හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට මහ නාහිමියන්ට ආරාධනා

0
4

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය – 2026 පිළිබඳව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශවීය අතිපූජ්‍ය මහානායක, අනුනායක ස්වාමින් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාට ආරාධනා කිරීමට සහ උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (13) කටයුතු කළේය.

ඒ අනුව මල්වතු මහාවිහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤානරතන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන මහානායක ස්වාමීන් වහන්සේලා සහ මල්වතූ මහා විහාර පාර්ශවයේ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අභිදාන අනුනායක ස්වාමීන් වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන අනුනායක ස්වාමින් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශවයේ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්මාභිදාන අනුනායක ස්වාමින් වහන්සේ යන අනුනායක ස්වාමීන් වහන්සේලා බැහැදැක හිසතෙල්ගෑමේ රාජ්‍ය මහෝත්සවය – 2026 පිළිබඳව දැනුවත් කර ආරාධනා කරමින් අවවාද අනුශාසනා ලබාගන්නා ලදි.

මහනුවර රජ දවස අවුරුදු සිරිත් පැවැත්වීමේ වැදගත් ස්ථානයක් දළදා මාලිගයට සහ රජ මාලිගයට හිමිව තිබූ බවත්, අතීත චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරමින් වර්තමානයේ දී හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ ප්‍රධාන රාජ්‍ය උත්සවය නාථ දේවාලයේ දී පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශවීය අතිපූජ්‍ය මහානායක, අනුනායක ස්වාමින් වහන්සේලා මෙහිදී සිය ප්‍රසාදය පළ කරන ලදි.

මෙවර රාජ්‍ය හිසතෙල්ගෑමේ මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේ දී සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති අතර, මෙම රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද සංස්ථාව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සංවිධාන කෙරේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) දේශීය වෛද්‍ය යූ.එස්.කේ.දෙනාවත්ත, අතිරේක ලේකම් (සංවර්ධන) දේශීය වෛද්‍ය සමන්ති රණසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලෙස ගීතාමනී සී. කරුණාරත්න, මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස්තුමිය වන අජන්තා දිසානායක යන මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here