අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්යාංශ ලේකම්වරයෙකු වන අනූෂ පැල්පිට ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය පසුගිය 06 වනදා නියෝග කළේය.
අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුවය.
විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල්වරයෙකුද වන අනූෂ පැල්පිට රුපියල් හාරකෝටි හැට ලක්ෂයක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මීට පෙර, පැවති ජනාධිපතිවරණ සමයකදී එවකට ජනාධිපති අපේක්ෂක මෙන්ම එකල ජනාධිපති, මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්රචාරක කටයුත්තක් ලෙස ඔහුගේ ඡායාරූපයද සහිතව රට පුරා උපාසක උපාසිකාවන් වෙත නීති විරෝධී ලෙස සිල් රෙදි බෙදා දීම තුළින් රුපියල් මිලියන 600ක රජයේ මුදල් සාවද්ය ලෙස පරිහරණය කර ඇතැයි, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ දුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට චෝදනා එල්ල වූ අතර දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකරුවන් දෙදෙනා අදාළ චෝදනාවලට වරදකරු විය. ඒ අනුව ඔවුන්ට වසර තුන බැගින් සිර දඬුවම් නියම කළ අතර රුපියල් මිලියන 20ක දඩයක් ගෙවිය යුතු බවටත් රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවිය යුතු බවටත් නියම කළේය.
පසුව, එවකට අගමැති රනිල් වික්රමසිංහගේද මග පෙන්වීම යටතේ යළි අභියාචනයක් ඉදිරිපත් කර ඔවුන් නිහස් විය.
2
Saru News








