රැවුල්, කොණ්ඩා ෆැෂන් කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ. ඊයේ තිබුණු පෝනිටේල් ෆැෂන් එක අද වෙනකොට නෑ. ඊයේ තිබුණු ක්ලීන් ෂේව් ෆැෂන් එක අද වෙනකොට ෆුල් රැවුලට මාරු වෙලා. කොහොමත් මේ කාලේ ගොඩක් කෙල්ලොත් ආසයි රැවුල වවලා ඉන්න කොල්ලන්ට. කොල්ලොත් ආසයි රැවුල වවන්න. ඒකට හේතුවක් තියෙනවා. හොඳට රැවුල වවලා ඉන්න කොල්ලෙක්ට වඩාත් පිරිමි පෙනුමක් එනවා කියලා මතයක් තියෙනවා. ඒක බොරුමත් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා දැන් කාලේ ට්‍රෙන්ඩ් එක තමයි රැවුල වවන එක.
හැබැයි මෙතන පොඩි පරහක් තියෙනවා. රැවුල කියන්නේ ඉබේ වැවෙන එකක් තමයි. හැබැයි එහෙමයි කියලා ඉබේම රැවුල වැවෙන්න දීලා හිටියට අර ෆිල්ම් වල ඉන්න රැවුල වවපු කොල්ලන්ගේ වගේ ලස්සනට රැවුල තියෙන්නේ නෑ. සමහරුන්ගේ අපිළිවෙලට වැවුණු ඉලුක් යායක් වගේ රැවුල තියෙනකොට තව එකෙක්ගේ රැවුල කම්මුල් දෙපැත්තෙන් පිම්බිලා වඳුරු පෙනුමක් එන්නේ. ආන්න ඒකට හේතුවක් තියෙනවා. රැවුල වවන එක කලාවක්. අන්න ඒ කලාව හරියට කරන්න, නිවැරදිව රැවුල වවන්න උපදෙස් කීපයක් තමයි මේ.
1. පළවෙනි මාසේ වැවෙන්න අරිමු

Source – youtube.com
දැන් කෙනෙක්ට පැන නගිනවා ප්‍රශ්නයක්. අපි කිවුවා නේද රැවුල ඔහේ වැවෙන්න ඇරලා හරියන්නෙ නැහැය කියලා. ඒකට උත්තරේ මේකයි. ස්ටයිල් එකට රැවුල හදාගන්නත් රැවුල වැවෙන්න ඕනනේ පුතාලා. ආන්න ඒ නිසා හරස් ප්‍රශ්න අහන්නෙ නැතුව මාසයක් විතර රැවුලට ඕන විදියට වැවෙන්න දෙන්නයි තියෙන්නේ. ඒ කාලෙට අහන අයට ඕන නම් කියන්න පුලුවන් කෙල්ල තරහවුණු නිසා රැවුල වවනවා කියලා!
මේ මාසේ ඇතුළතදී කතුරක්වත් රැවුලට ළං කරන්න නරකයි. එහෙම වැවෙන්න දීලා තිබ්බහම ඇත්තටම අපිටම අදහසක් එනවා අපේ රැවුල වැවෙන වේගය සහ ස්වභාවය ගැනත්. හැබැයි මතක තියාගන්න, නිදහසේ රැවුල වැවුවත් නිතරම රැවුල පිරිසිදුව තියාගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක්. ඒ ගැන අපි පසුවට කියනවා.
2. දැන් ගාණට කපමු

Source – gentlemansgazette.com
මාසයක් තිස්සේ ඝන කැලෑව වගේ රැවුල වැවුනට පස්සෙ පුලුවන් ඔන්න රැවුලේ කැටයම් කපන්න. හැබැයි මතක තියාගන්න ඕන තමන්ගේ මූණේ හැඩයට තමයි රැවුල වවන්න ඕනෑ කියන එකත්. උදාහරණයක් විදියට කිවුවොත් මූණ රවුම් නම් රැවුල ගොඩක් පහතට වැඩියෙන්, දෙපැත්තෙන් අඩුවෙන් වවන එක ලස්සනයි. අන්න ඒ වගේ තමන්ට ගැලපෙන රැවුල් ස්ටයිල් එක තෝරගන්න ඕන. දැන් යන්න බාබර් මහත්තයෙක් ගාවට. මූණට ගැලපෙන විලාසිතාවට රැවුල ට්‍රිම් කරවා ගන්න.
දැන් මෙතන ඉඳන් තමන්ගේ මූණට ගැලපෙන විදියට රැවුල හදාගන්න එක ඕන නම් තමන්ට ගෙදර ඉඳලා කරගන්නත් පුලුවන්. තමන්ට එහෙම අමාරුයි කියලා හිතෙනවා නම් සති දෙකකට විතර සැරයක් බාබර් මුණගැහිලා රැවුල හදාගන්නත් පුලුවන්!
3. පිරිසිදු කම පුරුදු වෙමු

Source – mensjournal.com
පිරිසිදුව ඉන්න කියන එක පුරුදු වෙන්න රැවුල වවන්නම ඕන නෑ. කොහොම කළත් හොඳ ශරීර සුවතාවයකින්, ශරීර සෞඛ්‍යයකින් ඉන්න පිරිසිදුකමත් බලපානවා. දැන් කොණ්ඩේ වවනකොට කොයි තරම් සාත්තු කරන්න ඕනැද. අන්න ඒ වගේ තමයි රැවුල වවනකොටත්. හොඳට හෝදන්න ඕන. කොහේ හරි ගමනක් ගිහින් ආවහම වුනත්, වැඩට ගිහින් ආවහම වුනත් හොඳට මුහුණ හෝදන ගමන් රැවුලත් හෝදන්න ඕන. මොකද කොණ්ඩේ විතරක් නෙවෙයි, රැවුලේත් ඉස් හොරි වගේ දේවල් හැදෙන්න පුලුවන්. ගොඩක්ම අපිරිසිදුවට ඉඳලා අන්තිමට රැවුලට යටින් සමේ රෝගත් හැදෙන්න පුලුවන්. අන්න ඒ නිසා දිනපතා රැවුලත්, රැවුලට යටින් තියෙන සම මතුපිටත් පිරිසිදු වෙන විදියට හොඳින් හෝදලා, තෙතමාත්තු කරලා තියාගන්න ඕන.
අවශ්‍ය නම් ෆේස් වොෂ් වගේම බියර්ඩ් වොෂ් කියලා රැවුල හෝදන්න ගාන්න වෙනම පිරිසිදුකාරක වර්ගත්, බියර්ඩ් කන්ඩිෂනර් වර්ගත් වෙළෙඳපොළේ තියෙනවා.
4. ගාණට රැවුලේ තෙල් ටිකකුත් ගාමු

Source – mensjournal.com
රැවුල වවන හාදයෝ සාමාන්‍යයෙන් නොදන්න දෙයක් තමයි බියර්ඩ් ඔයිල් කියලා රැවුල වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු තෙල් වර්ග තියෙනවා කියන එක. මේ තෙල් වලින් රැවුල සෞඛ්‍ය සම්පන්නව තියාගන්නත්, ඝනව වැවෙන්නත් උපකාරයක් සැලසෙනවා. මේ රැවුලේ ගාන තෙල් වලින් ඇත්තටම රැවුල සහ ඊට යටින් ඇති සම හොඳින් තෙතමනය සහිතව තියාගන්න උපකාරී වෙනවා. රැවුල යටින් තියෙන සම සෞඛ්‍ය සම්පන්න කරන අතරේදීම රැවුල මෘදු කරලා, පිළිවෙලට හදාගන්න උපකාරයක් වෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න රැවුලකට වගේම ස්ටයිල් එකට තියෙන රැවුලකටත් මේ රැවුලේ ගාන තෙල් ප්‍රයෝජනවත්.
තෙල් ගාන්න ඕන මෙහෙමයි. නාලා ආවට පස්සේ රැවුලේ වතුර සම්පූර්ණයෙන්ම පිසදාන්නේ නැතුව, රැවුල පොඩ්ඩක් තෙත මාත්තු කරලා, හොඳට තෙල් බිංදු කීපයක් අත්ලට දාගෙන රැවුල සහ ඊට යටින් තියෙන සම සම්බාහනය කරලා තෙල් ආලේප කරන්න ඕනෑ.
5. රැවුල ඊට පස්සේ පීරමු

Source – getty images
මෙන්න මේක වැදගත්ම කාරණයක්. අර අපි පටන් ගන්නකොටම කිවුව විදියේ අපිළිවෙලට වැවුණු ඉලුක් යායවල් වගේ රැවුල් නැතුව, ඝනව වැවුණු, මනා හැඩයක් තියෙන රැවුලක් ලබාගන්න අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි රැවුල පීරන එක. මේකට හොඳම දේ තමයි අර එක පැත්තක හීනි දැති සහ අනික් පැත්තේ ලොකු දැති තියෙන පනාවකුත්, තව බ්‍රෂ් එකකුත් ළඟ තියාගන්න එක. සාක්කුවේ දාගෙන යන්න පොඩි පනාවකුත් තිබුණට කාරි නෑ.
රැවුල පීරන්න හොඳම වෙලාව තමයි නාලා ඇවිත් රැවුලේ තෙල් ගෑවට පස්සේ. මුලින් ලොකු දැති තියෙන පැත්තෙන් රැවුල අවශ්‍ය පැත්තට පීරන්න පුලුවන්. ඉන් පස්සේ පොඩි දැති තියෙන පැත්තෙන් රැවුල තවත් පිලිවෙලට හදන්න පුලුවන්. අන්තිමට බ්‍රෂ් එකෙන් රැවුල හොඳට කීකරුව හැදෙනකල් පීරගන්න පුලුවන්.
අර සාක්කුවේ තියෙන පොඩි පනාව උපකාරී වෙන්නේ ගෙදරින් බැහැරව ඉන්න වෙලාවක රැවුල සකසාගන්න.
6. උඩු රැවුලත් අමතක නොකරමු

Source – beardstyle.net
සාමාන්‍යයෙන් රැවුල වවන හාදයන්ට වෙන අතපසු වීමක් තමයි ඝනව වැවිලා තියෙන යටි රැවුලට සාත්තු සප්පායම් කළත්, උඩු රැවුල සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන එක. හැබැයි යටි රැවුළ කොයි තරම් පිළිවෙල උනත් වැඩක් නැහැ උඩු රැවුළ ලස්සනක් නැතුව අපිළිවෙලට වැවිලා නම්. අන්න ඒ නිසා තෙල් ගානකොටත් උඩු රැවුල අමතක නොකර, ඇඟිල්ලකින් හොඳට උඩු රැවුලේත් තෙල් ආලේප කරන එක හොඳයි. ඊට පස්සේ පීරන කොටත් උඩු රැවුල තමන්ට අවශ්‍ය විදියට ලස්සනට දෙපැත්තට පීරගන්න එක හොඳයි.
ගොඩක් වෙලාවට රැවුල වවන අයට එන ගැටළුවක් තමයි උඩු රැවුලත් එක්ක කෑම කන එක සෑහෙන්න ගේමක් වීම. ඒ කියන්නේ උඩු රැවුල හොඳට වැවුනට පස්සේ කෑම එක්ක රැවුලත් හැපෙන්න ගන්නවා. මල්ලි මේවා සිරා සිද්ධි! අන්න ඒ නිසා එක්කෝ උඩු රැවුල උඩු තොලේ ගාණට ට්‍රිම් කරන්න පුලුවන්. ඒ නැතිනම් ගාණට පීරලා කීකරු කරගත්තනම් ඒ ගැටළුව නිරවුල් වෙන්නත් පුලුවන්.
7. නොකරන්න ඕන දේවල්

Source – themanual.com
උඩින් කියපු හැමදේකටම ප්‍රතිවිරුද්ධ දේ නොකර ඉන්නවා නම් ලස්සන රැවුලක් වවාගන්න පුලුවන්. ඊට අමතරවත් නොකළ යුතු දේවල් තියෙනවා.
රැවුල හෝදන්න සාමාන්‍ය සබන් පාවිච්චි නොකරන තරමට හොඳයි. විශේෂයෙන්ම රැවුල පවත්වා ගැනීම වෙනුවෙන්ම නිෂ්පාදනය වුණු බියර්ඩ් වොෂ්, බියර්ඩ් කන්ඩිෂනර්, බියර්ඩ් ෂැම්පු තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුලුවන් නම් හොඳයි. ඒ එක්කම ඇල්කොහොල් අඩංගු පිරිසිදුකාරක පාවිච්චි නොකරන්න වගබලා ගන්න ඕනෑ. ඒ කියන්නේ බොන්න ගියහම රැවුලේ හලාගන්නත් එපා කියලා තමයි.
රැවුල වවනකොට එක මොහොතකදී රැවුල යටින් සම කසන්න පටන් ගන්න පුලුවන්. අන්න එතකොට රැවුල හෝදලා, හොඳ තෙතමනයකින් යුතුව පවත්වා ගන්නවා මිසක් රැවුල කපලා දාන්න ඉක්මන් වෙන්න එපා. රැවුල පිරිසිදුව තියෙනකොට කැසීම වගේ ප්‍රශ්න නැතිවෙනවා.
දැන් තේරෙනවනේ ස්ටයිල් එකට රැවුල වවන එක ලේසි වැඩක් නෙවෙයි කියලා. නිකම් වැවෙන රැවුල නිකම්ම වැවෙන්න දීලා ඉන්න එක ස්ටයිල් එකක් නෙවෙයි. ඒ නිසා අපි කියලා දුන්න විදියට කලාවට, විලාසිතාවට රැවුල වවලා බලන්න කොහොමද ප්‍රතිචාර කියලා!
Cover Image Source – up-nature.com
The post අද කාලේ ජනප්‍රිය රැවුල් වැවීමේ විලාසිතාවට කැමති කොල්ලෙක්ට ටිප්ස් 7ක් appeared first on Lifie.LK.
Saru FM Media