අනාගතයට සවන් දෙමු

0
1

(ලෝක ළමා දිනය වෙනුවෙනි)

1950 ගණන්වලදී කැලැන්ඩර් පුවත්පත් කලාව නමැති අලුත් පුරුද්දක් ලංකාවේ පත්තර කන්තෝරුවලට බෝ විය. මේ අනුව බිත්තියේ එල්ලා ඇති කැලැන්ඩරයේ හෙට දිනය පිරික්සන කතුවරයා එය විශේෂ දවසක් නම් ඒ දවසට අයත් මාතෘකාව අළලා කතු වැකියක් ලියයි. මේ අනුව වෙසක් එකට, පොසොන් එකට, නත්තලට, මැයි දිනයට, කිසියම් වැදගතකුගේ උපන්දිනයට අදාළව කතු වැකියක් නොවරදී. සමහරවිට ඒ කතු වැකියට පාදක වන උපන් දිනය හිමි පුද්ගලයා එක්කෝ දේශපාලන ප්‍රතිවාදියෙකි, නැතහොත් පල් හොරෙකි. 1954න් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විවිධ කාරණා වෙනුවෙන් විවිධ දවස් ප්‍රකාශයට පත්කරනු ලැබීය. කාන්තා දිනය, ලෝක ළමා දිනය, ලෝක වැඩිහිටි දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, ආහාර පිළිබඳ දිනය, පිරිසිදු ජලය පිළිබඳ දිනය යන මාතෘකා ඇතුළු කාරණා විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් දවස් වෙන් කරනු ලැබීය. ඒ අතර බිස්නස්කාරයෝ පෙම්වතුන්ට තම නිෂ්පාදන විකුණා ගැනීම සඳහා වැලන්ටයින් දිනය ප්‍රවර්ධනය කිරීමට පටන් ගත්හ. අන්තිමට බලනවිට කැලැන්ඩරයේ දින 365ට විවිධ මාතෘකා 365ක් වෙන්වනවා වෙනුවට මාතෘකා 750ක් පමණ වෙන් කරනු ලැබීය. මෙයින් හැඟීයන්නේ සමහරවිට එකම දවසේ මාතෘකා 3ක් පමණ සැමරීමට ලෝකවාසීන්ට සිදුවන බව ය. ‘දිවයින’ මේ කැලැන්ඩර් පුවත්පත් කලාව අනුගමනය කළේ නැත. එහෙත් වෙසක්, පොසොන්, නත්තල, සිංහල අවුරුද්ද, ජනවාරි 01දා වැනි ජනතාවට විශේෂිත වූ දිනයන් සඳහා අපි කතු වැකි ලීවෙමු. ඒ අනුව යමින් අදට යෙදී ඇති ලෝක ළමා සහ ලෝක වැඩිහිටි දිනය ගැන කතු වැකියක් වෙනුවෙන් මේ තීරුව වෙන්කරනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ළමා දිනය ප්‍රකාශයට පත්කරන ලද්දේ 1954දීය. එය ඔක්තෝබර් 01දා වන අද දවසට යොදාගන්නා ලදී. තවත් ටිකක් කල් යනවිට ලෝක වැඩිහිටි දිනයට ද දවසක් වෙන්විය යුතු නිසා ඒ ගැන සොයා බැලීමේදී කැලැන්ඩරය මාතෘකාවලින් පිරීගොස් ඇති බව එක්සත් ජාතීන්ට පෙනිණ. එහිදී ඔක්තෝබර් 01දාටම ලෝක වැඩිහිටි දිනය ද යොදාගන්නා ලදී. මේ දිනය ඉතා ම අර්ථවත් ය. ළමයෙක් නව යෞවනයකු, තරුණයකු සහ වැඩිහිටියකු බවට පත්වේ. ළමයකු ලෙස පටන් ගන්නා ජීවිතය අවසන් වන්නේ වැඩිහිටියකු ලෙස නිසා, වැඩිහිටි කාලය ගත කළ යුත්තේ කෙසේ ද යන්න ගැන වැඩිහිටියන්ට අදහසක් තිබිය යුතුය. වැඩිහිටි දිනයේදී වැඩිහිටියාගේ ප්‍රමුඛ යුතුකම විය යුත්තේ ළමයා ආරක්ෂා කිරීමය. එහෙත් එය කිසිදු ආකාරයකින් හෝ සිදුවන්නේ නැත. ළමයා වැඩි වශයෙන් ම සූරාකෑමට පත්වන්නේ වැඩිහිටියා අතිනි. මෙහිදී තමාට ද ළමා කාලයක් තිබුණු බවක් වැඩිහිටියා කල්පනා කරන්නේ නැත. වැඩිහිටියන් ළමයින්ට පහරදෙනවිට තම ළමා කාලයේදී තමන්ට ලැබුණු ගුටිවල වේදනාව ගැන කල්පනා නොකරයි. ඇතැම් වැඩිහිටියෝ ළමයින්ට බණින්නේ තිත්ත කුණුහරුපෙනි. ඔවුහු ළමයාගේ ආත්මගෞරවය සිඳී යන පරිදි නීච ලෙස බැණ වදිති. මෙහිදී තම ළමා කාලය තුළ එවැනි දේ සිදුවෙද්දී තමන් කොතරම් දුකට පත් වී දැයි වැඩිහිටියා නොසිතයි. මේ රටේ සාම්ප්‍රදායික වැඩිහිටි පරම්පරාව ළමයා ඉදිරිපිටදී ස්වකීය අඳුරු ළමා කාලය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කරති. මෙහි අවසාන ඵලය වන්නේ කුමක්ද? ළමයා විසින් වැඩිහිටියාගෙන් පළිගනු ලැබීම ය. හැබැයි තවත් සමහර ළමයි වැඩිහිටි වූ පසු එසේ නොකරති. වැඩිහිටියන්ගෙන් පළිනොගන්නා පුරවැසියා බුද්ධිමත් සානුකම්පිත කෙනෙකි.

වැඩිහිටියාගෙන් පළිගන්නා පුරවැසියා කිසිදු බුද්ධියක් නැති මිනිසෙකි. විනාශය නමැති සංකල්පය පරම්පරාවෙන් පරම්පරාවට යායුතු නැත. කෲරත්වය නමැති සංකල්පය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කළ යුතු නැත. මේ ලෝකය ඉතා සාමකාමී යහපත් තැනක් බවට පත් කළ යුතුය. එසේ පත්කිරීමට නම් ළමයා නමැති සාධකය ඉතා පරිස්සමෙන් සහ ආදරයෙන් නඩත්තු කර හදා වඩා ගැනීම වැඩිහිටියන්ගේ යුතුකම වේ. එසේ හදා වඩා ගනු ලබන ළමයින් තමන් ද වැඩිහිටියන් වූ පසු ඉතා යහපත් පුරවැසියෝ ලෙස හැසිරෙති.

අවුරුදු 18ට අඩු ළමයින්ට හිංසා පීඩා කිරීම වැළැක්වීම සඳහා ආණ්ඩුව මේ දිනවල පනතක් සම්මත කිරීමට සූදානම් වෙයි. දියුණු රටවල මේ නීතිය මේ ආකාරයටම තිබේ. කිසියම් වැඩිහිටියකු ළමයකුට වාචිකව හෝ කායිකව හිංසා පීඩා කරන්නේ නම් වහාම පොලිසියට කතා කර තමාට වධ දෙන වැඩිහිටියා කූඩුවට දැමීමට ළමයාට පුළුවන. මේ හැකියාව අවභාවිත කිරීමට ද හැකිය. එහෙත් ළමයකු එම හැකියාව අවභාවිත කරනවිට ඒ බව හඳුනා ගැනීමට මොළයක් ඒ රටවල පොලිසිවලට තිබේ. පහත් ලෙස දණ්ඩනයට ලක්කොට පහත් ලෙස දෝෂාරෝපණයට ලක්කරනු ලැබූ දරුවා අපේක්ෂාභංගත්වයට පත්වේ. එවිට එම ළමයා තමා පහත් කෙනෙකැයි සිතයි. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ Inferior යනුවෙනි. මේ හැඟීම සහිතව සමාජයට යන ළමයා එක්කෝ කුඩ්ඩෙක් වෙයි. එක්කෝ ස්ත්‍රී දූෂකයෙක් වෙයි. එසේත් නැත්නම් දාම මිනීමරුවකු වෙයි (Serial Killer). මෙවැනි රටවැසියන් බහුල වූ විට බිහිවන්නේ යේමනය හෝ සෝමාලියාව වැනි ගැටුම් බහුල රටවල් ය.

කෙනකු තව කෙනකුට ආදරය දෙන්නේ අනිත් පාර්ශ්වයෙන් තමන්ට ආදරය ලැබෙන පරිදි ය. ළමයකු විසින් වැඩිහිටියකුට පෙරළා ආදරය දෙන්නේ ද මේ පදනම උඩ ය. මෙවැනි අන්‍යොන්‍ය තත්ත්වයක් යටතේ ගොඩනැඟෙන සමාජයක අනාගතය ඉතා සුරක්ෂිත ය. අවුරුදු 2500ක ඉතිහාසයක් තිබුණත් බෞද්ධ රටක් වුණත් ශ්‍රී ලංකාව තවමත් එම තත්ත්වයට පත් වී නැත. මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ ‘අනාගතයට සවන් දෙමු’ යන්න ය. මේ අනාගතය ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට ද අයත් ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here