‘සාගර’ සහ ‘නන්දිමිත්‍ර’ විසාකාපට්නම් බලා පිටව යයි

0
12

ඉන්දීය නාවික හමුදාව විසින් 13 වැනි වරට සංවිධානය කරන ‘MILAN – 26’ හා ජාත්‍යන්තර යුද නෞකා නිරීක්‍ෂණ නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්‍ර දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍රකර ගනිමින් එළැඹෙන 18 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මේ සඳහා සාගර සහ නන්දිමිත්‍ර නෞකා ද්විත්වය ඊයේ (11) කොළඹ වරායෙන් දිවයිනෙන් පිටත්ව ගියේය.

‘සුහදත්වය, එකමුතුකම සහ සහයෝගීතාව’ යන තේමාව රැගත් MILAN – 26 බහුපාර්ශික නාවික අභ්‍යාසය සහ ‘සාගර හරහා එක්සත් වීම’ යන තේමාව රැගත් ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණය, කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන් රැසක නාවික හමුදා, වෙරළාරක්ෂක බළකා හා සමුද්‍රීය පාර්ශ්වකරුවන්ගේ යුද නෞකා, ගුවන් යානා සහ සබ්මැරීන සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. 

මෙම නාවික අභ්‍යාසය සඳහා සහභාගීවන සාගර නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් නිලංග ධර්මරත්න, ‘නන්දිමිත්‍ර’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලෝහිත ද සිල්වා යන මහත්වරු කටයුතු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here