
නිකුත්වූ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ජයගත් සභාවල් වලත් බහුතර බලය සම්බන්ධ ගැටලු මතුව ඇති පසුබිමක ජාතික ජන බලවේගය ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමඟ සන්ධානගත නොවන බව ටිල්වින් සිල්වා හා බිමල් රත්නායක අද දින අවධාරණය කර තිබේ.
ජාතික ජන බලවේගය විසින් ජනතාව ප්‍රතික්ෂේප කරන කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගතව පළාත් පාලන ආයතන සභා පිහිටුවීමට කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (මැයි 7) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය. එහිදී ඔහු සඳහන් කළේ ස්වාධීනව තරඟ කර ජයග්‍රහණය ලබා ඇති පිරිස් ජාතික ජන බලවේගයට එක්වීමට කැමති නම් පමණක් ඔවුන් සමඟ එක්ව සභා පිහිටුවීමට අපේක්ෂා කරන බවයි.
“ජාතික ජන බලවේගය විශාල ආයතන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න සමත්වෙලා තිබෙනවා. සමහර තැන්වල ගැටලුවක් තියෙනවා. අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට, අනෙකුත් පක්ෂ එකතුවෙලා සමහර තැන්වල ජාතික ජනබලවේගයට වඩා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි තැන් ටිකක් තියෙනවා. එතකොට තනි පක්ෂයක් ලෙස මාලිමාව විශාල ජයක් ලබාගත්තට පස්සේ, එකට ඡන්දේ ඉල්ලන්න බැරුව වෙන වෙනම ඡන්දේ ඉල්ලපු කුඩා පක්ෂ ඔක්කොම තමන්ගේ ප්‍රතිඵල එකතුකරලා කිව්වොත් අපි තමයි වැඩි කියලා අපි හිතන්නේ ඒක යථාර්තය නෙමෙයි, සාධාරණත්වය නෙමෙයි,”
යනුවෙන් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
ඔහු තවදුරටත් අදහස් දක්වමින්,
“අපි දැක්කා පසුගිය කාලේ මැතිවරණවල සමහරු අගෝස්තු මාසේ ජනාධිපතිවරණය කැඳවන්න හිටපු අය ඉන්නවා. නොවැම්බර් මාසයේ ජනාධිපති වෙන්න හිතන් අය හිටියා. මේ ප්‍රතිඵලත් එක්ක මම හිතන්නේ ඒ අයට ඒ හීනවලින් මිදෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කාටවක්වත් සභාවක බලය ගන්න පුළුවන් තත්ත්වයක් හැදිලා නැහැ. සමහර අයට එකයි හම්බෙලා තියෙන්නේ. සමහර අයට දෙකයි හම්බෙලා තියෙන්නේ. සමහර අයට තුනයි හම්බවෙලා තියෙන්නේ.”
සිල්වා මහතා ඉදිරියට කථා කරමින්,
“හැබැයි මේ එක දෙක තුන හමුබවුණ ඕකොම එකතුකරලා එක ගොඩක් හදාගෙන ඒකෙන් සභා පිහිටුවනවා කිව්වොත් එහෙම ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. නීතියෙන් බධාවක් නැති වුණාට ඒවා ජනතාව විසින් ප්‍රතික්ෂේප වුණ කණ්ඩායම්. ගණිතමය ලෙස තමයි මේ අපි දිනුව කියලා පෙන්වන්න හදන්නේ. ඒ නිසා මේක ඉතා පැහැදිලිවම දේශපාලනය පැත්තෙන් ගත්තොත් මේ මැතිවරණය ජගගෙන තියෙන්නේ මාලිමාව. ඒ නිසා අපි අනිවාර්යෙන්ම මේ සියලුම ආයතනවල, අපි ජයගත් හැම ආයතනයකම සභාව පිහිටුවලා අපි රටේ කරගෙන යන සංවර්ධනය ව්‍යාපෘති අපට කරන්න පුළුවන්කම තියෙනවා,”
යනුවෙන් අවධාරණය කළේය.
මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, සමහර තැන්වල ජන බලවේගයට 50% ක මන්ත්‍රී ධූරත් නොමැති අවස්ථා පිළිබඳව, විපක්ෂයේ සහයෝගය ලබාගැනීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව ටිල්වින් සිල්වා මහතා පැවසුවේ,
“ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂ එක්ක අපි එකතුවෙලා හවුල් ගහලා අපි සභා පිහිටුන්නේ නැහැ. ඒ අයට අත් අපි දන්නේ නැහැ එහෙම පුළුවන්ද කියලා. සමහර තැන්වල අපි දන්නවා ඔය ස්වාධීනව ඉල්ලපු බොහෝ අය ඉන්නවා. එවැනි අය උදව්වකරන්න ඉදිරිපත් වෙනවානම් අපි කැමති ඒ අයත් එක්ක වැඩකරගෙන යන්න,”
යනුවෙනි.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම අදහස් දැක්වූ බිමල් රත්නායක ඇමතිවරයා සඳහන් කළේ උතුරු පළාතේ ජාතික ජන බලවේගය දෙවැනි තැනට පත්කරමින් ප්‍රථම ස්ථානය ලබාගත් දෙමළ පක්ෂ, තමන්ගේ පක්ෂය සමඟ සන්ධානගතව බලය පිහිටුවීම සඳහා ඊයේ රාත්‍රියේ සිටම විවිධ ඇමතුම් ලබාදී ඇති බවයි. ඔවුන්ට තනිවම බලය පිහිටුවීමට අපහසු නම් ජාතික ජන බලවේගය සමඟ එක්වීමට කැමති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේගය අදූෂිත පක්ෂයක් ලෙස දූෂිත දේශපාලනඥයින් සමඟ එකතු නොවන බව බිමල් රත්නායක ඇමතිවරයාද අවධාරණය කර සිටියේය.
ටිල්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ස්ථාවරය අනුව, ජාතික ජන බලවේගය විශාල ජයග්‍රහණයක් ලබා ඇති අතර, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ සමඟ සන්ධානගත වීමෙන් වළකිනු ඇති බව පැහැදිලි වෙයි. මෙය ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වැදගත් තීරණයක් ලෙස සලකනු ලැබේ.
Saru FM Media