අනුර යාපා ඇතුළු 6කට සංශෝධිත අධිචෝදනා භාරදෙයි

0
1

7 වැනි විත්තිකරු ලෙස නම් කළ හිටපු සම්බන්ධීකරණ නිලධාරියාට සිතාසි

ගංවතුරින් විපතට පත් ප්‍රදේශයේ ජනතාවට සහනාධාර දීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබාදුන් රුපියල් ලක්ෂ 61 ක් 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතුවලට යොදා ගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හයදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේදී ඊයේ (01දා) සංශෝධිත අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවිය.

මීට පෙර එම චෝදනා ඇතුළත් චෝදනා පත්‍ර අනුර ප්‍රියදර්ශන යාපා, පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ වන වෛi ධම්මිකා ශිරානි සුමනරත්න, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති එස්. අමරසේකර, කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා, ගණකාධිකාරි සරත් පෙරේරා, චමින්ද සමරකෝන් යන විත්තිකරුවන්ට භාරදී තිබිණි. එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් මින් පෙර ගොනු කළ අධිචෝදනා පත්‍රයට තවත් විත්තිකරුවකු එක්කර සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනු කරනා බව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එකී සංශෝධිත අධිචෝදනා පත්‍රයේ පිටපත් විත්ති කූඩුවේ සිටි විත්තිකරුවන්ට අධිකරණයේ නියෝගය පරිදි අධිකරණ කාර්යමණ්ඩලය විසින් ලබාදෙන ලදී. සංශෝධිත අධිචෝදනා පත්‍රයේ හත්වන විත්තිකරු ලෙස නම් කොට තිබූ එවකට ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස නම් කොට තිබූ ජේ. එම්. අනුර සෙනවිරත්න නමැත්තාට ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියෝග කළේය. එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන නොවැම්බර් 20 වැනිදා පැවැත්වීමට ද විනිසුරුවරයා දින නියම කළේය. එම අධිචෝදනා පත්‍රයේ යතුරුලියන දෝෂ රැසක් ද ඇති බැවින් ඒවා සකස් කර සංශෝධිත චෝදනා පත්‍රය ගොනු කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පැවසීය.

නීතිඥ පසිඳු තිලකරත්න, පර්හාජ් ජිෆ්රි, රාජිත අබේගුණවර්ධන, රවි මතුගම, සුනිල් මතුගම යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස හා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.

2015 වසරේදී ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන අවසන් කොට 2016 වසරේදී විමර්ශන උධෘත නීතිපතිවරයා වෙත යොමුකර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here