අතට අහුවෙන හැමදේම කපලා දානවා, ඔබේ දරුවටත් මේ පුරුද්ද තියෙනවද?

0
9


වයස අවුරුදු හතරක් පමණ වෙත්ම දරුවා තමන්ට හසුවන දේ අතර ග්‍රහනය කර ගැනීමට උත්සාහ දරනවා. මේ කාලයේදි ඔවුන් තමාගේ අතට හසුවන දෙයින් කරන ඇතැම් කටයුතු දෙමව්පියන්ට රුස්සන්නේ  නැහැ. කතුරක් දුටු විට එයින් රෙද්දක් , ඇඳුමක් කිසිම ඉවක් බවක් නැතුව කපනවා. ඒ වගේම පැන්සලක් අතට අහු වුනොත් බිත්තියේ කුරුටු බලි අදිනවා. මේ වගේ සිද්ධි නිසා දරුවන්ට ඇතැම් විට බරපතල දඬුවම් පවා ලැබෙනවා. ඒත් ‍බුද්ධිමත් දෙමව්පියන් විදිහට ඔබ මේ ගැන දරුවන් සමග උරන විය යුතු නැහැ.

වයස අවුරුදු තුනක් පමණ වෙත්ම දරුවාගේ මාංශපේශි වර්ධනය වීම සමග ඔහුට වේගයෙන් දුවන්න, පඩි පෙලක් නගිනන් වගේම බයිසිකලයක් පැදීම වැනි හැකියාවන් ලැබෙනවා. දාර්ශනිකයන් පෙන්වා දෙන අන්දමට දරුවෙකුට නීරෝගී මනක් ලැබෙන්නේ ඔහුට නීරෝගී කයක් ඇත්නම් පමණයි. ඒ නිසා දරුවන්ගේ මේ ක්‍රියාකාරිත්වය ගැන දෙමව්පියන් විදිහට ඔබ පුදුම විය යුතු නැහැ.

ඒත් කතුරකින් ඔබේ වටිනා ඇඳුමක් එසේත් නැත්නම් ඇඳුමක් මැසීමට මිළට ගත් රෙද්දක් කපා දමා තිබුනොත් ඔබට ඇති වෙන තරහ සීමා මායිම් නැහැ. ඒ වුනත් ටිකක් ඉවසන්න. වයස අවුරුදු හතරක් පමණ වෙත්ම දරුවාගේ අතේ ඇගිලි ක්‍රියාකාරී වෙනවා. ඒ නිසා ඔහුට තමන්ට අවහ්‍ය විදිහට ඇඟිලි හසුරුවන්න පුලුවනි.

එහෙම නම් අපි මොකද කරන්නේ…මේ කාලයේදී  දරුවාට සෙල්ලම වෙනුවෙන් මැටි ලබා දෙන්න පුලුවනි. දැන් ඔබ මෙහෙම කියාවි. ඉස්සර නම් අපි කිරිමැටි හාරා ගෙන විවිධ රූප හැදුවා. ඒත් දැන් කිරිමැටි තියෙන තැනක් හොයා ගන්න තියෙනවායැ. කිරිමැටි නැති  බව ඇත්ත. ඒ වෙනුවට අද පදම් කරන ලද මැටි පොත් සාප්පුවලින් පහසු මිළට ගත හැකියි.

කඩදාසි කැපීමමේ කාලයේදී අතට හසුවෙන හසුවෙන දේ කැපීමේ කටයුත්තෙන් දරුවන් මුදවා ගැනීමට නම් ඔබ ඔවුන් වෙනුවෙන කපන දෑ ලබා දෙන්න. වර්ණවත් කඩදාසි, කාඩ්බෝඩ් වැනි දේ දරුවාට ලබා දුන් විට ඔවුන් යම් යම් දේ නිදහසේ කැපීමට යොමු වෙනවා.

නිවසට බඩු භාණ්ඩ මිලට ගැනීමෙන් ඉතිරි වෙන කඩදාසි ඇසුරුම් වුනත් කමක් නැහැ. හැබැයි වර්ණවත් විය යුතුයි.ඔබ දරුවාට කඩදාසිය දෙකට නවා එය නැවූ ඉර දිග කපන්න උපදෙස් දෙන්න. යම් යම් පහසු රූප රටාවන් ඇඳ එය වටා කපන්න උපදෙස් දෙන්න. පාට කඩදාසි නම් වඩා‍ හොදයි.

දරුවන්ගේ නිර්මානාත්මක සිතුවිලි අවදි වීමට නම් වර්ණවත් කඩදාසි යොදා ගැනීම වඩාත් වැදගත්.

වෘත්තයක් වැනි හැඩතලයක් එහි සීමාව වටා කැපීම නිසා දරුවාගේ ඉවසීම වගා වෙනවා. ඒ වගේම මෙම ඉර දිග කපන විට අවධානයෙන් කුටයුතු කිරීම නොදැනීම සිද්ධ වෙනවා. යම් ක්‍රියාවක් වෙනුවෙන් අවධානය නොදැක්වීම දරුවන්ගේ සාමාන්‍ය සිරිතක්. ඒ නිසා මෙවැනි නිර්මානාත්මක කටයුතු මගින් ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය රඳවා ගත හැකියි.

ඔබ කලබල විය යුතු නැහැ. නිවසේ ඇති පත්තර සඟරාවලින් සිහින්ව ඉරා ගත් කොළ දරුවාට ලබා දෙන්න. රවුමක් හෝ හතරැස් කොටුවක් තුළ මේ වර්ණවත් කඩදාසි කැබැලි අලවන්න උපදෙස් දෙන්න. කොලාජ් යනුවෙන් හැදින්වෙන මෙම කටයුත්ත නිසා දරුවා මහත් සතුටක් ලැබෙන්නේ එහි නිමාවෙන් දකින අලංකාරය නිසයි.

මේ කාලය වෙන විට දරුවාට අවශ්‍ය වන්නේ අම්මා, තාත්තා, ගුරුතුමා වැනි චරිත වෙනුවෙන් තමාට ආදේශ කර ගැනීමයි. ඒ නිසා අම්මා වගේ සාරියක් ඇඳීම , තාත්තා වගේ රැකියාවට යෑම, පංති කාමරයක ඉගැන්වීම වැනි චරිත නිරූපනය කරනු ඇත. ඒ වෙනුවෙන් අල්මාරියේ සාරි ගැනීම, වෙනත් ගෘහ උපකරණ හැසිරවීම වැනි කටයුතු වල යෙදෙන්නට පටන් ගනී.තවත් විටෙක මුහුණේ පියරු දැමීම, තොල් ආලේපන යොදා ගැනීමටත් යොමු වෙනු ඇත. එහිදී දරුවන් හිතන්නේ තමා දැන් ලොකු අයෙක් බවයි. එය දරුවාගේ මානසික සංවර්ධනයේ ප්‍රතිඵලයක්. ඒ නිසා කිසිම විටෙක එවන් කටයුතු දුටු විට ඔබ ආවේශ විය යුතු නැහැ. සමහර විට දරුවා ඔබේ වටිනා සාරියක් අරගෙන දූවිලි තවරා තිබිය හැකියි. ඒ වුනත් තවත් පැත්තකින් එයින් දරුවා ලද තෘප්තිය ඉතාම වටිනවා. මේ නිසා නිතරම දරුවාගේ සෙල්ලම්වලට අවශ්‍ය සාරි, තාත්තාගේ  කමිස ආදිය තෝරා දෙන්න. ගත යුතු සහ නොගත යුතු දේ ගැන කියා දෙන්න.

දරුවන්ට උපකරණ ලබා දෙන්නමේ අන්දමින් සෙල්ලම්වල යෙදෙන දරුවන් වෙනුවෙන් කුඩා වලං , අකුරු ලියන ලෑල්ලක්, පාට කූරු වැනි අවශ්‍ය දේ ලබා දෙන්න. එයින් දරුවා මවන විසිතුරු ළමා ලොකයෙන් ඔබටත් මහත් සතුටක් දැනෙනු ඇත.

මේ කාලයේදී දරුවන් ගැන වඩාත් අවධානයක් දැක්වීම අවශ්‍ය වන්නේ ඔවුන්ගේ කටයුතු විටෙක දැලි පිහිය අතට ගත් වඳුරාට සමාන වන බැවින්ය. නිවසේ තිබෙන අහිතකර බෙහෙත්, විවිධ ආලේපන, කැපුම් ආයුධ ඔහුට අනතුරුදායක වෙන නිසා ඒ ගැනත් අවධානයෙන් සිටින්න. දරුවන්ගේ ලෝකය ඉතාම විසිතුරුයි. ඒ විසිතුරු ලෝකයේ අනතුරක් නැතුව සැරිසැරීමට ඔවුන්ට අවසරය තිබිය යුතුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here