සාක්ෂරතාවයෙන් ඉහළ රටක් දියුණුව අතින් පහළ සිටින්නේ කොහොමද? – පුෂ්පික විමුක්ති – Saru News | සිංහල

0
6

සාක්ෂරතාවයෙන් ඉහළ රටක් දියුණුව අතින් පහළ සිටින්නේ කෙසේ දැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති පුෂ්පික විමුක්ති අවධාරණය කරයි.

ඔහු මෙලෙස අවධාරණය කළේ, පසුගිය 17 වනදා මහනුවරදී පැවති අනාගතය ඔබයි – ඉගෙනගන්න – හෙට දිනන්න අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කතිකාවට සම්බන්ධ වෙමිණි.

එම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ති‍්‍රක් විධායක සභික, නුවරඑළිය මහ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක රණවන ජනරජ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත‍්‍රපති, පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමිපානෝ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, වරාය හා ගුවන්සේවා ඇමති ආචාර්ය අනුර කරුණාතිලක, ප‍්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, විදුහල්පති සේවා සංගමයේ ලේකම් සිසිර රාජපක්ෂ, සමාජ ක්‍රියාකාරිනී අනෝමා උඩුකුරුප්පු යන අයද එක් වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති පුෂ්පික විමුක්ති,

“ඔබේ ජීවිතයේ වැඩිම කාලයක් සහ මුදලක් වැය කරන්න ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. එහෙම නම්, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන සුවිශේෂී වැදගත්කම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ.

අධ්‍යාපන ක‍්‍රමයේ ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍යව තිබෙන්නේ පවතින බරපතළ ගැටලු නිසයි. විභාග මානසිකත්වයකින් යුක්ත තරගකාරී අධ්‍යාපනය ඇතුලේ දරුවන් කොතරම් පිරිසක් අධ්‍යාපනයෙන් ඉවත්වෙනවාද කියන එක අපි කාටත් පැහැදිලියි. එක වසරේ පාසලට ඇතුළත් කරන දරුවන් වසර 13ක්ම සිටින්නේ පීඩනයක් ඇතුලේ. මේ නිසා කොතරම් පිරිසක් මානසික රෝගීන් පිරිසක් වී සිටීදැයි අපි කාගෙත් අවධානය යොමු කළ යුතුයි.

යමක් කටපාඩම් කරගත් පිරිස විතරක් ඉදිරියට යන අධ්‍යාපන ක‍්‍රමයෙන් ප‍්‍රතිඵලයක් තිබෙනවාද, නිර්මාණශීලී ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අනාගතය ගොඩනැගෙන්න සුදුසු අධ්‍යාපනයක් අවශ්‍ය නැද්ද? දකුණු ආසියාවේ සාක්ෂරතාවයෙන් ඉහළ රටවල් තුන අතර ශී‍්‍ර ලංකාව තිබෙනවා. පළමු තැන මාලදිවයින, දෙවන තැන ශී‍්‍ර ලංකාව. සාක්ෂරතාවයෙන් ඉහළ රටක් දියුණුව අතින් පහළ සිටින්නේ කොහොමද?

නිර්මාණශීලී චින්තනයක්, හැකියාවක් තිබෙන දරුවන් මේ අධ්‍යාපනයෙන් ගොඩනගන්න නොහැකිව තිබෙනවා. එහෙම නම් මේ අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිව්‍යුහගත කරන්න ඕනෑ නැද්ද?

විෂය නිර්දේශ පමණක් නොවෙයි, සමස්ත අධ්‍යාපන ක‍්‍රමයම ප‍්‍රතිව්‍යුහගත කළ යුතුයි. යහපත් සමාජයක් ගොඩනැගීමට අදාළ පුරවැසියෙක් බිහිකිරීමේ හර පද්ධතියක් සහ දැනුම් පද්ධතියක් ලබාදෙන අධ්‍යාපනයකින් පමණයි ලෝකයේ දියුණු රටක් විය හැක්කේ.

සල්ලි තිබුණු පමණින් රටක් දියුණු රටක් බවට පත්වෙන්නේ නැහැ. එහෙම නම් අලුත් ලෝකයට, අලුත් සමාජයට ගැලපෙන පුරවැසියන් බිහි කිරීමේ අධ්‍යාපනයක් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අනුව යමින් ලබා ගැනීම වෙනුවෙන් හැමදෙනාම එකට ඒකරාශී වෙන ලෙස ආරාධනා කරනවා.”


63

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here