අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ඉක්මනින් විනාශ කිරීමට පවතින නෛතික බාධා ඉවත් කිරීමට පත් කළ කමිටුව සහ ජනපති අතර හමුවක් – Saru News | සිංහල

0
2

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම වෙනුවෙන් පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර දිසානායක අතර හමුවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාජ විශ්වාසය තහවුරු කිරීමේදී අත්අඩංගුවට පත් වන මත්ද්‍රව්‍ය තොග හැකි ඉක්මනින් විනාශ කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති, ඒ වෙනුවෙන් විධිමත් ක්‍රියාවලියක් කඩිනමින් සකස් කළ යුතු බවද අවධාරණය කළේය.

මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට නීති සංශෝධන කෙටුම්පතක් මේ වනවිටත් සකස් කරනු ලැබ ඇති අතර එම කෙටුම්පතෙහි දක්වා ඇති ප්‍රතිපාදන අනුව අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ගත වන කාලය තවදුරටත් අඩු කර ගැනීමේ හැකියාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

මෙම ක්‍රියාවලියේදී අධිකරණය, පොලිසිය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මුහුණදෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, පැමිණිලි මෙහෙයවීමේදී නීතිපති දෙපාර්තමේන්තුවට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර කරුණු පැහැදිලි කර ඇත.

ජාවාරම්කරුවන් නිදැල්ලේ සිටීමටත්, නඩු භාණ්ඩ යළි සමාජගත වීමටත් ඇති සියලු ඉඩකඩ අහුරමින් මෙම නීති සංශෝධනය ගෙන ඒමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබේ.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන අධිකරණ ක්‍රියාවලියෙහි දැනට පවතින තත්වය සහ එහිදී මතුව ඇති ගැටලු විසඳා ගැනීම සඳහා පොලිසියේ මැදිහත්වීමෙන් මේ වනවිට ගෙන ඇති පියවර පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙහිදී කරුණු පැහැදිලි කර ඇත

එමෙන්ම, මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම වෙනුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් කර තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ යෝජිත පනත් කෙටුම්පත හැකි ඉක්මනින් සංශෝධන සහිතව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද මෙහිදී එකඟතාව පළ වී ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ආර්.ආර්.ජී. ශ්‍රියන්ත අමරරත්න, නියෝජ්‍ය රජයේ රස පරීක්ෂක කේ.ඒ.ඩී.පී. කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති (මත්ද්‍රව්‍ය නාශක) අශෝක ධර්මසේන, නියෝජ්‍ය පොලිස්පති (නීති) ජාලිය සේනාරත්න, නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) කේ.ඒ.ජේ. කොඩිතුවක්කු, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here