අධික සුළං මැද මිහින්තලය පුදබිමේ – බෝ ගසක් කඩා වැටී වන්දනා නඩයක අයෙක් මරුට

0
1

අවුරුදු 9ක දරුවකුගේ ජීවිතය බේරෙයි
අනතුරක් විය හැකි බවට පුරාවිද්‍යා බලධාරීන් දැනුවත් කළත් බරපතළ සිද්ධියක් වනතුරුම පියවරක් ගත්තේ නැහැ
මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි පරිවාර බෝධීන්වහන්සේ නමක් ඊයේ (27දා) දහවල් මුලින්ම කඩාවැටීම හේතුවෙන් වන්දනාවේ පැමිණි බැතිමතකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව කුඩා දැරියක සීරීම් තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පැවැසීය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊතනවත්ත, දෙමළුව, වාරියපොළ ලිපිනයේ පදිංචිව සිටි, අසංක බණ්ඩාර හේරත් නමැති 45 හැවිරදි ව්‍යාපාරිකයෙකි.

ඊයේ (27දා) දහවල් 1.30 ට පමණ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි එම ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ ඥාතීන් නවදෙනකු ඓතිහාසික මිහින්තලය වැඳ පුදා ගැනීම සඳහා පැමිණ මිහින්තලා මහ සෑය වන්දනා කිරීම සඳහා පියගැටපෙළට නැගීමට සූදානම්ව බෝධිය අසලින් ගමන් කිරීමේදී අනතුර සිදුවී තිබේ.

මෙම හදිසි අනතුර හේතුවෙන් බෝධීන් වහන්සේ මුල ප්‍රදේශයෙන් ඉදිරී ගොස් බෝධිය හරි මැදින් කොටස් දෙකකට වෙන් වී දිසාවන් දෙකක විශාල ප්‍රදේශයක් පුරා පතිත වී තිබේ.

විශාල ශබ්දයක් නඟමින් එම බෝධිය දෙකට වෙන්වන අවස්ථාවේදී ඒ අසල සිටි වයස අවුරුදු නවයක පමණ දැරියක් බේරා ගැනීමට මිහින්තලා රජමහා විහාරස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරියකු කටයුතු කර ඇත.

මෙම අනතුරින් කඩාවැටුණු බෝධියේ අත්තකට යටවී සිරවී සිටි එම ව්‍යාපාරික මහතා දැඩි පරිශ්‍රමයක් දරා අවට සිටි පිරිස විසින් බේරාගෙන මිහින්තලේ රජයේ රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය සඳහන් කළේය.

මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

අටදෙනකුගෙන් සමන්විත වන්දනා නඩයක් ඊයේ (27දා) දවල් 1.30 ට පමණ සේල චෛත්‍යය වන්දනා කිරීමට එහි ගිය අවස්ථාවේ පැවැති අධික සුළං සමග එම බෝගස කඩාවැටී ඇති බව මිහින්තල් රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවැසූහ.

කඩාවැටුණු එම බෝගස ඉවත් කර දෙන ලෙස තමන්වහන්සේ පුරාවිද්‍යා බලධාරීන්ට කලක සිට දැනුවත් කොට ඉල්ලීම් කළත් මෙවැනි බරපතළ සිද්ධියක් වනතුරුම කිසිදු පියවරක් නොගත් බව ද කියා සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත. මියගිය අයගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (27දා) පස්වරුවේ අනුරාධපුර ශීක්‍ෂණ රෝහලේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.

පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතු, එප්පාවල – තිසර සමල්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here