සැදෑ සමයට බර වැඩිවන දරුවන්ගේ දරුවෝ

0
18


අයන්ති කියන්නේ විධායක ශ්‍රේණියේ බැංකු නිලධාරිනියක්. ඇය තම කාර්යාලය තුළ ආදර්ශවත් චරිතයක් වෙන්නේ ඉතා අඩු වයසකින් විධායක ශ්‍රේණියක් කරා  උසස්වීම් අරගෙන ආව නිසාම නෙවේ. එයාගේ වෘත්තීය කැපවීම නිසා . අයන්ති බැංකුවේ සෑම ක්‍රියාකාරකමක් සඳහාම සහභාගී‍‍ වෙනවා. අනෙක් අයවත් දිරි ගන්වනවා. ඒ වගේම තමන්ගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. කවමදාකවත් සති අන්තයේ කාර්යාලයට එන්න මැළි වෙන්නේ නෑ. තමන්ගේ දරුවන්ගේ කටයුතු ඉදිරියට දාලා රාජකාරියට කරන කැපවීම අඩු කළේ නෑ. පසුගිය වසරේ අයන්ති බැංකු ක්ෂ්‍රේත්‍රයේ දක්ෂතම කාන්තාව විදිහට සම්මාන ලැබුවා. එදා සම්මාන රාත්‍රියේ අයන්ති තමන්ගේ සාර්ථකත්වය පැමිණ සිටි අමුත්තන් සමග සතුටින් ගැන කතා කළා.

“ මගේ අම්මා තමයි මට මේ හැම දේකටම උදව් කරන්නේ.. තාමත්  අපේ ගෙදර උයන්නේ අම්මා.. මගේ දරුවෝ බලන්නේ අම්මා..  අපි දෙන්නට තියන්නේ හවසට ගෙදර ගියාම දරුවෝ  එක්ක කතා කර කර ඉන්න විතරයි..  අපේ ගෙදර සේවකයෝ නැහැ.. මම සෙනසුරාදා ඉරිදා මගේ අධ්‍යාපන වැඩ වගේම සමාජ සේවා කටයුතුත් කරගන්නවා. මම ව්‍යායාම, රූප ලාවන්‍ය කටයුතුත්  කරගන්න අතරම මගේ යාළුවෝ නෑදෑයෝ හම්බවෙන්නත් අමතක කරන්නේ නෑ.. මම ඇත්තටම සමබර චරිතයක්..” 

අයන්තිගේ ආත්ම සාක්ෂාත්කරණය තුළ තියන ඇයට නොපෙනෙන පැත්ත ඔබට පෙනෙනවා ඇති. එයා  ජීවිතයේ සාර්ථකත්වයේ හිණිපෙත්තට නඟින්නේ තමන්ගේ මවගේ නිදහස කැපකරලා. ඇය කියන විදිහේ සමබර චරිතයක් අයන්ති තුළින්  අපට දක්නට ලැබෙන්නේ නැහැ. තමන්ගේ දරුවන්ගේ කටයුතු සහ අනෙකුත් ගෘහස්ථ කටයුතු සියල්ල තම මව වෙත පවරලා ඇය තමන්ගේ නිදහස ඉතා හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නවා. මෙය අප සියලුම දෙනා අවධානය යොමු කළ යුතු කාරණයක්.

දරුවන්ගේ දරුවෝ රැක බලාගැනීමට දෙමාපියන්ගේ සහාය පැතීමට සිදු වුවත් ඔවුන්  වෙත ඒ වගකීම සහමුලින්ම පැවරීමට පෙර අපි සිතා බැලිය යුතු කරුණු බොහොමයක් තියනවා.

 

 

තම දරුවන්ට දරුවෝ ලැබෙන කාලය කියන්නේ දෙමාපියන් වියපත් වුණු කාලයක්. ශාරීරික අපහසුතා වගේම වෙනත් දුර්වලතා රාශියක් මේ කාල‍යේ ඇති වෙනවා. මානසික විපර්යාස, විවිධ රෝගාබාධ සහ වියපත් වීම ආශ්‍රිතව ඇති වන විවිධ සංකූලතා හේතුවෙන් ඔවුන්ගේ කාර්යක්ෂම බව අඩු වී යනවා. සැබවින්ම මේ ඔවුන්ට විවේකය, මානසික සහනය, අවධානය සහ අසීමිත රැකවරණය ලැබිය යුතු කාලයක්. එහෙත්, ලංකාවේ බොහොමයක් දෙමාපියන්ට සිදුවන්නේ මේ කාලය තුළ තම දරුවන්ගේ දරුවන් බලමින් මේ අපහසුතා විඳ දරාගෙන ජීවත් වන්න. මෙය වදනින් නොකියවෙන සුලබ මැසිවිල්ලක්.  දරුවන්ගේ දරුවන් බැලීම ඔවුන් පිට පැටවිය යුතු වගකීමක් නොවේ. එය තෝරා ගැනීමක් විය යුතුය. කුඩා දරුවන් රැක බලාගැනීම ඉතා වෙහෙසකර කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන්ගේ කුදු මහත් සියලුම කාර්යයන් ඉටුකර ලීම වියපත් මවකට හෝ පියකුට කෙතරම් විඩාබර දෙයක්ද කියා වරක් නොව දෙවරක් සිතා බැලිය යුතුයි. මෙහි වඩාත්ම ශෝචනීය තත්ත්වය වන්නේ සතියේ දින හතම අවුරුද්දේ දින තුන්සිය හැට පහම මේ කටයුත්ත සඳහා වෙන් කරන්නට සිදු වීමයි. වෛද්‍යරයකු හමුවීමට, පෝය දිනට පන්සලකට යාමට හෝ අවම වශයෙන් තම නෑදැයෙක් බැලීමට යාමට නොහැකිව දරුවන්ගේ දරුවන් බලමින්  අත්අඩංගුවේ පසුවෙන දෙමව්පියන් බොහොමයක් අප අතර සිටිනවා. ඔබේ දරුවන් නිසා දෙමාපියන්ගේ සැදෑ සමය අවිවේකී සහ අසහනයෙන් පිරුණු එකක් වීම වැලැක්වීම ඔබ අනිවාර්යයෙන් කළ යුත්තක්.

 

 

දරුවන්ගේ කටයුතුවලදී  තම දෙමාපියන්ගේ අදහස් ඉතා වැදගත් වන්නේ ඔවුන් එහි ප්‍රායෝගික සත්‍ය දන්නා බැවිනි. එහෙත් ඒ හේතුවෙන් තම දරුවන්ගේ හදා වඩා ගැනීමේ වගකීම හෝ ඔවුන්ගේ පාලනය ඔබෙන් ගිලිහී යාම සිදු නොවිය යුතු දෙයක්. ඔවුන්ගෙන් එල්ල විය හැකි බලපෑම් පාලනය කර ගනිමින් දරුවන්ගේ රැකවරණය, ඔවුන් සම්බන්ධව තීරණ ගැනීම සහ ඔවුන්ට නිවැරදි මාවතේ යැවීමේ අයිතිය දෙමාපියන් සතු වන්නේ දරුවන්ට ඉතා සමීපතමයන් වන්නේ ඔබ දෙදෙනා බැවිනි. පවුලේ මව සහ පියා සතු වන මේ සුන්දර වගකීම සතුටින් බාර ගන්න. ඒ වෙනුවෙන් ඔබේ කාලය, ධනය, නිදහස සහ පෞද්ගලික අපේක්ෂාවන් වැය වීම කිසිසේත්ම ඔබට හානිදායක වෙන්නේ නැහැ. එය අනාගත ආයෝජනයක් .

 

 

දෙමව්පියන්ගේ දෙමාපියන් සමග හැදෙන දරුවන්ට තම දෙමව්පියන් සමග එක් පාලන ක්‍රමයකටත් සීයා සහ ආච්චි සමග සිටින විට තවත් ආකාරයේ පාලන ක්‍රමයකටත් හැඩ ගැසීමටත් සිදුවනවා. මෙවැනි නිවෙස්වල ඇති වන කුඩා දරුවන් යම් ‍ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙනවා. සමහර අවස්ථාවන්වල තම දෙමව්පියන් ඉතා තදබල ලෙස නොඉවසන කාරණා සම්බන්ධයෙන්  සීයා හෝ ආච්චි ඉතා ළිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර අවස්ථා දරුවන් අත් දකිනවා. එසේම එහි අනෙක් පැත්ත ලෙස සීයා සහ ආච්චී බලවත් ලෙස ප්‍රතික්ෂේප දේ තම දෙමව්පියන් ඉතා සමාන්‍යකරණය කොට කටයුතු කරන ආකාරය දරුවන් දකිනවා. මෙවැනි දේ නිතර නිතර නිවසේ සිදුවන විට ජීවිතයේ වටිනාකම්, සමාජ සම්ප්‍රදායන්, ආකල්ප තුළින් ජීවන අත්දැකීම් එකතු කරන දරුවාගේ මනස ඝට්ටනකාරී අවස්ථාවන්වලට මුහුණ දෙනවා. මෙය සෑම දරුවකුටම සුබවාදී ලෙස කළමනාකරණ කරගත නොහැකි බවත් අප මතක තබා ගත යුතු කරුණකි.

 

 

දෙමව්පියන් තම දරුවන්ට ඔවුන්ගේ දරුවන් හදා වඩා ගැනීම පිළිබඳ බොහෝ විට උපදෙස් ලබා දෙන්නේ  කුඩා දරුවන් ඉදිරියේදීමයි. මෙම උපදෙස්  කිසිසේත්ම  දරුවන් කෙරෙහි හෝ දරුවන්ගේ දරුවන් කෙරෙහි හෝ විවේචනාත්මක නොවිය යුතුය. එසේම ඍණාත්මක ද නොවිය යුතුය. කිසි විටකත් කුඩා දරුවන් සමඟ ආච්චී හෝ සීයා වි‍වේචනය නොකිරීමට දෙමාපියන් වගබලා ගත යුතු වනවා සේම  මුණුබුරු මිණිපිරියන්  සමඟ  ඔවුන්ගේ දෙමාපියන් විවේචනය නොකිරීමට වැඩිහිටි පරම්පරාව වග බලාගතයුතු වෙනවා. තමන් දරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න දෙමව්පියන් පැහැදිළිව සන්නිවේදනය කිරීමට සමත් වේ නම් මෙවැනි විවේචනාත්මක සිදුවීම් හා ප්‍රකාශයන් අවම කර ගැනීමට හැකියාව  ලැබෙනවා.

 

 

බොහෝ අවස්ථාවන් වල ආච්චී හෝ සීයා තම මුණුබුරු මිණිපිරියන්ගේ දඟකාරකම් බරපතල විනය විරෝධී හැසිරීම් ලෙස දකිනවා. එහෙත් ඔවුන්ගේ දෙමාපියන්ට ඒවා සුරතල් හැසිරීම් විය හැකියි. ඒවා ඒ අවස්ථාවේ ම නිවැරදි කිරීමට  වැඩිහිටි පාර්ශවයට අවශ්‍ය වුව ද එය තම දරුවාට හානි දායක විය හැකි බව දෙමාපියන් දැන සිටිය යුතුය. එම හැසිරීම් ක්‍රමයෙන් අතහැරී යන බවත් සමහර හැසිරීම් දරුවන් සිතා මතා කරන බවත් ආච්චී සහ සීයාට මේ වයසේ දී අමතක වී තිබිය හැකි බව ඔබ මතක තබා ගන්න. එවන් අවස්ථාවල ඉතා ඉවසීමෙන් දෙපාර්ශවය කෙරෙහිම කටයුතු කිරීමෙන් අනවශ්‍ය සිත් රිදවීම් වගේම අනවශ්‍ය ගැටළුත් වලක්වා ගැනීමටත් හැකි වෙනවා.

 

 

මේ තත්ත්වයකට ඉතා හොඳ උදාහරණයක් රුපවාහිනිය නැරඹීමේ ඇති වන ගැටුම් . දරුවන් කාටුන් වැඩසටහන් බැලීමට ඉතා ප්‍රිය කරන අතර වැඩිහිටි දෙමාපියන් ආගමික වැඩ සටහන් සහ ප්‍රවෘත්ති වැඩ සටහන් බැලීමට ප්‍රිය කරනවා. දරුවන් සමඟ නිවසටම කොටු වී සිටින දෙමාපියන්ට ඉතා කුඩා විවේකයක් වෙනුවෙන් රූපවාහිනිය නැරඹීම අවශ්‍ය විය හැකිය. එහෙත් දරුවන් රූපවාහිනිය තම තනි අයිතියට තබා ගෙන සිටිනවා නම්  එය ගැටුමක් දක්වා වර්ධනය වීමට ඉඩකඩ සැලසෙනවා . එවැනි අවස්ථාවක බලවත් පිළට ජයග්‍රහණය හිමි වුවත් මෙවැනි දේ නිතර නිතර සිදුවීමට ඉඩ හැරීම තුළින් සිත් රිදවීම් ඇතිවීමේ අවස්ථා නිවස තුළ නිර්මාණය වනවා. මෙවැනි ගැටළුවක මැදිවන ඔබ දෙපාර්ශවයට ‍ඇති රුචි අරුචි කම් වටහා ගෙන කටයුතු කළ යුතු වෙනවා. කිසිදු විටක එක් පාර්ශවයකගේ රුචිය නොසලකා හරින්නට එපා. දෙමව්පියන්ගේ රුචිය, විවේකය සහ විනෝදාංශ වෙනුවෙන් කාලය සලසා ‍දීමට ඔබ විශේෂ අවධානය යොමු කල යුත්තේ දරුවන් බලාකියා ගැනීමෙන් ඇතිවන මානසික හා කායික තෙහෙට්ටුවට පිළියමක් ලබා දිය යුතු බැවිනි. එවැනි අවස්ථාවක දරුවා සමඟ වෙනත් ක්‍රියාකාරකම යෙදීමට ඔබ කාලය නිදහස් කර ගැනීම හොඳ පිළියමක්.

දෙමාපිය දූ දරු සබඳතා යනු එක් පාර්ශවයක් පමණක් ප්‍රතිලාභ ලබන ගනුදෙනුවක් නොවේ. එය අනෙක් පාර්ශවය කෙරෙහි ඇති අසීමිත ආදරය, කැපවීම සහ අවබෝධය තුළින් ගලා යන ආදරණීය බැඳීමකි. දෙමව්පියන් තුළ  තම දරුවන් කෙරෙහි ඇති සෙනෙහෙස දෙගුණ වන්නේ දරුවන්ට ද දරුවන් ලැබුණු පසුය. එහෙත් ඒ සෙනෙහස හේතුවෙන්ම දරු මුණුබුරන් රැකබලාගනිමින්  වයසට ඔරොත්තු නොදෙන වගකීමක් ඔවුන්ට  දැරීමට සිදුවන්නේ නම් එය කෙතරම් සාධාරණදැයි සිතා බැලිය යුතු කරුණකි.

ලිපිය සකස් කළේ

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය, රේණුකා තෙන්නකෝන් මහත්මිය විසිනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here