අධි රුධිර පීඩනය වළක්වා ගන්න, මේ ස්වභාවික උපදෙස් පිළිපදින්න

0
11


අධික රුධිර පීඩනයක් පැවතීම නැතිනම් ගොඩක් දෙනෙක් කියන විදියට බ්ලඩ් ප්‍රෙෂර් වැඩිවීම නැතිනම් පොදුවේ භාවිතා වෙන විදියට ප්‍රෙෂර් හැදෙන එක කියන්නේ සෙල්ලම් කළ යුතු තත්ත්වයක් නෙවෙයි කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. විශේෂයෙන්ම මෙහෙම බ්ලඩ් ප්‍රෙෂර් වැඩිවෙනකොට රුධිර නාලිකා වලට හානි වීම, ඒවා සිහින් වීම, පිපිරීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ඉහළ රුධිර පීඩනය නිසා මොළේට යන ධමනි වල රුධිර කැටි ඇති වෙලා, ඒවායින් රුධිරය ගැලීම අවහිර වෙලා ආඝාත තත්ත්ව පවා ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව අධික රුධිර පීඩනය ශරීරයේ වෙනත් අවයවයන්ට පවා බලපාන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් තේරෙනවනේ බරපතලකම?

 

හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. අධික රුධිර පීඩනය ඇතිවෙනකොට, එහෙම නැතිනම් ඇතිවෙන්න කලින්ම වළක්වා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ බේත් හේත් පාවිච්චි නොකර ස්වභාවික ක්‍රම වලින් සහ තමන්ගේ ජීවන රටාවේ, ජීවන පුරුදු වල වෙනස් වීම් ඔස්සේත් අධි රුධිර පීඩනය වළක්වා ගන්න පුළුවන්. ආන්න ඒක කොහොමද කරන්නේ, මොනවද අපි අධි රුධිර පීඩනයෙන් බේරෙන්න ඇති කරගන්න ඕන, වෙනස් කරගන්න ඕන ජීවන පුරුදු කියන එක තමයි මේ ආටිකල් එකෙන් සරලව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ.

 

1. වෛද්‍ය පරීක්ෂාවන් කාලයෙන් කාලයට

නිරන්තරයෙන්ම වෛද්‍යවරයාව මුණගැහෙන්න, වෛද්‍ය පරීක්ෂාවන් කාලයෙන් කාලයට කරගන්න කියන්නේ මෙන්න මේ අධි රුධිර පීඩනය වගේ ගැටළු අපි නොදැනුවත්වම අපේ ඇඟේ හැංගිලා තියෙන්න පුළුවන් නිසායි. අපි සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් මුණගැහෙන්න යන්නේ මොකක් හරි දැනෙන සෞඛ්‍ය ගැටළුවක් ආවහම විතරයිනේ. හැබැයි අපේ සෞඛ්‍ය ගැටළුව ඇඟේ හැංගිලා තිබිලා එලියට එන්නේ සීරියස් තත්වයට ආවහම වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා පවුලේ වෛද්‍යවරයෙක් -ඒ කියන්නේ තමන් නිතරම යන එක වෛද්‍යවරයෙක්- තබා ගැනීම සහ නිරන්තරයෙන් ඒ වෛද්‍යවරයාව මුණගැහිලා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්න එක වැදගත්. 

 

2. බර අඩු කරගමු

මේක ඉතින් හැමදාමත් මන්තරේ වගේ අපිට වෛද්‍යවරු කියන දෙයක්නේ. තරබාරු කම නැතිනම් අධික ස්ථුල බව අනිවාර්යයෙන්ම අධික රුධිර පීඩනයට සහ තවත් බොහෝමයක් ලෙඩ රෝග වලට නොවරදින ටිකට් එකක්. ඒ වගේම අනික් අතට, අධික ස්ථුලත්වයෙන් යුක්ත කෙනෙක්ට බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා නම්, වහාම ඇඟ අඩු කරගන්න එකෙන් බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරගන්නත් පුළුවන්. බර අඩු කරගන්න ගමන්ම තමන්ගේ ඉණ කොයි තරම් ප්‍රමාණයක්ද කියන එකත් නිරීක්ෂණය කරන්න කියලා දොස්තරවරු කියනවා. සාමාන්‍යයෙන් ගත්තහම ඉණ අඟල් 40 ට වැඩියි නම්, ඒ කියන්නේ ඔබ ඉන්නේ අවදානම් කලාපයේ කියන එක මතක තියාගන්න කියලා තමයි කියන්නේ. දැන් බර අඩු කරගන්න ව්‍යායාම කිරීම සහ ඩයට් කිරීම කියන දෙකම කරන්න පුළුවන්. ඒක අපි ඊලඟට කතා කරමු.

 

3. නිරන්තරයෙන්ම ව්‍යායාම කරමු

මේ කියන්නේ හැබැයි අර මිස්ටර් බීන් වගේ උදේට නැගිටලා බිත්තියට තුන් හතර පාරක් හේත්තු වෙලා එක්සයිස් කළා කියලා හිත හදාගන්න එක නෙවෙයි. අඩුම ගාණේ දවසකට විනාඩි තිහකට වැඩියෙන්, තමන්ගේ ඇඟට දැනෙන විදියට හොඳ ව්‍යායාම කිරීමක් සිදුකිරීම. මේක ඕන නම් ජිම් එකට ගිහින් කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම ශරීරයේ බර අඩු කරගන්න ගමන්, ශරීරයට ව්‍යායාමත් ලබාදෙන ගමන්, ශරීරය හැඩ කරගන්නත් ඕන නම් ඒක හොඳ ක්‍රමයක්. හැබැයි වෙනත් ඕනම දෙයක් වුනත් කරන්න පුළුවන්. ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වගේ ඕනම ක්‍රියාකාරකමක් මේකට ඇතුළත්. ඇත්තටම එක තැනම වාඩි වෙලා ඉන්න අයට ශරීරය චලනය වෙන, ශරීරය වෙහෙස වෙන ක්‍රියාකාරකම් පටන් ගන්න එකෙන් තියෙන බ්ලඩ් ප්‍රෙෂර් වුනත් අඩු කරගන්න පුළුවන්.

 

4. සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇතිකරගමු

බර අඩු කරගන්නත්, ඒ වගේම බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරගන්නත් මේ පියවරත් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ආහාරයට පූර්ණ ධාන්‍ය, පළතුරු, එළවලු සහ අඩු මේද කිරි නිෂ්පාදන පාවිච්චි කිරීම තමයි. විශේෂයෙන්ම ඔය කොලෙස්ටරෝල් එහෙම ඇතිවෙන්න දායක වෙන අනවශ්‍ය මේද, තෙල් එහෙම ගහණ ආහාර භාවිතයෙන් අඩු කිරීම ඇඟට වගේම බ්ලඩ් ප්‍රෙෂර් වලටත් හිතකරයි.

 

මේකට හොඳ ක්‍රමයක් තමන්ගේ ආහාර දිනපොතක් පවත්වා ගැනීම. ඒ කියන්නේ තමන් කන දේවල් ලියන එක. ඊට පස්සේ තමන් සතියක්, මාසයක් ආහාර ගත්තු දේවල් නිරීක්ෂණය කරලා, තවත් ආහාර වේල සෞඛ්‍ය සම්පන්න කර ගන්න පුළුවන් නම් ඒ අදාළ දේවල් එකතු කර ගැනීම සහ අනවශ්‍ය දේවල් අයින් කරන එක.

 

විශේෂයෙන්ම කෑම අමුද්‍රව්‍ය ගන්න මාකට් යනකොට වුනත්, ලේබල් එහෙම බලලා බඩු ගන්න එක තමයි හොඳ.

 

5. සෝඩියම් අඩුවෙන් ආහාරයට ගමු

එක්ස්පර්ට්ලා විශේෂයෙන්ම කියන දෙයක් තමයි තමන්ගේ කෑම වේලේ තියෙන සෝඩියම් ප්‍රමාණය අඩු කරන එක බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරගන්න අතිශයින්ම හිතකරයි කියන එක. මේකට කරන්න පුළුවන් දෙයක් තමයි උඩිනුත් කියපු විදියට බඩු ගන්නකොට ලේබල් කියවන එක. පුළුවන් තරම් අඩුවෙන් ලුණු ආහාරයට ගන්න එක. ඒ වගේම ප්‍රොසෙස්ඩ් ෆුඩ් ආහාරයට ගන්න එක සීමා කිරීම. මේක එක පාරින්ම කරන්න අමාරු වෙයි. හොඳම දේ තමයි ක්‍රමයෙන් සෝඩියම් අඩු කරන එක.

 

6. ඇල්කොහොල් සීමා කරමු, දුම්පානයෙන් වැළකෙමු

මේක නම් ඉතින් සෞඛ්‍යය සම්බන්ධයෙන් කතා කරනකොට අනිවාර්යයෙන්ම දොස්තරවරු කියන දෙයක්නේ. ඇල්කොහොල් අසීමාන්තිකව ගන්නවා කියන්නේම ගොඩක් සෞඛ්‍ය ප්‍රශ්න වලට අත වැනීමක්. ඒ නිසා දිනපතා බොන එක, හැම සති අන්තෙකම වැටෙන්න ගහන එක නවත්තන්න වෙනවා. ඉඳලා හිටලා ගන්න ඩ්‍රින්ක් එකක් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සිගරට් නම් ඊටත් වඩා භයානකයි කියලයි කියන්නේ. බොන හැම සිගරට් එකක්ම බ්ලඩ් ප්‍රෙෂර් වැඩි කරන්න දායක වෙනවා. ඒ නිසා ඔබත් දුම්බීමට ඇබ්බැහි වුණු කෙනෙක් නම්, වහාම දුම්බීම නවත්තන එක ඇඟට ගුණයි. 

 

7. කැෆේන් අඩු කරමු

මේක ටිකක් විවාදාත්මක කරණාවක්. සමහරු කියනවා සමහර වෙලාවට කලාතුරකින් කැෆේන් ගන්න අයගේත් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන් කියලා. තවත් සමහරු කියනවා කැෆේන් නිසා ෂුවර් එකටම බ්ලඩ් ප්‍රෙෂර් වැඩිවෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා කෝපි බොන එක සම්පූර්ණයෙන්ම අතඅරින්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඒත් ඔය වැඩ කරනකොට එහෙම එක දිගට කෝපි බොන පුරුද්ද අඩු කරගන්න පුළුවන් තරමට හොඳයි. දවසකට කෝපි කෝප්ප කොහොමත් තුනකට වඩා බොන්න එපා කියනවනේ. ඒ ප්‍රමාණය තවත් අඩු කරගත්තට කමක් නෑ.

 

ඒ වගේම අපිට අනිවාර්යයෙන්ම අත්හිටවන්න පුළුවන් දෙයක් තමයි කැෆේන් අඩංගු සැකසූ පානයන්. ඒ කියන්නේ ඔය සමහරු මහන්සි වුනහම හිටු කියලා ගහන ශක්තිජනක පානයන් එහෙම. එව්වල සෑහෙන්න කැෆේන් අඩංගුයි. අන්න ඒ නිසා ඒවා අඩු කරන එක කොහොමත් සෞඛ්‍යයට හිතකරයි.

 

8. ස්ට්‍රෙස් එක අඩු කරගමු

Image Source – healthydiningfinder.com

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දිගින් දිගටම තියෙන මානසික ආතතිය, මානසික පීඩාවන් කියන්නේ අනිවාර්යයෙන්ම අධික රුධිර පීඩනයට අත වනන දේවල්. හැබැයි ඉතින් ස්ට්‍රෙස් එක හැදෙන වෘත්තිය ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න වලින් අපිට බේරෙන්නත් බැහැ. හොඳම දේ තමයි ඒවා හරියට කළමනාකරණය කරගන්න එක. උදාහරණයක් විදියට කිවුවොත්, දවස හරියට සැලසුම් කරලා, කරන්න පුළුවන් වැඩ ටික විතරක් කළොත්, දවස ස්ට්‍රෙස් නැතුව ගත කරන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔය ප්‍රශ්න ගැටළු ඇතිවෙනකොට වුනත් ඒවලට තනියෙන් උත්තර හොයන්න ගිහින් ස්ට්‍රෙස් වෙනවට වඩා, උදවු උපකාර ගන්න එක වටිනවා.

 

මේ හැම දෙයක්ම කරන්න අමාරුයි වගේ හිතෙනවා නම් හොඳට මතක තියාගන්න. මොන දේ කරන්නත් ජිවත් වෙලා ඉන්න ඕන!

 

The post අධි රුධිර පීඩනය වළක්වා ගන්න, මේ ස්වභාවික උපදෙස් පිළිපදින්න appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here