සාමාන්‍ය කාල වල දී වඩා උෂ්ණාධික කාලයේ දී ඔබ ඔබේ සම හොඳින් රැක බලා ගත යුතුයි. අධික රස්නය, පරිසර දූෂණය,නිතර දහඩිය දැමීම වැනි කාරණා නිසා ඔබේ සම සාමාන්‍ය ලෙස තබා ගැනීම සිතන තරම් පහසු කටයුත්තක් වෙන එකක් නැහැ. නමුත් ඔබ ඔබේ සමේ තත්ත්වය හඳුනාගෙන එයට හොඳින් සත්කාර කරනවා නම් අධික රස්නය නිසා ඔබේ සමට ඇති විය හැකි හානි බොහොමයක් වලක්වා ගන්න ඔබට පුළුවන්.
කුමන කාලයකදී වුණත්, මුහුණේ සම හොඳින් පිරිසිදු කිරීම ඔබ අනුගමනය කළ යුතු මූලිකම සම ආරක්ෂණ ක්‍රමයයි. රස්නය අධික කාලවල් වලදී මුහුණට නිතරම දහඩිය දැමීම නිසා , දුහුවිලි එකතුවීම , සම තෙල් සහිත වීම , සමේ සිදුරු අවහිර වීම නිසා කුරුලෑ හටගැනීම වැනි තත්වයන් ඇතිවන්නට පුළුවන්. එම නිසා තෙල් සහිත සමකට සුදුසු , සම ඉතා හොඳින් පිරිසිදු කරන ෆේස් වොශ් වර්ගයක් තෝරා ගැනීම ඔබ කළ යුතුයි
විශේෂයෙන්ම උෂ්ණාධික කාලයේ දී මෙය ඔබ අමතක නොකළ යුතුම කාරණාවක්.ඔබේ මුහුණ , අත් සහ පාද ඇතුළු හිරු එළියට නිරාවරණය වන සම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යම කාරණාවක්. අධික පාරජම්බුල කිරණ ඔබේ සමට දැඩි ලෙස හානි පමුණුවන්නට පුළුවන්. සමේ රැලි ඇතිවීම , සම පිළිස්සීම , සම මත කැළැල් හටගැනීම , සම වියපත් වීම ඉක්මන් කරවීම වැනි තත්ත්වයන් ඇති විය හැකි නිසා ඔබ පිටතට යාමේදී ඉතා හොඳ sunscreen එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා
කුමන තත්ත්වයක දී වුණත් අපේ සම සඳහා බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් පෝෂණය සහ සත්කාර අවශ්‍ය වෙනවා. අධික උෂ්ණය සහිත කාල වලදී ඔබට කළ හැකි තවත් එක විශේෂ දෙයක් නම් ඉතා හොඳින් වතුර පානය කිරීමයි. ඊට අමතරව තැඹිලි , පිපිඤ්ඤා යුෂ , පොල් වතුර , පළතුරු යුෂ වුවත් පානය කරන්න ඔබට පුළුවන්. ඒවා ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමට , ඔබේ ශරීරයෙන් විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීමට වගේම රස්නය අධික කාලයේදී ප්‍රබෝධමත් වීමටත් වැදගත් වෙනවා.
උෂ්ණාධික කාලයකදී වුණත් ඔබේ නීරෝගීව සහ පැහැපත්ව පවත්වාගෙන යා හැකි ඉතා හොඳ ක්‍රමයක් තමයි ඔබේ ආහාර වේලට නැවුම් එළවළු සහ පලතුරු එකතු කර ගැනීම. විශේෂයෙන්ම ඒවායේ අත්‍යවශ්‍ය විටමින්, පෝෂ්‍ය පදාර්ථ, ඔමේගා-3 මේද අම්ල සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා එමඟින් ශරීරයේ කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම, දැවිල්ල අඩු කිරීම සහ ඔබේ සම හිරුගේ හානිකර බලපෑම් වලින් ආරක්ෂා කිරීම වැනි කාර්යයන් සිදු කරයි.ඒ නිසා දෛනික ආහාර වේලට නැවුම්ව එළවළු සහ පලතුරු එකතු කර ගැනීම වැදගත්.
බොහෝ දෙනා අවධානය යොමු නොකරන කරුණක් වුවත් අවධානය යොමු කළ යුතුම කරුණක් තමයි මේ. ඔබට ජීවත් වීම සඳහා හුස්ම ගැනීම අත්‍යවශ්‍ය වනවා සේම ඔබේ සමටත් හොඳ පැවැත්මක් සඳහා හුස්ම ගැනීමට අවශ්‍යයි.ඒ නිසා රස්නය අධික කාල වලදී ඔබ මේකප් භාවිතා කිරීමේ දී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. සැහැල්ලු මේකප් වර්ග භාවිතා කිරීම , හැකි නම් පවුඩර් වර්ගයක් පමණක් භාවිතා කිරීම කල හැකි නම් නුවණට හුරුයි
රස්නය අධික කාලවලදී ඔබේ සම මත දහදිය, කුණු , දුහුවිලි තැන්පත් වීම වෙනත් කාල වලට වඩා වැඩිපුර සිදුවෙනවා. එමගින් සම දුර්වර්ණ වීම , රැලි ඇතිවීම , කුරුලෑ හට හටගැනීම වැනි අහිතකර ප්‍රතිඵල ඇතිවන්නට පුළුවන්. ඒ නිසා සමේ මැරුණු සෛල ඉවත් කිරීම පිළිබඳව ඔබ සැලකිලිමත් වන්නට ඕනේ. ඒ සඳහා මෘදු ස්ක්‍රබ් වර්ගයක් භාවිතා කිරීමත් වැදගත්. කෝපි , සීනි , නැවුම් කිරි , මී පැණි , සුදු හඳුන් , වෙනිවැල් කුඩු වැනි අමුද්‍රව්‍ය වලින් සුදුසු ස්ක්‍රබ් වර්ගයක් සකස් කරගන්න ඔබට පුළුවන්
ඔබේ ඇස් වටා ඇති සම අනෙක් ප්‍රදේශයන් වල සමට වඩා ඉතාම සියුම්.ඒ වගේම මුහුණට භාවිතා කරන නිෂ්පාදනයන් හෝ සත්කාර හැම එකක්ම ඇස් වටා ප්‍රදේශයට භාවිතා කිරීම සුදුසු නැහැ. ඒ නිසා ඔබ පිටතට යන සෑම අවස්ථාවකදීම අව් කණ්ණාඩි පළඳින්න අමතක කරන්න එපා. මෙය ඔබේ ඇස් වටා ඇති සියුම් සම ආරක්ෂා කර ගැනීමට භාවිතා කළ හැකි හොඳම උපක්‍රමයක්
මේ ලිපියෙන් ඔබට කිව්වේ අධික රස්නය සහිත කාලවලදී ඔබේ සම රැක ගන්න ඔබට භාවිතා කරන්න පුලුවන් ක්‍රම ගැනයි. මේ ක්‍රම මඟින් සම අධික ලෙස හානියට පත්විය හැකි උශ්ණාධික කාලයකදී වුණත් නීරෝගීව සහ පැහැපත්ව පවත්වාගෙන යන්න ඔබට පුළුවන්.
Saru FM Media