අකුරේගොඩ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරුන් පිරිසක් විරෝධතා පා ගමනක

0
2

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ නීතිඥවරුන් පිරිසක් අද (16) විරෝධතා පාගමනක නිරත වී තිබුණි.

නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (15) පස්වරුවේ සිය සියලු සාමාජිකයින් කොළඹට කැඳවූ අතර එහිදී තිරණය කර ඇත්තේ දිවයිනේ සියලු නීතිඥයින් අද දිනයේදී වෘත්තිය කටයුතුවලින් ඉවත්වීමටයි.

ඒ අනුව දිවයින පුරා නීතිඥයින් අද (16) අධිකරණ කටයුතුවලින් ඉවත්ව තිබේ.

මේ හේතුවෙන් නීතිඥ සේවා ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත්ව ඇති බවද සඳහන් වෙයි.‍

මේ අතර,ඇතැම් අධිකරණ ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධය පළකර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳගේ දේහයන් ඊයේ කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබීමෙන් පසු ඊයේ පස්වරුවේම පිටිගල , ගොඩාමූණ ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ගොස් තිබේ.

මේ වනවිට දේහයන් එම නිවසේ තැන්පත් කර ඇති අතර නීතිඥවරුන් , ප්‍රදේශවාසීන් ඇතුළු පාර්ශ්ව රැසක් දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට එහි පැමිණෙමින් ඇත.

මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

තලංගම, අකුරේගොඩ යුධ හමුදා මූලස්ථානයට කිලෝමිටරයක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේ ඉකුත් සිකුරාදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වුණි.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් තිබුණි.

ඝාතනයට ලක්වූයේ 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලා යන අයයි.

වෙඩික්කරුවන් පලා ගිය බවට සැකකෙරෙන මෝටර් රථය ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී සොයාගැනීමට පොලීසිය සමත් වී තිබේ.

වෙඩික්කරුවන් හා ඝාතනයට සම්බන්ධවූවන් සොයා පොලිස් කණ්ඩායම් 12ක් යොදවා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් වෙයි.

මේ අතර, පොලීසිය දැනටමත් ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඊයේ පස්වරුවේ ප්‍රකාශ කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here