත් චූල සාධකයක් පදනම් කරගෙන. සාමාන්‍යයෙන් එක් ගමක් පාදක කරගෙන ආපදාවක් සිද්ධ වෙන්නේ නැහැනේ. මේ ගමෙන් බාගයයි, එහා ගමෙන් කොටසයි, අනිත් ගමෙන් කාලයි වගේ තමයි ආපදාවකට සාමාන්‍යයෙන් ලක්වන්නේ. ඒවාට නිශ්චිත වටිනාකම් නෑ. ආපදා කළමනාකරණ කමිටුවක් ගමක හැදුවට ඒක තමන්ට ඍජු ව බලපාන්නේ නැත්නම් ඒ කමිටුවෙන් මිනිස්සුන්ට වැඩක් නෑ. මට කරදරයක් වුණාම පිහිටක් නැත්තම්, ඒ ආපදා කළමනාකරණ කමිටුවෙන් ඇති වැඩකුත් නෑ. දිත්වා සුළි කුණාටුව වෙලාවෙත් සංවිධානය වෙලා වැඩ කරන්න පුළුවන් ධාරිතාවක් තියෙන කණ්ඩායම් බිම් මට්ටමේ හිටිය ද කියන එක ගැටලුවක්.

ආපදා කළමනාකරණය යනු රාජ්‍ය මැදිහත් වීම පමණක් මත පදනම් විය යුත්තක් නොව සමාජයම එකතු වී සිදු කළ යුතු ක්‍රියාවලියකි. එහි හදවත ලෙස ක්‍රියා කරන්නේ ස්වේච්ඡා සේවකයන්ය. ඔවුන්ගේ සක්‍රීය සහ වෘත්තීයමය පුහුණුව සහ සම්බන්ධීකරණය ශක්තිමත් කළහොත්, ආපදාවලට මුහුණ දෙන රටක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් සූදානම් හා ප්‍රතිරෝධී සමාජයක් බවට පත් විය හැකිය. මේ පිළිබඳ ආපදා අවදානම් කළමනාකරණ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් මේනක විජේසිංහ මහතා පැවසුවේ මෙවැන්නකි.
‘ ආපදා කළමනාකරණය පිළිබඳ මෙවර හැදූ සැලැස්මේ ස්වේච්ඡා සේවකයන් කියන වචනය කොහෙත්ම නෑ. මධ්‍යගත වූ මානසිකත්වයකින් තමයි මේවා නිර්මාණය වෙන්නේ. ස්වේච්ඡාවෙන් වැඩ කරද්දී තනතුරු තානාන්තර වැදගත් නෑ. ස්වේච්ඡා සේවකයන් ගැන මීට වඩා අවධානයක් දෙන්න ඕන. හමුදාව, පොලිසිය මේ වැනි අවස්ථාවල මැදිහත් වුණාට ඔවුන් මැදිහත් වෙන්න කලින් සිදු විය යුතු කරුණු කාරණා ටිකක් තියෙනවා. එමෙන්ම තමන්ට කරගන්න බැරි අවස්ථාවක තමයි හමුදාව, පොලිසිය මැදිහත් කරගත යුතු වන්නේ. මේ වැනි තත්ත්ව බිම් මට්ටමෙන් වර්ධනය විය යුතුව තිබෙනවා.

ආපදා සඳහා ලංකාවේ මේ වනවිටත් වෙන්කරන ලද තැන්පතුවක් නෑ. ආපදා සහන බෙදා හැරීම් කරද්දි ආපදාවට ලක්වූ පිරිසට නිසියාකාර ව සහන බෙදා දීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න ඕන කියල පනතේ සඳහන් වෙනවා. කවුද මේක බාරව ඉන්නේ. කී දෙනෙක්ට දෙනව ද, කොච්චර මුදල් වෙන් වෙලා තියෙනව ද කියන ඒවයෙ දත්ත හොයාගෙන ඒ දත්ත පදනම් වෙලා හරිගස්සපු යම් ක්‍රමවේදයක් සහ ස්ථානගත කිරීමේ නිසි ක්‍රියාවලියක් පැවතිය යුතුයි. මෙයත් සිදුවී නැහැ. මෙවැනි ක්‍රියාමාර්ග නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. මේවා අසාර්ථකත්වයට බලපෑම් කරන සාධක වෙන්නේ වෙන්නේ ඒ නිසයි’

සමස්තයක් වශයෙන් බලන විට, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණයට නීතිමය හා සංවිධානාත්මක වශයෙන් ශක්තිමත් පදනමක් ඇති නමුත්, ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව සහ ප්‍රජා සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

ආපදා ප්‍රතිචාරය සහ යළි ගොඩනැඟීම යනු හදිසි සහාය ලබාදීමක් පමණක් නොව, අනාගත ආපදා අවදානම් අවම කරමින් ශක්තිමත් සමාජයක් ගොඩනැගීමේ දිගුකාලීන ක්‍රියාවලියකි. මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් සම්බන්ධීකරණය කරන ජාතික මට්ටමේ සැලසුම්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  විසින් සපයන අනතුරු ඇඟවීම් පද්ධති සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලබාදෙන තාක්ෂණික උපදෙස් එකට එකතු කර ආපදා කළමනාකරණයේ ව්‍යුහගත ශක්තිය ගොඩනැංවීම කළ හැකිය.

එහෙත් සාර්ථක ප්‍රතිචාරයක මූලික සාධකය වන්නේ ආයතන අතර සහයෝගිතාව, ප්‍රජා සම්බන්ධීකරණය, සහ විද්‍යාත්මක දත්ත පදනම් කරගත් තීරණ ගැනීමයි. යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය හුදු භෞතිකත්වයට සීමා නොකර, ජීවනෝපාය, අධ්‍යාපනය, හා මානසික සුවතාව යළි පිහිටුවීම ද ආදිය ද ඇතුළත් සැකසිය යුතුව ඇත.

ආපදා කළමනාකරණ ආයතනවල කාර්යභාරය හදිසි අවස්ථාවකට මුහුණ දීම පමණක් නොවේ. ඒ සඳහා නීතිමය ශක්තිමත්භාවය, තාක්ෂණික නවීකරණය, සහ ප්‍රජා සහභාගීත්වය එක්වූ විට, ශ්‍රී ලංකාව ආපදාවලට මුහුණ දෙන රටක් ලෙස නොව, ආපදා හරහා තවදුරටත් ශක්තිමත් වන ජාතියක් ලෙස ඉදිරියට ගමන් කළ හැකි වේ.

– කෞෂි ජයවර්ධන 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here