අධිකව දහඩිය දැමීම ඔබටත් ගැටලුවක්ද?

0
10


“පුදුම රස්නයක් අම්මපා තියෙන්නෙ”

කේතකී ඔෆිස් එකට ආවෙම එහෙම කියාගෙන.

එහෙම මහ ලොකු රස්නයක් නොදැනුන  මන්ධාරා කේතකී දිහා බැලුවෙ හිතාගන්න බැරුව වගේ.

“ඔයාගේ පිට තෙමිලා දාඩියෙන්”

“ඔව් අනේ මට පොඩ්ඩක් ඇත්තන් මහ ගොඩක් දාඩිය දානවනේ”

“ඕනවට වඩා දාඩිය දාන එක ලොකු ප්‍රශ්නයක්ද?” කියාගෙන මේ කතාවට සම්බන්ධ වුණේ එහා මේසෙ වාඩිවෙලා උන්නු උත්තරා.

ඇත්තටම “ඕනවට වඩා දාඩිය දාන එක ඔයාටත් ප්‍රශ්නයක්ද?”

එහෙනම් ඔයා මේ ලිපිය අනිවාර්‍යෙන්ම කියවන්න ඕන.

අධික හෝ පාලනය කළ නොහැකි දහඩිය දැමීම, හයිපර්හයිඩ්‍රොසිස් කියල හඳුන්වනවා. කරදරයක් නම් තමයි ඒත් මේක හරිම සුලබ ප්‍රශ්නයක්.

“සෑම ඔස්ට්‍රේලියානුවන් 100 දෙනෙකුගෙන් 3 දෙනෙකුටම අධික ලෙස දහඩිය දැමීම සිදු වේ, එයින් අදහස් කරන්නේ ඔවුන් උණුසුම් නොවන විට හෝ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙන විට පවා පැහැදිලි හේතුවක් නොමැතිව අධික ලෙස දහඩිය දමන බවයි” කියලා මේ ගැන පර්‍යේෂන කරපු පර්‍යේෂකයන් පහදලා දීල තියෙනව.

මේ අධික ලෙස දහඩිය දැමීම අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.

ප්‍රාථමික හයිපර්හයිඩ්‍රොසිස්: ශරීරයේ ඇතැම් ප්‍රදේශවල, සාමාන්‍යයෙන් කිහිලි, අත්, පාද හෝ මුහුණෙහි කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව අධික ලෙස දහඩිය දැමීම.

ද්විතියික හයිපර්හයිඩ්‍රොසිස්: රෝගී තත්ත්වයක් නිසා මුළු ශරීරයටම බලපාන අධික දහඩිය දැමීම.

ඔබේ ශරීරය අධික ලෙස රත් වූ විට, ඔබ එහා මෙහා යන විට, ඔබට චිත්තවේගීය බවක් දැනෙන විට, හෝ හෝමෝනවල ප්‍රතිඵලයක් ලෙස, ස්නායු දහඩිය ග්‍රන්ථි සක්‍රීය කරනවා. එම ස්නායු අධි ප්‍රතික්‍රියා කරන විට එය හයිපර්හයිඩ්‍රොසිස් ඇති කරනවා.

“මට එපාම වෙන්නෙ මේ ඇඳුම් නිකන් තෙත්වෙලා වගේ තියෙන එක. මටම අප්පිරියයි මාව”

සාමාන්‍ය ප්‍රමාණයට වඩා දාඩිය දාන කෙනෙක්ට නම් මේ ප්‍රශ්නෙ හරිම හුරුපුරුදු ඇති.

ඇඳුම් තෙත්වෙන එක ඇරුණම මේ ඕනවට වඩා දාඩිය දාන එක නිසා, පොත්පත්වල ලියන්න තියෙන අපහසුතා, කකුල්වලින් සහ සපත්තු වලින් දුර්ගන්ධයක් ඒම, දිලීර ආසාදන ඇතිවීම වගේ දේවලුත් ගැටලු සහගත තත්ත්වයන් වෙනවා.

අපි කලින් උඩින් කිව්වා වගේ මේ අධික ලෙස දාඩිය දැමීම කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන් නේ. එකෙන් දෙවනි කොටසෙ කිව්ව වගේ වෙන ලෙඩක අතුරු ප්‍රතිඵලයක් විදියට අධික දාඩිය දැමීම තියෙනවනම් සනීප කරන්න පුලුවන් වුණත් පළවෙනි කොටසෙ නම් ඔයා ඉන්නේ නිට්ටාවටම සුව කරන්න බැරි වුණත් පාලනය කරන්න අපිට දේවල් කරගන්න පුලුවන් බව තමයි වෛද්‍ය ලිපිවල සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥවරුන්ගේ සංගමය මගින් මේ ගැන විස්තර කරලා තියෙන්නෙ මෙන්න මෙහෙම.

ආලේපන වර්ග

අත්වලින්, යටිපතුල්වලින් හා කිහිලිවලින් අධික දහඩිය දමන පුද්ගලයින්ට එකී ස්තානවල ආලේප කිරීම සඳහා භාවිතා කරන්න පුලුවන් ආලේපන වර්ග තිබෙන බව ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥවරුන්ගේ සංගමය පළ කර ලිපියක සඳහන් කරලා තියෙනවා.  

හැබයි මේ ආලේපන වර්ග භාවිතයෙන් සම රතු පැහැ වීම සහ දැවිල්ල ඇති වීම වගේ අතුරු ආබාධ එන්න පුලුවන් බවත් එහි සඳහන්.

අයන්ටොපොරෙසිස්

මේ ක්‍රමය ඔස්සේ ප්‍රතිකාර කරනවා අත්, යටිපතුල් සහ කිහිලි වලට අධිකව දාඩිය දැමීමේ ගැටලු තියෙන රෝගින්ට.

අත් සහ කකුල් වතුරෙ ගිල්වලා, ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් සම තුළින් ගමන් කරවීමෙන් තමයි මේ ක්‍රමයෙන් අධිකව දහඩිය දැමීමට ප්‍රතිකාර කරන්නේ.

බොටුලිනම් එන්නත්

අත්ල සහ කිහිලිවලට අධිකව දාඩිය දැමීමේ ගැටලුව තියන පුද්ගලයන්ට තමයි මේ ක්‍රමය ඔස්සේ ප්‍රතිකාර කරන්නේ.

හැබැයි ඉතින් මේ ක්‍රමය දීර්ඝකාලීන විසඳුමක් නොවන බවත්, මාස හයෙන් හයට නැවතත් එන්නත් ලබා ගන්න ඕන කියලා ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥවරුන්ගේ සංගමය මගින් ඉදිරිපත් කරපු ලිපියක සඳහන් කරලා තියෙනවා.

මේ ක්‍රමවලට අමතරව ශල්‍ය කර්ම සහ බෙහෙත් වර්ගත් ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥවරුන්ගේ සංගමය මගින් පැහැදිළිව ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රතිකර්ම ලබාගන්න නම් ඔබ මුලින්ම කරන්න ඕන දේ තමයි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඔබේ ගැටලුව ඉදිරිපත් කිරීම.

ඒ ඔස්සේ ඔබේ ගැටලුවට වඩාත් සුදුසුම ප්‍රතිකර්ම ක්‍රමය හොයාගන්නට ඔබට හැකියාව ලැබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here