අගමැති සහ ADB ජේෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා – Saru News | සිංහල

0
2

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය පිලිපීන නිල සංචාරය අතරතුර මැනිලා හි ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී විය. ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම, ව්‍යාපෘති  සමාලෝචනය සහ අනාගත සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය.

මෙම නිල සංචාරය අතරතුර අගමැති ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda හමුවිය. මෙම හමුවේදී දෙපාර්ශවය ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළහ. අගමැති පිළිගත් Masato Kanda, මෑත කාලීන ආර්ථික අර්බුද තත්වයෙන් පසු ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් අගය කළේය.

දිට්වා සුළි කුණාටු ආපදා තත්වයේදී ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් ආධාර මෙන්ම ශ්‍රී ලංකාව සමඟ ගෙන යන පුළුල් සංවර්ධන සහයෝගීතාවය පැසසුමට ලක් කළ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,  ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහයෝගයෙහි වැදගත්කම අවධාරණය කළාය.

අගමැති ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු, මධ්‍යම සහ බටහිර ආසියාව භාර උප සභාපති Yingming Yang මුණ ගැසුණු අතර එහිදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව තුළ ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කරන ලදී. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහිද අවධානය යොමු කළහ.

Sectors Department 3හි අධ්‍යක්ෂ ජනරාල් Christine Engstrom සමඟ සිදු කළ සාකච්ඡාවකදී, ආසියානු සංවර්ධන බැංකුව සහාය ලබා දෙන ක්ෂේත්‍ර වන මානව හා සමාජ සංවර්ධනය, රාජ්‍ය අංශ කළමනාකරණය සහ මූල්‍ය අංශ ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු විය.

අධ්‍යාපන අංශය සදහා සිදු කරන අනාගත ආයෝජනවලදී යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම මානව සම්පත් සංවර්ධනය සහ ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අගමැති එහිදී සඳහන් කළා ය.

මෙම සාකච්ඡාවලින් පසුව, අගමැති ASEAN ආයතන, පිලිපීන අධ්‍යාපන බලධාරීන් සහ ADB නියෝජිතයින් සහභාගී වූ අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති සංවාදයකට සහභාගී විය. කලාපීය අධ්‍යාපන පද්ධති, ප්‍රතිපත්ති සහයෝගීතාවය සහ අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධන රාමු ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාව අතරතුර, ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අධ්‍යාපන සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම, විශේෂයෙන් ප්‍රතිපත්ති හුවමාරුව සහ ආයතනික සහයෝගීතාව යන ක්ෂේත්‍රවල වැදගත්කම අගමැති අවධාරණය කළා ය. තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) අංශයේ සංවර්ධනය පිළිබඳවද  මෙහිදී අවධානය යොමු වූ අතර නැගී එන ආර්ථික ඉල්ලුමට සරිලන ලෙස කුසලතා සංවර්ධන රාමු ශක්තිමත් කිරීම පිළිබඳවද අවධානය යොමු විය.

මෙම මැනිලා නිල සංචාරය හරහා තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාම, අධ්‍යාපන පද්ධති ශක්තිමත් කිරීම සහ සියල්ල ඇතුළත් ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව, ආසියානු සංවර්ධන බැංකුව සහ කලාපීය හවුල්කරුවන් අතර ඇති හවුල් කැපවීම නැවත තහවුරු කරන ලදී.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here