දෙන්නෙක් තාත්තායි පුතායි
රුපියල් පන්දහසක් පෙන්වා මිනිසුන් අන්දමන්ද කරමින් රට පුරා රුපියල් ලක්ෂ ගණනින් සල්ලි වංචා කරමින් සිටි පාකිස්තාන ජාතික පිය පුතු දෙපළක් ඇතුළු පාකිස්තාන ජාතිකයන් තිදෙනකු පේරාදෙණිය පොලිසිය මගින් මාතර තිහගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තිදෙනා ලංකාවට පැමිණ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් කුලියට මෝටර් රථයක් ගෙන එයින් රට පුරා ගොස් මෙම වංචාව සිදු කර ඇති බව පොලිසිය පවසයි.
මේ වන විට ගම්පොළ නගරය ගෙලිඔය නගරය අකුරණ, කුරුණෑගල ආදි ප්‍රදේශ ගණනාවකින් පැමිණිලි ලැබී ඇත. ඊයේ උදෑසන ගම්පොළින් පැමිණිලි දෙකක් ලැබීමත් සමග තවත් පැමිණිලි ලැබෙමින් පවතින බව සඳහන්ය.
හතළිස් අට හැවිරිදි පකිස්තාන් ජාතික පියා, විසි දෙහැවිරිදි ඔහුගේ පුතා හා තිස් දෙහැවිරිදි පියාගේ මිතුරකු එක්ව මෙම වංචාවක් සිදු කර තිබේ. මොවුන් ගම්පොල දුරකථන වෙළෙඳ සලකට ගොස් රුපියල් 5000 සක් දී එය මාරු කරන ලෙස ඉල්ලා ඇති අතර එය අතට ගත් වෙළඳසල් හිමිකරු ඔවුන් දෙස බලා සිටියදීම වෙළෙඳසලේ තිබූ රුපියල් හැත්තෑ දහසක් රැගෙන ඔවුන් ගිය බව එම හිමිකරු වූ මොහොමඩ් අල්තාබ් පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඒ වෙලාවේ තමා අන්දමන්දව සිටි බව ද සඳහන් කර තිබේ. එසේම ගම්පොළ නගරයේ බුලත් කඩයකට ගොස් ඇති මොවුන් ඒ ආකාරයෙන්ම රුපියල් 5000ක් පෙන්වා රුපියල් තිස් දහසක් රැගෙන ගොස් ඇති බවට සිවා යන අය පැමිණිලි කර ඇත. මෙවැනි ම ආකරයේ තවත් පැමිණිලි ද ලැබී ඇත. වෑන් රථයකින් මෙසේ මුදල් වංචාකිරීමක් ගැන පැමිණිලි ලැබුණු පසු පේරාදෙණිය පොලිසිය ගෙලිඔය නගරයට පැමිණ සීසීටීවී කැමරා පරික්ෂා කිරීමේදී මෙම පකිස්ථාන ජාතිකයන් හා ඔවුන්ගේ මෝටර් රථය හඳුනාගෙන ඇති අතර එහි අංකය අනුව මීගමුව කොච්චිකඩේ අයිතිකරු ද සොයාගෙන ඇත.
ඒ අනුව මීගමුවට ගොස් ඇති පොලිසිය මෝටර් රථයේ හිමිකරුගෙන් එහි ජී.පී.එස් ඇති බව දැන එය පරික්ෂා කිරීමේදී එම මෝටර් රථය මාතර ප්‍රදේශයට යන බව දැක එය ලුහුබැඳ ගොස් මෙසේ තිහගොඩ ප්‍රදේශයේදී එය අල්ලා ගෙන තිබේ.
ගම්පොළ -සුරංග දිල්හාන්
Saru FM Media