සහකරු ඔබේ විශ්වාසය කැඩුවොත් ඔබ මොකද කරන්නේ?

0
13


ඔහු එඩ්වර්ඩ්. ඇය කොනී. ඔවුන්ගේ එකම දරුවා චාර්ලි. පවුලේ යහපත වෙනුවෙන් මුදල් ඉපයීම එඩ්වර්ඩ් විසින් සිදුකරන අතරතුර කොනී තම දරුවා රැකබලාගනිමින්, නිවසේ කටයුතු නොඅඩු ව ඉටු කරමින් විවාහයෙන් වසර 11ක් යනතුරුත් ඉතා සතුටින් සිටියා. ඔවුන් ජීවත් වුණේ නිව්යෝර්ක් නගරයේ පහසුකම් සපිරි නිවසක. එහෙත් සියල්ල වෙනස් වුණා.

කොනීට නගරයේ දී අහම්බයකින් හමුවූ පොත් විකුණන්නෙක් වූ පෝල් මාර්ටෙල් නම් ප්‍රංශ තරුණයෙක් ඊට හේතු වුණා. ඔහුගේ ආකර්ෂණීය පෙනුම, හැසිරීම, සමඟ වසර 11ක තමන්ගේ විවාහ ජීවිතය අමතක කර කොනී පෙමින් බැඳුණා. ලිංගික සම්බන්ධතාවක් තෙක් ම මේ සම්බන්ධය දුරදිග ගියා. ඇගේ සැමියාට බිරිඳගේ යම් යම් වෙනස්කම් දැනෙන්නට වුණා. අමතකවීම්, කැළඹිලිසහගතව කටයුතු කිරීම, මුහුණ නොදී හැකිතාක් මඟහැර සිටීම, වරදකාරී හැඟීමකින් ඔහු සමග කතාබහ කිරීම කොනීගෙන් මතුවුණා. එඩ්වර්ඩ් ට බොහෝ මිතුරන් කොනීගේ පෙම් පලහිලව්ව ගැන තමන් ඇසූ දුටු දේ පැවසුවා. එහෙත් ඔහු කලබල වූයේ හෝ ඒ කිසිවක් විශ්වාස කළේම නැහැ. හැබැයි ඔහු ඈ ගැන වෙනදාට වඩා අවධානයෙන් සිටියා. ඒ නිසාම ඇගේ අනියම් පෙම ඔහුගේ අතටම හසුවුණා. එතැනින් පසුව සිදුවූ සියල්ල ඛේදනීයයි.

මේ කතාව එන්නේ 2002 අවුරුද්දේ තිරගත වූ ඇඩ්රියන් ලයින් ගේ Unfaithful චිත්‍රපටියේ. ඒත් විශ්වාසය කඩකිරීම ඛේදාන්තයක් නොවිය යුතුයි. කිසියම් හේතුවක් නිසා එවන් තත්වයකට ඔබ පත්වුණොත්.ඔව් ඇත්තෙන් ම ඉතා පරිස්සමින්, දුරදක්නා අවබෝධයෙන් ඔබ ඊට මුහුණ දිය යුතුයි.

විවාහය දෙදෙනෙකු අතර ඇතිවන සුන්දර ගිවිසුමක්.දෙදෙනා,දෙදෙනා වෙනුවෙන් එක්ව, වගකීම්සහගත ව මෙතැන් සිට ජීවිතයට මුහුණ දෙන බවට වන පොරොන්දුව තුළ බොහෝ දේ ඇතුළත් වෙනවා. එක්ව බෙදාගන්නා ජීවිතය තුළ, අතරමග හමුවන බාහිර හෝ පවුලේ අභ්‍යන්තර ගැටළු විසඳාගනිමින්, දරුවන් බිහිකර හදා වඩා ගනිමින්,අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් එක්ව කටයුතු කරන්නටත්, අසනීප,ලෙඩ දුක් ආදියේ දී ඔවුනොවුන් රැකබලාගන්නටත්, මේ පොරොන්දුව ඇතුළත බොහෝ වගකීම් එකිනෙකාට පැවරෙනවා. මේ නිසා එකිනෙකා කෙරෙහි විශ්වාසය ගොඩනගාගනිමින් ආදරණීය ව බෙදාහදාගන්නා ජීවිතයක් විවාහයක් තුළ හැම කෙනෙක් ම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විශ්වාසය පලුදුවන ආකාරයේ මොනයම් කරුණක දී වුවත් බිඳවැටෙන්නේ දෙදෙනාගේ ආදරණීය ජීවිතය බව සිහි තබාගත යුතුයි.

විශ්වාසය බිඳවැටෙන්නේ, එහෙමත් නැත්නම් විශ්වාසය කඩ කළා යැයි බොහෝ දෙනෙක් අදහස් කරන්නේ තමන්ගේ සහකරු වෙනත් කෙනෙක් සමඟ ලිංගික සම්බන්ධතාවකට යොමුවීමයි. මේ කරුණට පරිබාහිරවත් විශ්වාසය කඩකිරීම් සිදුවිය හැකි වුණත් බරපතල ගැටළු ඇතිවන්නේ ලිංගික සබඳතාවක් ඇතිකරගැනීම හේතුවෙන් විශ්වාසය කඩකිරීමෙනුයි.

කොහොමවුණත් සහකරු ඔබේ විශ්වාසය කඩ කළ බවක් ඔබට වැටහී ගියොත් ඔබ ඊට පරිස්සමින් මුහුණ දිය යුතුයි. ඒ සඳහා මේ කරුණු ඔබට නිසැකව ම වැදගත් වේවි.

ඔහු විශ්වාසය කඩ කළ බවට ඔබ තුළ ඇත්තේ සැකයක් පමණක් නම් පළමුවෙන් ම ඔබ සැකය තහවුරු කරගත යුතුයි. මේ ගැන ඔහුගෙන් සෘජුව ම විමසීමෙන් එක්වර ම සත්‍යය දැනගන්නට නොහැකිවේවි. කලබල නොවී නැවත වාර කිහිපයක් ඔහු සමඟ කතාකරන්න. මෙහෙම වුණ එකම කෙනා ඔබ නොවෙයි. මෙහෙම වෙනත් සම්බන්ධයක් කරා යොමු වූ එකම සහකරුත් ඔහු නොවෙයි. මේ නිසා තත්ත්වය කෙතෙක් හැඟීම්බර වුණත් කලබලවීමෙන් හෝ ආවේගශීලීව එකිනෙකා අතර අඩදබර ඇතිකරගැනීමෙන් කිසිදු පලක් නැහැ.

ඕනෑම සම්බන්ධතාවක් කොයි මොහොතේ හෝ බිඳී යාමට ඉඩ ඇති බව තේරුම්ගන්න. මිනිස් සිතිවිලි, ආකල්ප, හැසිරීම් විවිධාකාරයි. එය මොහොතක් ගානේ වෙනස් විය හැකියි. කිසිසේත් නොබිඳෙනසුළු විශ්වාසයක් හෝ පලුදු නොවෙන බැඳීමක් ඇතිකරගැනීම කිසිවෙකුටත් පහසු නැහැ. මේ නිසා තමන් මුහුණ දී ඇති තත්ත්වය අසාමාන්‍ය නොවන බව, ඕනෑම කෙනෙකුට මෙවැන්නක් සිදුවිය හැකි බව හදවතින් ම පිළිගන්න.

මෙවැනි අවස්ථාවක් අවංක ව ආදරය කළ කෙනෙකුට මහත් පීඩාකාරී වන බව ඇත්තයි. ඔබ මුහුණ දී සිටින පීඩාකාරී මානසිකත්වයෙන් අත්මිදෙන්නට මේ ගැන පවුලේ අය හෝ හිතමිතුරන් සමඟ කතාබහ කිරීම තාවකාලික පිළියමක් විය හැකියි. එහෙත් මේ ප්‍රශ්නය ඔඩුදුවන්නට, ඔහුගේ විශ්වාසය කඩකිරීම තවදුරටත් තහවුරු කිරීමේ අවස්ථා වැඩිකරන්නට තවත් පිරිසක් මේ ප්‍රශ්නය දැන සිටීම හේතුවිය හැකියි. සරලව විසඳාගත හැකිව තිබූ අඹුසැමි ප්‍රශ්න කොතෙකුත් අවස්ථාවල වෙනත් අයගේ මැදිහත්වීම් සහ අදූරදර්ශී විසඳුම් නිසා ඔඩුදුවන අවස්ථා තිබෙනවා.

අතීත වැරදි සිහිපත් කරමින් බැනඅඩගසාගැනීම්වලින් මෙවැනි ප්‍රශ්න විසඳාගන්න බැහැ. ඔබේ වේදනාව මොහොතකට යටපත් කරගන්න. ඔහුගේ කතාව අසන්න. ඔබේ පැත්තෙන් කිසියම් හෝ අඩුපාඩුවක්, අතපසුවීමක්, මගහැර කටයුතු කිරීමක්, නොතකා හැරීමක්, සිත්රිදවීමක් හේතුවෙන් ඔහු මේ තත්ත්වයට පත්ව සිටීද යන්න ඔබට දැනගන්නට හැකිවේවි. ඇතැම්විට ඔහු අලුත් සම්බන්ධය හදාගත්තාට නිවැරදි ම හේතු ඒ එකක්වත් නොවිය හැකියි. එහෙත් ඔහුගේ කතාවට අපක්ෂපාතී ව සවන්දීම ඉතා වැදගත්. තුන්වැනි පාර්ශවය වශයෙන් ඔබ දෙදෙනා අතරට ඇතුළත්ව සිටින පුද්ගලයා ගැන විවේචන, වෛරීසහගත දොස් පැවරීම්වලට මේ මොහොතේ කිසිසේත් යොමුවන්න එපා.

සම්බන්ධතාවය ඇතුළත දෙදෙනාට දෙදෙනාගෙන් වූ අතපසුවීම්, මඟහැරීයාම්, එකිනෙකා වෙනුවෙන් වන වගකීම් පැහැරහැරීම්, අනුන් සමඟ එකිනෙකාගේ වැරදි විවේචනය කිරීම්, නෑදෑයින් සහ හිතමිතුරන් ඉදිරියේ අවතක්සේරු කිරීම්, දරුවන් වෙනුවෙන් කටයුතු කිරීමේ දී වූ මගහැරීම්, මුදල් වියදම් කිරීමේ දී ඇති වූ ගැටළු, තීරණ ගැනීමේ දී තනි තනිව කටයුතු කිරීම වැනි බොහෝ කරුණු පොදුවේ සම්බන්ධතාවයක් දුරස් කරන්නට හේතු වෙනවා. ඉතින් දැනට මතුව ඇති තත්වය ගැන ඔබ දෙදෙනාගේ ගැඹුරු සාකච්ඡාවෙන් පසු මේ පොදු කරුණු ඉවසීමෙන් විසඳාගන්නට හැකිනම්, තුන්වැනි පාර්ශවය සමග ගොඩනගාගත් සම්බන්ධය අතහැර නැවත පෙර සේ ආදරයෙන් එක්ව කටයුතු කළ හැකිනම් ඔබේ තීරණය සියල්ලන්ට වඩාත් යහපත් වේවි.

කොතෙක් කතා කළත් එකඟතාවකට එළඹෙන්නට අපහසුනම්, ඔහු කිසිසේත් තමා එවැන්නක් කළ බව පිළිගන්නට අකමැති නම් හෝ තමන් ඇරඹූ සම්බන්ධය නතර කිරීමට සූදානම් නැත්නම් හැඟීම්බර තීරණයක් ලෙස විඳවමින් ජීවත්වීම තෝරාගන්නවා වෙනුවට බුද්ධිමත් ව ඉවසිලිමත් ව ඔහුගෙන් වෙන්වීමට ඔබට සාධාරණ අයිතියක් සහ හැකියාවක් තිබිය යුතුයි.
කෙසේ වෙතත් මෙවැනි තත්වයක දී තීරණ ගැනීම බරපතල වන්නේ සම්බන්ධතාවය අතරට දරුවන් එක්ව සිටින විටයි. මෙවැනි අවස්ථාවක දරුවන්ට පියා අහිමි කරන්නට බැරිකමට විඳවන බිරින්දෑවරුන් ඕනෑතරම්. ඒත් එසේ පවතින්නට යාම දරුවාටවත් ඔබ දෙදෙනාටවත් ප්‍රතිඵලදායක වන්නේ නැහැ. අනික් කරුණ වන්නේ සම්බන්ධතාවලින් සැමියා මුදවාගන්නට ගුප්තවිද්‍යාවේ පිහිට සොයා යාමයි. ඔබේ මුදල්, කාලය, පමණක් නොවෙයි දිනෙන් දින මිත්‍යාව පසුපස යාමෙන් ඔබේ මානසිකත්වය තවතවත් අවුල්වීම පමණයි එයින් බොහෝ විට සිදුවන්නේ.

මනෝවෛද්‍යවරයෙකු හෝ මනෝවිද්‍යා උපදේශකවරයෙකුගේ සේවාව ලබාගැනීම ඔබ විසින් මෙවැනි අවස්ථාවක ගත යුතු ඉතාම වැදගත් තීරණයයි. කෙසේ හෝ ඔහු සමඟ සාකච්ඡා කර උපදේශන සේවාවක් වෙත යොමුවන්නට ඔහු එකඟ කරගන්න. ඉතා සන්සුන්ව ඉවසිලිමත් ව ඔබේ ඉදිරි ජීවිතය වෙනුවෙන් පෙනී සිටින්න.
සම්බන්ධතා සියල්ල ගිලිහී ගියත් ඔබට ඔබේ ජීවිතය ඉතා වටිනා බව, අභියෝගවලට අභියෝග කරමින් ජීවත්වීම එකම සහ හොඳම විසඳුම බව සිහිපත් කරගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here