රනිල් පච වෙච්ච පච නිවේදනය!
සජිත් සද්ද නැතුව කරන කොළඹ යුද්ධය!
නන්දලාලුත් යන්න හදනවාද?
අනුර නිහඬ වෙයි
ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මාලිමාව ලබාගත් දැවැන්ත ජයග්‍රහණවලින් පසු මාස 06ක් ඇතුළත පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් ලබාදුන් තීන්දුවට අනුව පසුගිය සති දෙක ඇතුළත ආණ්ඩුව ඇතුළේත්, විපක්ෂය ඇතුළේත් දැවැන්ත දේශපාලන පෙරළි රැසක් සිදුවෙමින් පැවැති ආකාරයක් දැකගත හැකි විය. නිසලව තිබූ වතුර භාජනයක් හිටිහැටියේම කැලැත්තුවාක් මෙන් නිසලව ගලා යමින් පැවැති දේශපාලනයද පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ 06 වැනිදා අලුයම වනවිට කැලතී ගිය ආකාරයක් මේ හරහා දැකගන්නට ලැබිණි. ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂය නියෝජනය කරන දේශපාලන කඳවුරු ඇතුළේද මෙම ප්‍රතිඵලයත් සමග දැකගන්නට ලැබුණේ විශාල කැලඹීමකි. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය පැත්තෙන් බරපතළ ඡන්ද ප්‍රමාණයක් අඩුවී තිබීම නිසා පිටතට දැකගන්නට නොලැබුණද ආණ්ඩුව ඇතුළේද මෝදු වෙමින් පැවැතියේ විශාල අර්බූදයකි. පළාත් පාලන මැතිවරණය අවසන් වී ඊට පසු දින, එනම් මැයි 07 වැනිදා මාධ්‍ය හමුවට පැමිණි ජවිපෙ සහ මාලිමා ප්‍රබලයන්ගේ මුහුණුවලින් ඒ කඩාවැටීම පැහැදිලිවම දැකගන්නට ලැබිණී. වෙනදා නම් ජයග්‍රාහී ලීලාවෙන් මාධ්‍ය හමුවලට එක්ව සිටියද එදින ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා, අමාත්‍ය බිමල් රත්නායක සහ මාලිමා ප්‍රධානීන් වූ නිහාල් අබේසිංහ යන අයගේ මුහුණුවල එදින ජයග්‍රාහී ලීලාවක් දැකගන්නට නොවීය. අනෙක් අතට ජනාධිපතිවරයාද මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු මතයක් හෝ ප්‍රකාශයක් නිකුත් නොකොට හිටි හැටියේම දැඩි නිහඬ බවක ගිලී සිටීම හරහාද ආණ්ඩුව ඇතුළේ මේ ප්‍රතිඵලයෙන් යම් කැලඹීමක් මතුව ඇති ආකාරයක් කියැවිණි.Sri Lanka Latest News
ජනාධිපතිවරයාගේ මේ නිහඬ බව නිසාම මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලයන්හි විවිධ ප්‍රචාර, විවිධ කටකතා විශාල වශයෙන් ප්‍රචාරය වූ ආකාරයක්ද දැකගත හැකි විය. විශේෂයෙන්ම ඇතැම් සමාජ මාධ්‍ය කියා සිටියේ ආණ්ඩුව ඇතුළේ ගැටුම් උත්සන්න වී ඇති බවත්, කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවා ජනාධිපතිවරයා උස් ස්වරයෙන් යුතුව විවිධ මැති ඇමැතිවරුන්ට බැණවැදී ඇති බවත්ය. මැතිවරණ ප්‍රචාරක සමයේදී ඇතැම් මැති ඇමැතිවරුන් කර තිබූ ප්‍රකාශ හරහා මැතිවරණ ප්‍රතිඵලයට විශාල අවාසියක් වී තිබූ බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබූ බවද ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබිණි. මීට අමතරව මැතිවරණ ප්‍රතිඵලයෙන් මතුවූ දේශපාලන අවාසිය අකාමකා ගැනීම සඳහා හදිසි කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද එම සමාජ මාධ්‍ය ජාලවල වාර්තා කොට තිබිණි.
මේ අතර, තවත් සමාජ මාධ්‍ය ජාල වාර්තා කොට තිබුණේ ජවිපෙ ඇතුළේම ජනාධිපතිවරයා සහ ටිල්වින් සිල්වා අතර බරපතළ මතගැටුමක් නිර්මාණය වී ඇති බවකි. ආණ්ඩු කිරීමේදී සම්පූර්ණයෙන්ම ජවිපෙ ප්‍රතිපත්තිවලට අනුගතව ක්‍රියාත්මක විය යුතු බවට ටිල්වින් ජනාධිපතිවරයා වෙත දැඩි බලපෑම් කරමින් සිටින බවත්, මේ හරහා දෙදෙනා අතර යම් මතගැටුමක් මතුව ඇති බවත් එහිදී වාර්තා කොට තිබිණි. එමෙන්ම ඉදිරි කාලයේදී ජවිපෙ මහලේකම් ධුරය බිමල් රත්නායක හට හිමිවීමට නියමිතව ඇති බවත්, ඔහුද දැඩි ජවිපෙ මතධාරියකු වීම නිසා ජවිපෙ ප්‍රතිපත්තිවලට අනුගතව ආණ්ඩුකරණය කළ යුතු බව ඔහුගේ අදහස වී ඇති බවත් එම සමාජ මාධ්‍ය ජාල වාර්තා කොට තිබිණි.
කෙසේ වෙතත් මේ ආකාරයට සමාජ මාධ්‍ය ජාලවල විවිධ කටකතා පුවත් පළවූයේ සහ ඒවාට තටු ලැබුණේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු සති කීපයක් යන තෙක්ම ජනාධිපතිවරයා නිහඬ බවකින් යුක්තව සිටීම නිසාය. ඒ නිහඬ බව හරහා එළියට නොපෙනුණද යම් ගැටුමක් ඇතුළේ පවතින බව බොහෝ දෙනාට වැටහී ගොස් තිබිණි.
අනුරගේ කටින් පනී
පසුගිය බදාදා සවස් වරුවේ ජනාධිපතිවරයා හදිසියේම විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ පැවැති ජවිපෙ 60 වැනි සංවත්සරයට ගොඩවූයේ මෙවැනි පසුබිමක් යටතේය. මැයි 03 වැනිදා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් වීමෙන් පසු පළමු වතාවට ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවකට ගොඩවූයේ මැයි 14 වැනිදා පැවැති මෙම උත්සවයේදීය. මෙය ජවිපෙ වේදිකාවක් වූ බැවින් සියලු සැරසිලි රතු පැහැයෙන් සිදුකොට තිබූ අතර, එම අවස්ථාවට සහභාගි වී සිටි ජවිපෙ පාක්ෂිකයන්ද රතු පැහැති ඇඳුම්වලින් සැරසී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ජවිපෙ වේදිකාවේ සියලු ජවිපෙ ප්‍රධානීන් සිටි අතර, මාලිමාවෙන් ඊට ආරාධනා කොට තිබුණේ අගමැතිනි හරිනි අමරසූරියටත්, මාලිමාවේ මහලේකම් නිහාල් අබේසිංහටත්ය. මෙහිදී සමාජ මාධ්‍ය ජාලවල සහ දේශපාලන සංවාදවල ජවිපෙ – මාලිමා ගැටුම ගැන වාර්තා කොට තිබූ කටකතාවන් සත්‍ය ඒවා බවට තහවුරු වූයේ එක් අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ කටින් පිටවූ වචන කීපයක් නිසාය. මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකි.
‘පළමු කොටම අපි ඇයි මේ ඉතිහාසය මතක් කරන්නේ? පැරැණි ඉතිහාසය. අපි ආණ්ඩු බලය අත්පත් කරගෙන තිබෙනවා. ඒක යටගිය ඉතිහාසයක්. වර්තමානයට ඇයි අපිට ඕනේ වෙන්නේ? සමහර විට තැන තැන මුමුණන්නත් ඉඩ තියෙනවා සහෝදරයා ඕක ගැන නම් මේ වෙලාවේ වැඩිය කතාකරන්න එපා කියලා. මම දන්නවා. බොහෝ අය අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා ඒ ඉතිහාසය, ඉතිහාසයට උරුම කරලා වර්තමානය අලුත් පරිච්ඡේදයකින් ආරම්භ කරන්න පුළුවන් වේවි කියලා. මම දන්නවා සමහර කවයන් ඒ ඉතිහාසය අමතක කරමින් අපිත් එක්ක ඉන්න ලෑස්තියි. එහෙත් අපට එම ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක්, අලුත් අනාගතයක් නිර්මාණය ආරම්භ කරන්න හැකියාවක් නොමැති බව අපි විශ්වාස කරනවා….’ යැයි කියාය.
මෙහිදී ගැටුම එළියට පැනීම සඳහා ජනාධිපතිවරයා භාවිත කළ වචන දෙක වූයේ ‘සමහර කවයන්’ යැයි කියාය. ඒ හරහා ජනාධිපතිවරයා අදහස් කළේ ආණ්ඩුව ඇතුළේ මෙම මතය දරන කණ්ඩායම් කීපයක් සිටින බව විය යුතුය. එම කවයන් ජවිපෙ අතීතය අමතක කොට අලුත් මාවතකට ජවිපෙ රැගෙන යෑමට උත්සාහ දරමින් සිටිනවා යැයි කියා විය යුතුය. නමුත් ජවිපෙ සිය අතීතය අමතක කිරීමට කටයුතු නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හරහා ආණ්ඩුව ඇතුළේ සිටින මෙම අලුත් කවයන්ට ප්‍රසිද්ධියේම පැහැදිලි පණිවුඩයක් ලබාදීමට ජනාධිපතිවරයා එහිදී කටයුතු කොට තිබිණි. ඒ හරහා ජනාධිපතිවරයා නොකියා කීවේ ආණ්ඩුව ඇතුළේ සිටිනවා නම් ඒ අතීතය සමග සිටින ලෙසත්, එසේ නොමැති නම් පිටව යන ලෙසත් විය යුතුය. ඒ අනුව ජනාධිපතිවරයාගේ එම වචන කීපය බොහෝ බරපතළ බව බොහෝ දෙනාගේ මතය විය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී සති දෙකක් යනතුරු වචනයක් හෝ නොකියා නිහඬව සිටි ජනාධිපතිවරයාගේ සියලු අදහස් මේ වචන කීපය හරහා එළියට පැන්න ආකාරයක් දැකගත හැකි විය.
ජවිපෙ-මාලිමා ගැටුමද මේ
ආණ්ඩුව ඇතුළේ ජවිපෙ සහ මාලිමාව අතර ඇති මෙම අර්බුදය සම්බන්ධයෙන් අප පළමු වරට ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළේ ජනාධිපතිවරණය අවසන් වී සති දෙකක් ඉක්ම යෑමට පෙරාතුවය. එහිදී අප කියා සිටියේ මහ මැතිවරණය ඉලක්ක කොට ජවිපෙ සහ මාලිමාව අතර යම් මතගැටුමක් නිර්මාණය වෙමින් පවතිනවා යැයි කියාය. අප කළ එම අනාවරණය මහ මැතිවරණයට නාමයෝජනා ලබාදීමේදීත්, මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරේදීත් පැහැදිලිවම දැකගන්නට ලැබිණි. බොහෝ දිස්ත්‍රික්කවල මාලිමාවේ ප්‍රබලයන් හැලී ගොස් ජවිපෙ නියෝජිතයන් පාර්ලිමේන්තුව ඇතුළට ආවේ දෙපාර්ශ්වය අතර ඇතිවූ මෙම මතගැටුම හේතුකොට ගෙනය.
ඉන් අනතුරුව අප මහමැතිවරණයෙන් පසු ජවිපෙ පැලවත්ත පක්ෂ මූලස්ථානයේ මධ්‍යම රාත්‍රිය වනතුරු උණුසුම් සාකච්ඡා පැවැත්වූ ආකාරයත්, ඒවායේ සිදුවූ යම් යම් මතගැටුම්ද ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී ඇතැම් සාකච්ඡා ජනාධිපතිවරයා පවා කලකිරවන සුළු මට්ටම දක්වා ඇදී ගිය බවද අප වාර්තා කළෙමු. දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයන් දෙකකින් පසුව පවා මෙවැනි ආකාරයේ උණුසුම් මතගැටුම් ජවිපෙ අභ්‍යන්තරයේ සිදුවූවා නම් පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ අනපේක්ෂිත පසුබෑමෙන් පසු එම මතගැටුම්වල ස්වභාවය කෙලෙසද යන්න සිතාගැනීම කිසිවකුටත් අපහසු නැත.
ජනාධිපතිවරයාගේ මෙම කතාවෙන් පසු බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් විග්‍රහ කරමින් කියා සිටියේ මෙය බොහෝ දුරට අගමැති හරිනි අමරසූරිය ඉලක්ක කොටගෙන ජනාධිපතිවරයා එල්ල කළ ප්‍රහාරයක් යැයි කියාය. මන්ද යත් ආණ්ඩුව ඇතුළේ මාලිමා කණ්ඩායම නියෝජනය කරන්නේ වෙන කවුරුවත් නොව, හරිනිය. මැතිවරණ ප්‍රචාරක සමයේදී සහ නාමයෝජනා ලබාදීමේදී මාලිමාවට සිදුවූ මදිපුංචිකම් පිළිබඳ පැමිණිලි සියල්ලම පාහේ ලැබුණේ හරිනිටය. ජවිපෙ ප්‍රධානීන් සමග ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තේත්, මත ගැටුම්වල පැටලුනේත් හරිනිය. අනෙක් අතට හරිනි කිසිදු අවස්ථාවක තමන් ජවිපෙ සාමාජිකයකු බව කියන්නේ නැත. හරිනි ප්‍රසිද්ධියේම කියන්නේ තමන් ජවිපෙ සාමාජිකයකු නොවන බවත්, ජවිපෙ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් ඔවුන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙසත්ය. හරිනි පමණක් නොව මාලිමාවේ ප්‍රබලයකු වන අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරද ප්‍රසිද්ධියේම කියන්නේ තමන් ජවිපෙ සාමාජිකයෙක් නොවේ යැයි කියාය. රෝහණ විජේවීර තමන්ගේ දේශපාලන නායකයා නොවේ යැයි කියාය.
මාලිමා දුක්ගැනවිල්ල
කෙසේ වෙතත් මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මාලිමාවේ නියෝජිතයන් අතර පවතින විශාල මතයක් වන්නේ ආණ්ඩුවක් පිහිටුවුවද මාලිමාවට ලබාදුන් තැන සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතිනවා යැයි කියාය. ජවිපෙට මෙතෙක් කල් තිබුණේ 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවත්, එය 61% දක්වා ගොඩනැගුණේ මාලිමාව විසින් ලබාදුන් ශක්තියෙන් බවත්, විශේෂයෙන්ම හරිනිගේ පැමිණීම සහ හරිනි සතුව ඇති ආකර්ෂණය මේ සඳහා හේතු වූ බවත් මාලිමාවේ ස්ථාවරය වී තිබිණ. නමුත් මේ සම්බන්ධ අභ්‍යන්තර සංවාදවලදී ජවිපෙ දැඩි මතධාරීන් වන ටිල්වින් සහ බිමල්ගේ ස්ථාවරය වී තිබුණේ ජනතාව ඡන්දය භාවිත කළේ වාමාංශික නැඹුරුවකින් යුත් ජවිපෙට බවය. එම නිසා මාලිමාවට වඩා ජවිපෙ පෙරට ආ යුතු බව ටිල්වින්ගේත්, බිමල්ගේත් මතය වී තිබිණි. පසුගිය මාස කීපය පුරාම මාලිමාව සහ ජවිපෙ අතර පැවැති සංවාදයේ ප්‍රධානම මාතෘකාව වූයේ මේ දෙකය. එය වරින් වර ඉහළට එමින් පහළට යමින් ආණ්ඩුව ඇතුළේ දිගින් දිගටම ගලාගිය ආකාරයක්ද පෙනෙන්නට තිබිණ.
ඒ අනුව, මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් විශේෂ අනාවරණයක් කිරීමට අප සූදානම්ය. ඒ, පළාත් පාලන මැතිවරණයේ පසුබෑමෙන් පසු මාලිමාව නියෝජනය කරන ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු ස්ථාන කීපයකදීම කර ඇති ප්‍රකාශයන් පිළිබඳවය. ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ මෙවර අඩු වී ඇත්තේ මාලිමාවට ලැබුණු ලක්ෂ 68 ජනවරමෙන් අතිබහුතරයක් යැයි කියාය. ඉතිරි කාලවකවානුවේදී හෝ මෙය මාලිමා ආණ්ඩුවක් බව ජනතාවට පෙන්වීමට අපොහොසත් වුවහොත් 61%ක්ව පැවැති මෙම ඡන්ද ප්‍රතිශතය නැවතත් 3% දක්වා පහළ වැටීම වැළැක්විය නොහැකි බවක්ද ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ තරමටම මෙම ගැටුම ආණ්ඩුව ඇතුළේ ඉහළටම පැමිණ ඇති බවක් මේ වනවිට දැකගන්නට හැකිය.
හරිනිට ඇහැගහගෙන
අනෙක් අතට ඇමෙරිකාව සහ යුරෝපා රටවල් ඇතුළු ජාත්‍යන්තර දේශපාලන කව අතර මේ වනවිට ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටින්නේ වෙන කවුරුවත් නොව අගමැතිනි හරිනි අමරසූරියය. පසුගිය මාස කීපය පුරා එම දේශපාලන කව අතර පැවැති දේශපාලන සංවාදයන්හිදී හරිනි සම්බන්ධයෙන් ඔවුන් තුළ අමුතුම ආකාරයේ ධනාත්මක චිත්‍රයක් මතුව ඇති බවක් දැකගන්නට ලැබිණි. එම දේශපාලන සාකච්ඡාවන්හිදී ඔවුන් පුරෝකථනය කොට ඇත්තේ ලබන වසර වනවිට බරපතළ සමාජ-ආර්ථික අර්බුදයක් ශ්‍රී ලංකාව තුළ මතුවීමට ඉඩ ඇති බවත්, එහිදී එම අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහ එම අර්බුදයෙන් ගොඩ ඒමට සියලු පාර්ශ්වයන් එක්කළ හැකි ස්වාධීන චරිතයක් ලෙස කටයුතු කළ හැක්කේ හරිනිට පමණක් බවත්ය. මේ සඳහා අවශ්‍ය දේශපාලන පෞරුෂය හරිනිට ඇති බවත්, සියලු කණ්ඩායම් එක්කොට ගත් රට ඉදිරියට ගෙනයා හැක්කේ ඇයට බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයන්ගෙන් පසුව මෙම කරුණ තරමක් දැඩිව එම ජාත්‍යන්තර දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් පවතින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත. විශේෂයෙන්ම ඇමෙරිකානු බලධාරීන්ට හරිනි සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් සහ කැමැත්තක් ඇති බවත් ආරංචිය.
බලය අල්ලන මෙහෙයුම
මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව ආණ්ඩුව ඇතුළේ තත්ත්වය මෙසේ වෙද්දී විපක්ෂය පැත්තෙන් නම් දැකගන්නට ලැබුණේ විශාල පිබිදීමකි. ආණ්ඩුව බහුතරයක් ලබා ගත්තද පළාත් පාලන ආයතන 160කට අධික ප්‍රමාණයක දී විපක්ෂය එකතු වූ විට බලය පිහිටුවීමට හැකියාව ලැබී තිබීම ඊට බලපා තිබූ ප්‍රධාන සාධකය වී තිබිණි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතාව ලබාදුන් ප්‍රතිඵලයට අනුව තීන්දු තීරණ ගැනීමට සූදානම් බවත්, සියලු පාර්ශ්වයන් එක්කොට ගෙන ඉදිරියට යෑමට සජබය සූදානම් බවත් ප්‍රකාශ කිරීමත් සමග පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීම සම්බන්ධයෙන් කොළ එළියක් දැල්වීමද ඊට හේතු වී තිබිණි.
එම ප්‍රකාශයෙන් පසුව සජිත් අවංකවම විපක්ෂ කණ්ඩායම් ඒකරාශී කොට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ මෙහෙයුමට අත ගැසීය. නමුත් ඒ කිසිදු කටයුත්තකින් අනවශ්‍ය ප්‍රචාරක වාසියක් ලබා නොගන සියලු දෙනාගේම අභිමානය ආරක්ෂා වන අයුරින් තිරය පිටුපස ඒ සියල්ල සිදුකිරීමට සජිත් වගබලාගෙන තිබිණි. පළාත් පාලන මැතිවරණයෙන් ලැබී තිබූ ප්‍රතිඵලවලට අනුව අතිබහුතරයක් තැන්වල සජබය පොහොට්ටුව සමග පමණක් එකතු වීමෙන් සභාවේ බලය අත්පත් කරගැනීමේ හැකියාවක් තිබේ. තවත් තැන්වල සජබය, පොහොට්ටුව සහ දිලිත්ගේ සර්ව ජනබලය එක්වූ විට සභාවේ බලය අත්පත් කරගත හැකිය. පෙළක් තැන්වල සජබය, පොහොට්ටුව, සර්ව ජනබලය සහ එජාප කණ්ඩායම් එක්වූ විටත්, තවත් කීපයක ඒ සියල්ලට අමතරව ස්වාධීන කණ්ඩායම් එක්කර ගත් විට සභාවේ බලය අත්පත් කරගැනීමේ හැකියාවත් ඇත.
ඒ අනුව සජිත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහා පොහොට්ටුවේ නාමල්ට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුර ප්‍රියදර්ශන යාපාට සහ සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීරට කතාකොට සභාව පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික එකඟතාව ලබාගැනීමට පියවර ගත්තේය. පසුව ඊට අදාළ සාකච්ඡාවන් දීර්ඝව පැවැත්වීමේ කටයුතු පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට පැවරීමට පියවර ගත්තේය. ඒ අදාළ පක්ෂවල මහලේකම්වරුන් සමග සාකච්ඡා කොට තනතුරු බෙදීයෑම සහ සභාවේ සංයුතිය සාකච්ඡා කිරීමටය.
මේ ආකාරයට සජබය පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීම සඳහා තිරය පිටුපස විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවට වූ තොරතුරු ආණ්ඩුවේ පාර්ශ්වයන්ටද වාර්තා නොවුණා නොවේ. එම තොරතුරු වාර්තා වීමත් සමග දැඩි කලබලයට පත්වූ මාලිමා ප්‍රධානීන් තමන්ට බහුතරය ඇති පළාත් පාලන ආයතනවලට අමතරව බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය කෙසේ හෝ අත්පත් කරගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී මාලිමාව කෙතරම් පහළට වැටුණාද කියනවා නම් තමන් මුලින් සිටි දැඩි ස්ථාවරයන් පවා වෙනස් කොට මන්ත්‍රීවරුන් එකතු කිරීමේ මෙහෙයුමකට මාලිමාව අතගසා තිබිණි. මුලදී පැහැදිලිවම ටිල්විනුත්, හරිනිත් මැතිවරණ වේදිකාවන්හිදී ප්‍රකාශ කොට තිබුණේ ස්වාධීන ලේබලය ගසාගෙන මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේද පරණ හොරුන්ම බැවින් ඔවුන්ට ඡන්දය ලබා නොදෙන ලෙසය. කිසිසේත්ම ඔවුන් ආණ්ඩු පක්ෂයට එක්කර නොගන්නා බවය. නමුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ලැබීමත් සමග ආයතන 160කට අධික ප්‍රමාණයක බහුතර බලය හිමිව නොතිබීම හේතුවෙන් අවසානයේදී මාලිමා ප්‍රධානීන්ට සිදුවූයේ තමන් පෙර මැතිවරණ වේදිකාවේදී කළ මෙම ප්‍රකාශ වමාරාගෙන කන්නටය. ඒ අනුව ප්‍රතිපලවලින් පසුව ටිල්වින් මාධ්‍ය හමුවේ කියා සිටියේ ස්වාධීන කණ්ඩායම්වලින් සභාවට තේරීපත්වුණු සාමාජිකයන් සමග සාකච්ඡා කොට බලය පිහිටුවීමට මාලිමාව සාකච්ඡා ආරම්භ කොට ඇතැයි කියාය.
සජබෙට කතාකරලා
ඊටත් වඩා පුදුමසහගත කරුණ වූයේ ස්වාධීන කණ්ඩායම්වල සාමාජිකයන්ට පමණක් නොව, සජබ මන්ත්‍රීවරුන්ට පවා කතාකොට සභාවන්හි බලය පිහිටුවීම සඳහා සහාය ලබාදෙන ලෙසට ඉල්ලීමට මාලිමාවේ ඇතැමුන් පියවර ගෙන තිබීමය. ඒ බව අනාවරණ වූයේ වෙසක් සමයේ පැවැති උත්සවයකට සජිත් සහභාගි වී සිටියදී ඔහුට ලැබුණු දුරකතන ඇමතුමක් හරහාය. සජිත් ඒ වනවිට විශේෂ වැඩකටයුත්තක නිරත වී සිටීම හේතුවෙන් දුරකතනයට පිළිතුරු දුන් සජිත්ගේ ආරක්ෂක නිලධාරියා කියා සිටියේ විපක්ෂ නායකවරයා විශේෂ සාකච්ඡාවක නිරතව සිටින බැවින් තව සුළු මොහොතකින් කතාකරන්නට යැයි කියාය. නමුත් දුරකතනයේ එහා පැත්තේ සිටි පුද්ගලයා කියා සිටියේ ඉතා හදිසි කටයුත්තක් හේතුවෙන් තමන්ට දැන්මම විපක්ෂ නායකවරයාට කතා කළ යුතු යැයි කියාය. ඒ අනුව, ආරක්ෂක නිලධාරියා මේ පුද්ගලයාගේ පෙරැත්තය නිසාම දුරකතනය විපක්ෂ නායකවරයාට ලබාදීමට පියවර ගත්තේය. එහිදී සජිත් සම්බන්ධ කරගත් අදාළ පුද්ගලයා තම නම හෙළිකරමින් ලොකු රහසක් සජිත්ට හෙළිකිරීමට පියවර ගත්තේය.
‘මම ලොකු රහසක් කියන්නයි ඔබතුමාට හදිස්සියෙම කතා කළේ. මේ දැන් කොළඹ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගාවට බස්නාහිර පළාතේ කොළඹින් පිට ඉන්න කැබිනට් ඇමැතිතුමෙක් ඇවිත් ඔබතුමාගේ පක්ෂේ කොළඹ නගර සභාවෙන් ඉල්ලපු මන්ත්‍රීතුමෙක් එක්ක පැය එකහමාරක සාකච්ඡාවක් කළා. පොඩ්ඩක් හොයලා බලන්න එතැන මොකක්ද වෙන්නේ කියලා…’ යනුවෙන් එම පුද්ගලයා සජිත්ට කියද්දී, සජිත් පෙරළා එම ලබාදුන් තොරතුරට සිය ස්තුතිය පළකිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් වෙසක් උත්සව කීපයකට සහභාගි වෙමින් සිටි නිසා සජිත් ඒ මොහොතේ අදාළ මන්ත්‍රීවරයාට ඇමතුමක් ලබාදීමට පියවර ගත්තේ නැත. කෙසේ වෙතත් එදින රාත්‍රියේ සිය ජංගම දුරකතනය පිරික්සද්දී අදාළ මන්ත්‍රීවරයාගෙන් මගහැරුණු ඇමතුම් කිහිපයක් තමන්ට ලැබී ඇති බව සජිත් දුටුවේය. කෙසේ වෙතත් එදින රාත්‍රියේ අදාළ මන්ත්‍රීවරයාගෙන් සජිත්ට දුරකතන ඇමතුමක් ලැබිණි. එහිදී කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් යම් යම් කරුණු අදාළ මන්ත්‍රීවරයා විසින් පවසද්දී සජිත් එක් වරම මේ විමසා සිටියේ ‘ආ කොහොමද අර ඇමැතිතුමත් එක්ක කොළඹ ග්‍රවුන්ඩ් එක ගාව තිබ්බ සාකච්ඡාව?’ යැයි කියාය. සජිත් හිටිහැටියේ එම ප්‍රශ්නය අහද්දී උඩ ගොස් බිම වැටුණු මේ මන්ත්‍රීවරයා කලබලයෙන් යුතුව සජිත්ට කියා සිටියේ ‘ඔව් සර්, ඒ ඇමැතිතුමා ආවනේ මාව හම්බවෙන්න. හැබැයි මම ඒක අපේ පක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ එක්කෙනෙක්ට දැනුම් දුන්නා…’ යැයි කියාය. ‘ඔව් මට ආරංචියි. මොනවද ඇමැතිතුමා ඔයාගෙන් ඉල්ලුවේ..,?’ යනුවෙන් සජිත් පෙරළා ප්‍රශ්න කරද්දී මන්ත්‍රීවරයා කියා සිටියේ, ‘ඇමැතිතුමා කියනවා කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්න ඒගොල්ලන්ට උදව් කරන්නලු. එහෙම නැති වුණොත් එයාගේ දේශපාලනයට ප්‍රශ්නයක් වෙනවලු. ඉතින් මම කිව්වා අපිට එහෙම පෞද්ගලික තීන්දු ගන්න බෑ, පක්ෂය ගන්න තීන්දුවත් එක්ක තමයි අපි ඉන්නේ කියලා.’ යැයි කියාය. ඒ පිළිතුරෙන් සෑහීමකට පත්වූ සජිත්, ‘ඔව්, ඔයා එහෙම කියපු එක හොඳයි. අපි දැනටමත් කොළඹ නගර සභාව ගැන තීන්දුවක් අරගෙන සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ඒ ගැන පක්ෂයක් විදියට අපි ඉදිරියේදී තීන්දුවක් ගන්නවා. පක්ෂයේ තීන්දුවට පිටින් යන කවුරු හරි ඉන්නවා නම් මාස 3ක් ඇතුළත ඒ අයගේ මන්ත්‍රී ධුර අහෝසි වෙනවා. අපරාදේ මෙච්චර මහන්සි වෙලා ගත්ත මන්ත්‍රීකමත් ඒ අයට නැතිවෙනවා….’ යනුවෙන් මේ මන්ත්‍රීවරයාට පිළිතුරු දී සිටියේය.
මේ හරහා දැකගැනීමට හැකි සිදුවීම වන්නේ මාලිමාව ස්වාධීන මන්ත්‍රීවරුන්ට පමණක් නොව, සජබය ඇතුළු වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ට පවා බලය පිහිටුවීම සඳහා සාකච්ඡා කරන තරමට පත්ව ඇති බවය. පසුගිය කාලවලදී මෙවැනි ඔළුගෙඩි එහා මෙහා කිරීමේ මෙහෙයුම් පාර්ලිමේන්තුවේදී පමණක් දැකගැනීමට හැකි වුවත්, මේ සිදුවීම් හරහා දැන් එය ගම් මට්ටම දක්වාම පහත වැටී ඇති ආකාරයක් දැකගත හැකිය.
රනිල් කුප්ප ගේමක
කෙසේ වෙතත් සජිත් මුල සිටම සැලසුම් කර තිබුණේ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කිසිදු දේශපාලන පක්ෂ නායකයකුගේ ප්‍රතිරූපයකට හානියක් නොවන ආකාරයකට පළාත් පාලන ආයතනවල බලය අත්පත් කරගැනීමේ සාකච්ඡා පැවැත්වීමටය. ඒ අනුව සජිත් මුලින්ම සැලසුම් කළේ පක්ෂ නායකයන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. දෙවැනුව අදාළ පක්ෂවල මහලේකම්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමටය. තුන්වැනුව මෙම සති අන්තයෙන් පසු ස්වාධීන කණ්ඩායම් නායකයන් මුණගැසී ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීමටය. මේ ආකාරයට සජිත් පළාත් පාලන ආයතන රැසක බලය ඇල්ලීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙළක් දියත් කොට ඇති බවක් කොහෙන් හෝ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කනටද වැටී තිබිණි. පසුගිය ජාතික මැතිවරණවලදී මෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේදී රනිල්ගේ නායකත්වය යටතේ එජාපයට අත්වූයේ කුජීත පරාජයකි. වෙනදා නම් පළාත් පාලන මැතිවරණවලදී මුළු රටෙන්ම දහස් ගණනින් මන්ත්‍රීවරුන් එජාපයෙන් තේරී පත්වුවද මෙවර එජාපයට රනිල්ගේ නායකත්වය යටතේ මුළු ලංකාවෙන්ම හිමිවූයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 381ක් පමණි. ප්‍රතිශතයක් වශයෙන් ගත් විට එජාපයට ඡන්ද හිමිව තිබුණේ 5%කටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකි. එවැනි කුජීත, නන්නත්තාර පරජායක් අත්පත් කරගෙන තිබුණද ප්‍රතිඵල නිකුත් වී නොබෝ වේලාවකින් එජාපයෙන් නිකුත් වූ නිවේදනයකින් කියැවුණේ මෙවර මැතිවරණ ප්‍රතිඵලවලට අනුව එජාපයට විශාල ජයග්‍රහණයක් ලැබී ඇතැයි කියාය. සජිත්ගේ සජබයට විශාල ජයග්‍රහණයක් ලැබී නැතැයි කියාය. එජාපය එසේ කළේම වෙන මොකකටවත් නොව, විපක්ෂයේ පක්ෂ එකතු වුවහොත් පළාත් පාලන ආයතන 160කට අධික ප්‍රමාණයක බලය ඇල්ලීමට හැකි බව පෙනෙන්නට තිබූ නිසා මුල් වටයේදීම ඒ විපක්ෂයේ පක්ෂ අතර ඇතිවිය හැකි එකඟතාව කඩාකප්පල් කිරීමේ අරමුණෙන් යුතුවය. මන්ද යත් ඒ ආකාරයට විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇතිවුවහොත් ඒ හරහා සජිත් පමණක් නොව සජබයද ඉස්සෙන බව රනිල් හොඳාකාරව දැන සිටියේය. ඒ නිසා රනිල්ගේ මුල සිටම සැලසුම වී තිබුණේ කෙසේ හෝ කොළඹ නගර සභාවේ බලය ඇල්ලීමේ සජබ මෙහෙයුම කඩාකප්පල් කොට එහි බලය මාලිමාව අතට පත්කිරීමය.
මේ සම්බන්ධයෙන් එජාපය ඇතුළේ පැවැති සාකච්ඡාවලදී රනිල් කුමන ස්ථාවරයක් දැරුවද එජාප ජ්‍යෙෂ්ඨයන් නම් සිටියේ මේ අවස්ථාවේ සජබය සමග එක්වී කොළඹ නගර සභාවේ බලය අත්පත් කරගත යුතු ස්ථාවරයේය. ඒ බව හොඳින්ම පැහැදිලි වූයේ රනිල් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එජාප ජ්‍යෙෂ්ඨයන් වන රුවන් විජේවර්ධන සහ සාගල රත්නායක ඉතා ප්‍රවේසමෙන් වචන හසුරුවමින් සජබය සමග එක්ව කොළඹ බලය ඇල්ලීමට එජාපය සූදානම් බව ප්‍රකාශ කිරීමය. එමෙන්ම එජාපයෙන් කොළඹ නගර සභාවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරයද වී තිබුණේ කෙසේ හෝ කොළඹ බලය මාලිමාවට යා නොදී විපක්ෂය සමග එක්ව පිහිටුවීමටය. නමුත් රනිල්ගේ යටි සැලසුම වී තිබුණේ කෙසේ හෝ සජබයට මෙහි බලය යා නොදී එය මාලිමාවට ලබාදී සජබය සහ සජිත්ව පැරැද්දවීමය. විශේෂයෙන්ම සජබය සමග එක්ව කටයුතු කිරීමට පොහොට්ටුව, ශ්‍රීලනිපය ඇතුළු අනෙකුත් පක්ෂ නොනිල වශයෙන් එකඟතාව පළකොට තිබීම රනිල් කිසිසේත්ම බලාපොරොත්තු වූවක් නොවේ. ඒ නිසාම රනිල් කළේ සජිත් සෙනසුරුදා (17) දිනයේ විපක්ෂයේ පක්ෂ නායකයන් හමුවන බව දැන ඊට පෙරාතුව හදිසියේම විපක්ෂයේ පක්ෂ නායකයන්ට මල් පාරේ සිය පක්ෂ කාර්යාලයේ සාකච්ඡාවට පැමිණෙන ලෙස ආරාධනා කිරීමය. මේ බව එජාපය පාර්ශ්වයෙන් සජබ මහලේකම් රංජිත්ට කතා කොට ඊට නියෝජිතයකු සහභාගි කරවන ලෙස දැනුම් දී සිටියේය. රංජිත් වහාම මෙම පුවත සජිත්ට දැනුම් දුන් අතර, සජිත්ද කියා සිටියේ සියලු පක්ෂවලට පොදුවේ ආරාධනා කර ඇති බැවින් පක්ෂ නියෝජිතයකු ඊට සහභාගි කරවන ලෙසය. ඒ වනවිටත් රංජිත් බහුතරයක් නැති පළාත් පාලන ආයතන 160කට සජබයෙන් පත්වූ මන්ත්‍රීවරුන් හමුවී ඒ ඒ ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කොට තිබීම නිසා ඔහුට ඊට සහභාගි වීමේ හැකියාවක් නොතිබිණි. ඒ අනුව සජබ මෙහෙයුම් ප්‍රධානියා වූ නලින් බණ්ඩාර රනිල් කැඳවූ සාකච්ඡාවට සහභාගි කරවීමට සජබය තීන්දු කළේය. කෙසේ වෙතත් මෙම හමුව පැවැත්වීමටත් ප්‍රථම රනිල් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත නිවේදනය සකස් කිරීමට කටයුතු කොට තිබීම විශේෂ සිදුවීමක් විය. සාකච්ඡාවෙන් අනතුරුව එම නිවේදනය මාධ්‍යයට නිකුත් කෙරුණු අතර එහි සඳහන්ව තිබුණේ රනිල්ගේ නායකත්වය යටතේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් එකඟ වූ බවත්, ඊට විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් එක්ව සිටි බවත්ය. මේ සම්බන්ධයෙන් එජාපය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණේ මෙවැන්නකි.
රනිල් පච වූ නිවේදනය
‘ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයෝ අද (14) එකඟතාවයකට පැමිණියහ.
මෙම එකකතාව ඇති වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.
එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතනවලට අදාළ නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂ වල මහ ලේකම්වරුන් හෙට (15) දිනයේදීම හමුවීමට නියමිතය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, පොදුජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි තිගාම්බරන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, වීරකුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් සී. දොළවත්ත, නිමල් ලංසා, මොහොමඩ් මුසම්මිල්, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු සහභාගී වූහ.
(සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙම හමුව සඳහා දුරකතනය ඔස්සේ සම්බන්ධ විය.)
පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මෙම ඒකාබද්ධ රැස්වීම් කැඳවීමේ කාර්යභාරය හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙහිදී පවරනු ලැබීය.
මාලිමාවට එරෙහිව සිටින සියලු කණ්ඩායම් සමග ඉදියේදී සාකච්ඡා කොට බලය පිහිටුවීමට අමතරව ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.’
එජාපයෙන් නිකුත් වූ මෙම නිවේදනයට රනිල්ගේ මාධ්‍ය හෙංචයියන් විශාල ප්‍රසිද්ධියක් ලබාදීමටද පියවර ගෙන තිබිණි.
හීන්නූලෙන් ගහපු ගේම
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව කැඳවීමට පෙරාතුව විපක්ෂයේ පක්ෂ එකතු වීම වැළැක්වීම සඳහා රනිල් හීන් නූලෙන් තවත් උපක්‍රමයක්ද දියත් කොට තිබිණි. එහිදී රනිල් කළේ විපක්ෂයේ පක්ෂවල සිටින තෝරාගත් මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨයන් ගෙන්වා ඔවුන්ට අලුත්ම තෙලක් බෙදීමට පියවර ගැනීමය. එහිදී රනිල් ඔවුන්ට කීවේ මේ අවස්ථාවේදී කොළඹ ඇතුළු පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයෙන් අල්ලනවා වෙනුවට ආණ්ඩුවට ඒවායේ බලය ගැනීමට ඉඩ දියයුතු යැයි කියාය. ඒ හරහා ආණ්ඩුවට තවත් ඇනගැනීමට ඉඩ දිය යුතු බවත්, අවුරුදු දෙකක් පමණ ඉක්ම යෑමෙන් අනතුරුව මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක් වැනි තීරණාත්මක දේශපාලන කඩඉමක් පැමිණි විට එම සභාවන්හි බලය පෙරළීමට කටයුතු කළ යුතු බවත් රනිල් එහිදී මේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියා සිටියේය. රනිල් මුලින්ම මෙම මතය එජාපය ඇතුළටද දැමීමට කටයුතු කළත්, රනිල්ගේ හැටි දන්නා එජාප ජ්‍යෙෂ්ඨයෝ ඊට පළමු වටයේදීම ප්‍රහාර එල්ල කොට එය ව්‍යර්ථ කර දැමීමට සමත් වූහ. මේ නිසාම රනිල් විපක්ෂයේ පක්ෂ ඇතුළට එම මතය කාවැද්දීම සඳහා හීන් නූලෙන් කටයුතු කළත් එයද සාර්ථක නොවුණේ ඊට විපක්ෂයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසාය. රනිල්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නියෝජිතයන් සමග මල් පාරේ පැවැති සාකච්ඡාවට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබාදීමට පියවර ගත්තේ යට කී සැලසුම අසාර්ථක වීමෙන් අනතුරුවය. රනිල්ගේ මාධ්‍ය හෙංචයියන් සැලසුම් කොට තිබුණේ රනිල්ගේ මාමාගේ පුවත්පත්වල, රනිල්ගේ මාමාගේ ඉංග්‍රීසි පත්තරවල යන දේශපාලන කොලම්වල මේ අසත්‍ය පුවත් සහ බොරු දේශපාලන විග්‍රහ පළකළ පමණින් රටේ ජනතාව තවමත් ඒවාට රැවැටෙනවා යැයි කියාය. නමුත් දැන් ජනතාව එජාපය සහ රනිල් ගැන යම් පුවතක් රනිල්ගේ මාමාගේ පත්තරවල පළවන්නේ නම් ඒ ගැන දෙවරක් සිතන තැනට පත්ව සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, අප එම පුවත්පත්වල පළවන අසත්‍ය පුවත් පිළිබඳ දිගින් දිගටම කළ අනාවරණයක් හේතුකොට ගෙනය.
මේ ආකාරයට රනිල්ගේ සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යවල දිගට හරහට පුවත් පළවෙද්දී කලබලයට පත්වු ඇතැම් සජබ නියෝජිතයන් දිගින් දිගටම සජිත්ට දුරකතන ඇමතුම් දෙමින් එහි ඇත්ත නැත්ත විමසා සිටීමට පියවර ගත්හ. ඒ අනුව ඒ හැම දෙනාටම සජිත් කියා සිටියේ එවැනි පුවත්වලට කලබල නොවන ලෙසය.
‘ඕගොල්ලෝ කිසි දේකට කලබල වෙන්න එපා. අපි මෙතැන යන්නේ සන්ධාන හදන්න නෙවෙයි. අපි යන්නේ ජනතාව දීපු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඒකාබද්ධ විපක්ෂයක් හදලා ඒ ඒ ආයතනවල බලය ගන්න. ඔය නිවුස් ප්ලාන්ට් කරන ඒවා රනිල්ගේ වැඩ. මම එයා ළඟ ඉඳලා එයාගේ ඔය නිවුස් ප්ලාන්ට් වැඩේ ගැන හොඳට දන්නවා. ඕවට කලබල වෙන්න එපා. අපි අපේ වැඩේ හරියට කරගෙන යමු….’ යන්න එහිදී සජිත් ඒ කතා කළ සියල්ලන්ටම දුන් පිළිතුර විය.
රනිල්ට දුවන්න වදී
සජිත් කීවාක් මෙන්ම එජාපය පැත්තෙන් මෙම නිවේදනය නිකුත් වී මොහොතක් යෑමට මත්තෙන් ඊට එරෙහිව පළමු බෝම්බය එල්ල කළේ සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීරය. එජාප නිවේදනයේ දිලිත් සාකච්ඡාව අතරමැදදී දුරකතනයෙන් සම්බන්ධ වූ බව සඳහන් කොට තිබුණද, එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, තමන් එවැනි සාකච්ඡාවකට කිසිසේත්ම සම්බන්ධ නොවුණු බවත් දිලිත් කියා සිටියේය. එපමණක් නොව, එජාප සභාපති වජිරට ඇමතුමක් ලබාදුන් දිලිත් එම අසත්‍ය නිවේදනය වහාම නිවැරැදි කරන ලෙසට දැනුම් දී සිටියේය. ඒ සම්බන්ධයෙන් දිලිත් සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තැබීමටද පියවර ගෙන තිබුණේ මෙසේය.
‘මෙහි මා සම්බන්ධයෙන් මාගේ නම සදහන් කරමින් යොදා ඇති සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය වේ. මෙය වහාම නිවැරදි කරන ලෙස මම එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඔහු ඒ සඳහා කටයුතු කිරීමට එකඟ විය.’
(‘සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙම හමුව සඳහා දුරකතනය ඔස්සේ සම්බන්ධ විය.’)
දිලිත් කළ මෙම නිවැරැදි කිරීමට අනුව එජාපය නිකුත් කර තිබුණේ සම්පූර්ණයෙන් අසත්‍ය නිවේදනයක් බවත්, එය රැස්වීමට පෙරම සකස් කොට තිබූ එකක් බවත් පැහැදිලි විය.
දිලිත්ගේ මෙම ප්‍රහාරයෙන් පසුව එජාපය නිවේදනය කළ අසත්‍ය පුවතට එම සාකච්ඡාවට සහභාගි වී සිටි සියලු පාර්ශ්වවලින් දිගට හරහට ප්‍රහාර එල්ල වන්නට විය. එදිනම රාත්‍රියේ සාකච්ඡාවට සජබයෙන් සහභාගි වී සිටි නලින් බණ්ඩාර විශේෂ ප්‍රකාශයක් කරමින් අදාළ පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත්, රනිල්ගේ නායකත්වය යටතේ එකතු වීමට විපක්ෂය කිසිදු තීන්දුවක් නොගත් බවත් අවධාරණය කොට සිටියේය.
එහි ඉතිරිය දැකගන්නට ලැබුණේ ඊට පසු දිනය. ඒ අනුව පෙරවරුවේම රැස්වූ පොහොට්ටුව එජාපය නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා පමණක් නොව, එජාපය කැඳවා තිබූ විපක්ෂයේ පක්ෂ මහලේකම්වරුන්ගේ සාකච්ඡාව වර්ජනය කිරීමටද පියවර ගත්තේය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ලසන්ත අලගියවන්න මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එජාපය නිවේදනය කර තිබූ පරිදි රනිල්ගේ නායකත්වය යටතේ විපක්ෂය ඒකාබද්ධ වීමට කිසිදු තීන්දුවක් ගෙන නැතැයි කියාය. ඒ අනුව සාකච්ඡාවට සහභාගි වී සිටි සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ එජාපය නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණ අසත්‍යයක් බවට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම රනිල්ගේ මෙම ක්‍රියාකලාපය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දුටු බොහෝ දෙනා රනිල් මේ සැරසෙන්නේ විපක්ෂය ඒකාබද්ධ වීමට ඇති අවස්ථාව කඩාකප්පල් කිරීමට බවද කියා සිටියේය. ඒ අනුව රනිල් ගත් උත්සාහය අසාර්ථක වූවා පමණක් නොව, එජාපයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම් කොට තිබූ විපක්ෂයේ පක්ෂවල මහලේකම්වරුන්ගේ රැස්වීමද කඩාකප්පල් වූ ආකාරයක් දැකගත හැකි විය.
මීට අමතරව රනිල්ගේ පැත්තෙන් නිකුත් වූ එම නිවේදනයේ විපක්ෂයේ නියෝජිතයන් කැඳවීමේ වගකීම හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදී ඇති බවට සඳහන් වූ වාක්‍යයටද විශාල විරෝධයක් විපක්ෂය පැත්තෙන් එල්ල වන්නට විය. මන්ද යත්, මහින්ද යාපා එකල පොහොට්ටු ආණ්ඩු සමයේ කතානායකවරයා ලෙස කටයුතු කරද්දී ඉතා විශාල ලෙස ආණ්ඩුවට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කළ බවද විපක්ෂය දිගින් දගටම චෝදනා කළේය. එපමණක් නොව අත්තනෝමතිකව කටයුතු කරමින් ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පවා වැරැදි ලෙස අර්ථ නිරූපණය කිරීමට මහින්ද යාපා කටයුතු කළ බව කියැවිණි. ඒ නිසාම විපක්ෂය කතානායක මහින්ද යාපාට එරෙහිව එවකදී විශ්වාසභංගයක්ද පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළේය. එවැනි පක්ෂග්‍රාහීව කටයුතු කළ පුද්ගලයකුට විපක්ෂයේ පක්ෂ සම්බන්ධීකරණය කිරීම පැවරීම සම්බන්ධයෙන් දිගට හරහට විපක්ෂ මන්ත්‍රීවරුන් පහර එල්ල කළ ආකාරයක්ද එහිදී දැකගත හැකි විය.
අමාරි සාකච්ඡාව
මේ ආකාරයට පක්ෂ ලේකම්වරුන්ගේ හමුව අවලංගු වීමත් සමග එජාපය පැත්තෙන් විපක්ෂයේ තවත් හමුවක් කොළඹ කොල්ලුපිටියේ පිහිටි අමාරි හෝටලයේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්වීමට සැලසුම් කෙරිණි. ඊට සජබයට ආරාධනා කළද එහි කිසිවකුත් එම සාකච්ඡාවට සහභාගි නොවීම විශේෂත්වයක් විය. සාකච්ඡාව අවසානයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මනෝ ගනේෂන් කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, එහි තවත් විශේෂ සාකච්ඡාවක් සෙනසුරාදා දිනයේදී විපක්ෂ නායක, සමගි ජන සන්ධානයේ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇති බවත්ය. එහිදී ඒ සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක්ම ගැනීමට හැකිවනු ඇති බව මනෝ කියා සිටියේය. කෙසේ වෙතත් මනෝ මාධ්‍ය හමුවේ එලෙස අදහස් දැක්වුවද සාකච්ඡාවට එක්ව සිටි එජාප නියෝජිතයන් මාධ්‍ය හමුවේ වචනයක් හෝ ප්‍රකාශ නොකොට තම තමන්ගේ වාහනවල ට දිවගිය ආකාරයක් දැකගත හැකි විය.
සජිත්ගේ නායකත්වය යටතේ මේ ආකාරයට විපක්ෂය එකමුතු වීම කඩාකප්පල් කිරීම සඳහා රනිල් ගැසූ තවත් ගේමක් මේ ආකාරයෙන් පසුගිය සිකුරාදා වනවිට ව්‍යර්ථ වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් අප මෙම තීරය ඔස්සේ රනිල් විසින් දියත් කර තිබූ මෙවැනිම පන්නයේ කැත දේශපාලන කුමන්ත්‍රණ රැසක් පිළිබඳවම පසුගිය කාලයේදී හෙළිදරව් කිරීමට පියවර ගත්තෙමු. එහිදී සජබයේ සිටින රනිල්ට හිතවත් ඇතැම් ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් අපට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළද, අද වනවිට ඔවුන්ද රනිල්ගේ මේ කුප්ප දේශපාලන සැලසුම් හොඳ හැටි තේරුම් ගෙන ඇති බව අපගේ අදහසය. සජබයේ සිටින ඇතැම් කුමන්ත්‍රණකරුවන් එය වටහා ගත්තත් නැතත් එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨයන් පවා රනිල්ගේ මෙම කුප්ප වැඩ ගැන හොඳහැටි දැනුවත්ව සිටින ආකාරයක් පෙනී යන්නේ එජාපයේ ජ්‍යෙෂ්ඨයකු වන රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මුල්කොට ගෙනය. එහිදී රවී කියා සිටියේ තමන් කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වය දරද්දී කොළඹ නගර සභාවේ ආසන 60න් 58ක්ම එජාපය ලබාගැනීමට කටයුතු කළ බවකි. නමුත් අද කොළඹින් එජාපයට හිමිව ඇත්තේ ආසන 6ක් පමණක් බවත්, එජාපය ඇතුළේ සිටින භූතයන් දෙදෙනකු පක්ෂයට මෙම ඉරණම අත්කොට දී ඇති බවත් රවී සඳහන් කර සිටියේය. ඒ අනුව, කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 160කට අධික ප්‍රමාණයක බලය පිහිටුවීම සම්බන්ධයෙන් මේ සති අන්තයේදී සජිත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවීම්වලදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
නන්දලාලුත් යයිද?
මේ සියලු දේශපාලන හැලහැප්පීම් මැද පසුගිය සතිය වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල වශයෙන් ගිය කතාවක් වන්නේ මහබැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කරන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම තනතුරෙන් ඉවත් වීමට සූදානමින සිටිනවා යැයි කියාය. එම කටකතාවට තටු ලැබී තිබුණේ මේ මස අවසානය වනවිට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන මහින්ද සිරිවර්ධන මහතාද සිය ධුරයෙන් විශ්‍රාම යෑමට තීරණය කොට තිබීම නිසාය. මේ දෙදෙනාම සැලකෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සමයේදී රට බංකොලොත් වූ පසු එම තත්ත්වයෙන් මුදාගෙන රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා දායක වූ ප්‍රබල චරිත දෙකක් ලෙසටය. ඒ අනුව, මහින්ද සිරිවර්ධන මහතා විශ්‍රාම යෑමෙන් පසු මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාද සිය තනතුරෙන් ඉවත් වුවහොත් මතුව ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වය යටතේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමේ ඉඩක් ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
මීට අමතරව පසුගිය සතියේ මාලිමා ආණ්ඩුව විසින් පත්කළ විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යොමුකිරීමට පියවර ගෙන තිබිණි එසේ සිය තනතුරෙන් ඉල්ලා අස්වූ සභාපතිවරයා වහාම විදෙස්ගත වීමටද පියවර ගෙන තිබිණි. නමුත් එම ඉල්ලා අස්වීමට හේතුව සභාපතිවරයාගේ පැත්තෙන් හෝ ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයට පත් නොවුණු නිසා මේ සම්බන්ධයෙන් විශාල කුතුහලයක් මතුව තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. සමාජ මාධ්‍යයේ ඇතැම් තැන්වල වාර්තා කොට තිබුණේ සියඹලාපිටිය හා ජවිපෙ මහලේකම් ටිල්වින් අතර ඇතිවූ මත ගැටුමක් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇතැයි කියාය.
කපිල පුංචිමාන්නගේ
Saru FM Media