සැක කිසිවක් රියේ නෑ, ඒත්…. රියැදුරු බීමතින්
“වෙපන් එක ලෑස්ති කරගත්තට කමක් නැහැ’ ඔලුවට වෙඩි තියන්න එපා බං… මිනිස්සු පව්” පොලිසියේ වදන්වලට මහජන ප්‍රසාදය
ගල්කිස්ස පොලිස් වසමේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පෙරේදා (25දා) සවස පොලිසිය වෙඩි තබා නවතා පරීක්‍ෂා කොට ඇත. පොලිස් විමර්ශනයේ දී රථය තුළ සැක කටයුතු කිසිවක් තිබී නැති අතර” රියැදුරු බීමතින් සිටි බව හෙළි වී තිබේ.
පිළියන්දල ප්‍රදේශයේදී වෑන් රිය යතුරුපැදි දෙකක ගැටී ඇතත් රියැදුරු නොනවත්වා ධාවනය කරන බවට ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පිළියන්දල ස්වාරපොළ ප්‍රදේශයේ දී එය නතර කරන ලෙසට කොට්ඨාස යතුරුපැදි ඒකකයේ නිලධාරීන් දෙදෙනා වෑන් රථ රියැදුරුට අණකර ඇත. රියැදුරා එම අණ කිරීම් ද නොතකා ධාවනය කිරීමේදී පොලිස් නිලධාරීන් වෑන් රථය ලුහුබැඳ ගොස් ටයර්වලට වෙඩි තබා ඇත.
අනතුරුව පොලිස් නිලධාරීන් වෑන් රථය පිටුපස ලුහුබැඳීමේ දී රත්මලාන දුම්රියපළ අසළ වෑන් රථය නවතා සැකකාර රියැදුරා පළා යෑමට උත්සාහ කර ඇති අතර එහිදී ඔහු බිම ඇදවැටී තුවාල ලබා ඇත. පසුව පොලිසිය සැකකාර රියැදුරා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. වෑන් රථය පරීක්‍ෂා කිරීමේදී මෝදක ගුලි තුනක් තිබී හමුවී ඇතත් වෙනත් සැකකටයුතු කිසිවක් එහි තිබී නැත.
සැකකාර රියැදුරා ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි. ඔහු සංචාරක මගී ප්‍රවාහන කටයුතු සිදුකරන අයකු බවද හඳුනාගෙන ඇත. වෑන් රථයේ හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකාර රියැදුරා වෙනත් දිනවල මෙම වෑන් රථය වෙනුවට වෙනත් වාහනයක් ධාවනය කරන බවත් එම වාහනයේ දෝෂයක් තිබීම නිසා වෑන් රථය ධාවනය කර ඇති බවත් හෙළි කර ගෙන ඇත.
පොලිස් නිලධාරීන් යතුරුපැදියෙන් වෑන් රථය හඹාගෙන යද්දී එක් නිලධාරියකු “ගිනි අවිය ලෑස්ති කරගත්තට කමක් නැහැ. ඔලුවට වෙඩි තියන්න එපා බං… මිනිස්සු පව් යන්න” යනුවෙන් ප්‍රකාශ කරන අයුරු සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන දර්ශනවල ඇතුළත්ව තිබිණි.
වෑන් රථ රියැදුරු බීමත්කම සහ වාහන කීපයක් අනතුරට ලක්කිරීම නිසා පලායෑමට උත්සාහ කරන්නට ඇතැයි” පොලිසිය සඳහන් කරයි. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
චමින්ද සිල්වා, ධර්මසේන වැලිපිටිය
Saru FM Media











