පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් කැබ්රථය තුළ බීඩියක් පත්තු කිරීමේදී කැබ් රථය තුළ තිබූ පෙට්‍රල් කෑනයකට ගිනි ඇවිළීමෙන් කැබ් රථය ගිනිගැනීමේ සිද්ධියක් මොරගහහේන පොලිසියෙන් වාර්තා වේ.
පෙරේදා (18) රාත්‍රියේ මේ සිද්ධිය සිදුව ඇති අතර ගින්න මැඩ පවත්වා ඇත්තේ පොලිසිය හා සැකකරුවන් එක්ව බවද පැවසේ.
මොරගහහේන පොලිසියේ නිලධාරින් පිරිසක් පෙරේදා (18) රාත්‍රියේ ජංගම මුර සංචාර රාජකාරියේ නිරතව සිටියෙදී රිය අනතුරකට සම්බන්ධ සැකකරුවකු හොරණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට රැගෙන ගොස් ඇත.
ඒ අතරතුර මොරගහහේන කුඩාඋඩුවේ පිහිටි පිරිවෙනකට ඇතුළු වී විහාරගෙට ගල් ගසමින් සිටි සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයට නංවාගෙන තිබේ.
පසුව පොලිස් නිලධාරින් දෙදෙනකු විසින් එක් සැකකරුවෙකු අධිකරණ වෛද්‍යවරයා හමුවට රැගෙන ගොස් ඇති අතර තවත් පොලිස් නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ අනෙක් සැකකරු ජීප් රථය තුළ රඳවා තබා ඇත.
එම අවස්ථාවේදී ජීප් රථය තුළ සිටි සැකකරු විසින් බීඩියක් පත්තු කර ඇති අතර එය ජීප් රථය තුළ තබාගෙන තිබූ පෙට්‍රල් ගැලුමක තැවරී ගිනි ඇවිළී ඇතැයි පැවසේ.
මෙම පෙට්‍රල් ගැලුම ජීප් රථයේ තබා ඇත්තේ ද පොලිස් සැරයන්වරයකු විසිනි.
ඔහු විසින් සිය යතුරුපැදිය අලුත්වැඩියා කිරීමට ලබාදුන් පසු එහි තිබූ පෙට්‍රල් ගැලුමකට ඉවත් කරගෙන ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් අනාරක්ෂිත අන්දමින් පෙට්‍රල් ගැලුමක් පොලිස් ජීප් රථය තුළ තබා ගැනීම, පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකුට ජීප් රථය තුළ බීඩි පානය කිරීමට ඉඩ ලබා දීම ඇතුළු චෝදනා මත පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
Saru News
















