ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW:

සාරපලය අඹ දඹ රඹද වල්පි ට
මීර ජලය ඇළ දොළ කඳු පිටින් බ ට
නෑර ලොලය වඩවන දුටු දනන්හ ට
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සි ට

හංස සංදේශයේ එන කෑරගල මේ තරම්ම සුන්දර නැතත්,තවමත් සුන්දරය.කෑරගලට මෙතරම් ඉඩක් සහ වැනීමක් ඉතිහාසයෙන් ලැබුණේ වීර අලකේශ්වරයන්ගේ නැඟණිය පද්මාවති දේවිය නමින් රාජ්‍ය අනුග්‍රහය ඇතුව තැණුන පද්මාවති පිරිවෙන හේතුවෙන්ය.අද අප කතා කරන්නට යන ඊට කිලෝ මීටර් ගණනක් දුරින් තිබෙන දෙකටන ද ඓතිහාසිකව ලංකාවේ පුරාණ ආර්ථික දේශපාලන කාරණාවන් සමඟ ඇමිණි ඇතත්, අප කතා කරන්න යන දෙකටන පද්මාවති ජාතික පාසල,පද්මාවතී වන්නේ කෑරගල පිරිවෙනෙන් ලද අභාෂය හේතුවෙන් විය යුතුය.
එම විදුහලේ ක්‍රීඩාවක් ගැන කතා කරන්නට යන්නේ අප පසුබිමින් එම පාසලේ ගණිත ගුරුවරියක්ව තබාගෙනය.රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යා විෂයෙන් උපාධිය හමාර කර සිටින අනූපමා වෙදගෙදර එම ගුරුවරියගේ නමය.අධ්‍යාපනය විද්‍යා විෂය ධාරවෙන් ලබා උගන්වන්නේ ගණිතය වුව ද,උගත් ක්‍රීඩාව වූ නෙට්බෝල් ගැන ආදරය සහ කැමත්ත ඇයගේ හදවතේ නොනැවතී මතු වන්නීය.එය කා හරහා හෝ හැකියාවක් ලෙස එළියට ගැනීමේ උවමනාවේ ඉලක්කය වන්නේ පද්මාවතීයේ අවුරුදු 15 න් පහළ පැංචියන්ය.

සමස්ත තරගාවලිය ගත් විට ඉහළ ප්‍රවීනයන්ගේ සිට වත්මන් ජාතික මට්ටමේ දක්ෂයන්ටද,කණිෂ්ඨයන්ට ද පමණක් නොව පිරිමි නෙට්බෝලයට ද ආශිර්වාද කරන වැදගත්ම තරගාවලියක් වන ඊවා සමස්ත ලංකා විවෘත සහ පාසල් දැල්පන්දු තරඟාවලියය.එහි ඒ කොටසේ කාන්තා සූරතාවය ගුවන් හමුදා කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. නෝර්ත් ස්ටාර් කණ්ඩායම B කොටස දිනා ගත් අතර මලියදේව බාලිකා කණ්ඩායම 19න් පහළ සහ 17න් පහළ ශූරතාවන් දෙකම දිනා ගැනීමට සමත් විය. හිල්වුඩ් විද්‍යාලය 15න් පහළ ඊවා ජාතික සූරියෝ වූහ.ප්‍රවීණයන්ගේ අංශයේ දී ට්‍රැක් මාස්ටර්ස් කණ්ඩායම ශූරතාව දිනා ගත් අතර කෑගල්ල ලයන්ස් කණ්ඩායම පිරිමි සූරයෝ වූහ.

මේ සියල්ල පසෙකලා ලියන්නට රස කතාව මතුවන්නේ පහළොවෙන් පහළ කණ්ඩායම් 1,2,3 සහ 4 ලෙස පෙළ ගැස් වූ පසුවය.
1.හිල්වුඩ් බාලිකා විද්‍යාලය – මහනුවර
2.මියුසියස් විද්‍යාලය – කොළඹ
3 පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලය – දෙකටන
4- දේවී බාලිකා විද්‍යාලය – කොළඹ
පද්මාවතියගේ නිමිත්ත පාසල් නාම මෙන්ම එම පාසල් අයත්වන නගර ද මීට ඉහත සඳහන් කළ පසුබිම ද බව දැන් පැහැදිළි කර ගන්නට හැකිය.
අවුරුදු 5 ට පෙර සිය ගුරු ජීවිතයේ ආරම්භය සටහන් කරන අනූපමා,පද්මාවතියේ ගණන් පෙන්නන්නට පටං අරගෙන අවුරුද්දකි.නෙට්බෝලයෙන් ගණන් පෙන්නන්නට අරගෙන මාස නවයකි.ඉහත සුපිරි පාසල් ගත්තද ක්‍රීඩා ඇඳුමක් තරගාවලියකට සකසා ගන්නට ගියහම පහසු නැති බව අපි දනිමු.එහෙත් ඒ අපහසු වැඩෙත් කරගෙන මධ්‍ය මහා විදුහලක ක්‍රීඩා ගුරුවරුන් ද සිටියදී,ගණිත ගුරුවරිය පිට්ටනියට බස්සවා ඇයගේ හැකියාවන් වැඩක් ගන්නට ඒ පාර්ශව එකඟ වීම මේ කාලයේ වැඩක්ය.
පුංචි පැටව් දෙන්නෙක් අම්මා කියාගෙන වඩා ගන්නට අත් දික් කරන්නට උදේ 6 න් පසුව හවස 6 වෙනකං ඉවසාගෙන සිටීම දරුවන්ට වඩා බලා ඉන්න අපහසු නිවැසියන්ට වුවත්,මේ වැඩ කරන උණටම සරිලන සැමියෙක් සහ පවුලක් අනූපමාට තිබීමද,මේ පිංතූරයේ ඉන්න පුංචි කෙළි රංචුවගේ පිරුණු සිනහවේ ආහිර්වාදයෙන් විශාල කොටසක්ය.

ගණන් ඉගැන්නිල පැත්තක තියලද පිට්ටනියෙ දඟළන්නෙ කියා හොයන ගුරු දෙගුරු අයද ලංකාවේ හැටියට අඩුවක් තියෙන්නට බැරිය.ඒත් වැඩ සියල්ල හරියට කරන නිසා ඒ ඕපාදූපවලට කළාප කාර්යාල,පළාත් කාර්යාල සොයා පෙත්සම් හැටියට ඉඟිළ යන්නට තටු ලැබෙන්නේ නැතුවා වන්නට පුළුවන්ය.

ඉතිහාසයේ මෙවැනි ක්‍රීඩා නොවන එහෙත් ක්‍රීඩාව පිළිබඳව හැකියාව සහ දැණුම ඇති ගුරුවරු පාසල් ජාතික ජයග්‍රහණවලින් ඉහළට ඔසවා තැබුව පළමු වතාව නොවේය.එසේම සමහර පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සිටින අය ද සිය පුහුණු හැකියාවෙන් පාසල්වලට කීර්තිය ගෙනවිත් දෙන අවස්ථා ද අප ලියා ඇත.අධ්‍යාපන කේෂ්ත්‍රයේ ඉහළ සිට පහළට කළාප මට්ටමට එනතෙක් සිටින නිලධාරින් මෙවැනි විකුම්පාන්නන් සහ පාන්නියන් එක මිටට ගෙන අලුත් අරමුණකට පෙළ ගැස්විය යුතුය.ඒ ඇය හෝ ඔහු දරණ පාසලේ උගන්වන විෂය අතහැර නොවේය.එය කළ යුත්තේ,ඊට පරිභාහිරව ඇයගේ හෝ ඔහුගේ භාහිර හැකියාවෙන්ද ඉදිරියට යාමට මෙන්ම සිසු දරු – දැරියන්ට යහපතක් කරන්නට මඟ පාදමින්ය.

අනූපමා මහා ලොකු වැඩක් කර නැත.එහෙත් යළි යළිත් කතා කරන්න අවශ්‍යය මාතෘකාවකට පණ දී ඇත.මෙවැනි දක්ෂයන්ගෙන් තියෙන සියළු දක්ෂතාවලින් වැඩ ගන්නටත් ඒවාට සාධාරණ ඇගයීමක් සහ සැළකීමක් ලබා දෙන්නට ක්‍රියා කාරන රාජ්‍යයක් නිර්මාණය විය යුතුය.මේ වාක්‍ය වසර ගණනක සිට සිය දහස් වාරයක් මතුරන්නේ සමහර මන්තර ලක්ෂ වාරයක් ජප කළ විට බල පිහිටුවනවා කියන මතයේ පිහිටානම් නොවේය.කවදා හරි දැකලා දැකලා බලධාරියෙකුට මේ මානව සම්පත්වල වටිනාකම් දැනී එම දැණුමද දියුණු කරගෙන හදාර තවත් පැත්තකින් වැඩක් කරන්නට ඇති හැකියාව අගයා රට පෙරට යාම පහසු කර ගැනීමටය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here