මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වෙත අන්තර් මෝසම් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ අද (05) දිනයේද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇද හැලෙනු ඇති බවය.
අද දින සිට එළැඹෙන 15 වැනි දින දක්වා ශ්‍රී ලංකාවට සූර්යා මුදුන් වන බවත් අද දිනයේදී දහවල් 12.13ට දොඩන්දූව, රත්ගම, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්කිරිගල, රන්න, කළමැටිය සහ උස්සන්ගොඩ යන ප්‍රදේශවලට ඉර මුදුන්ව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවට උණුසුම් කාලගුණය මේ වන විටත් බලපා ඇති බවත් මධ්‍යම පළාත සහ බදුල්ල දිස්ත්‍රික්කය හැරුණු කොට දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් වර්ෂාව ඇතිවන අවස්ථාවන් හිදී තාවකාලිකව මෙම තත්ත්වය අවම වුවත් උදෑසන සහ දහවල් කාලයේදී උණුසුම් කාලගුණික තත්ත්වය බොහෝ ප්‍රදේශවලට බලපාන බව පෙන්වා දුන් ඒ මහතා මෙම තත්ත්වය නිරිත දිග මෝසම් සුළං ඇතිවන මැයි මාසයේ මුල් සතිය අවසන් වන තෙක් පවතිනු ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
Saru News













