සමාජ පරිවර්තනයකට අවශ්‍ය නූතන සිසුවා නිර්මාණය කිරීමට හැකිවන්නේ ගුණාත්මක විෂයමාලා හැදෑරීමකින් හා පුහුණුවකින් සමන්විත වූ ගුරුවරුන් පාසල් පද්ධතියට එක්කිරීමෙන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියාය.
පසුගියදා ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි විෂයමාලා නවීකරණය කිරීම සම්බන්ධ මෙහෙයුම් කමිටු සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෑම ගුරුවරයෙකුම උපාධි සුදුසුකම් සහිත අයෙක් විය යුතුයි යන රජයේ සංකල්පයට අනුව, විද්‍යාපීඨ විෂයමාලා නවීකරණය සිදුකළ යුතු ආකාරය සහ විද්‍යාපීඨ ඩිප්ලෝමාව අධ්‍යාපනවේදී උපාධියක් දක්වා උසස් කිරීමේදී, ශිෂ්‍යයන්ගේ දක්ෂතාවන් සහ පාඨමාලාවන්හි ප්‍රමිතිය මැන බැලීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි විෂයමාලා නවීකරණය කිරීම සම්බන්ධ මෙහෙයුම් කමිටු සාමාජිකයින්හට ලබාදීම මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සිදුකරන ලදි.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ අනාගතයේදී අත්පත් කර ගැනීමට අපේක්ෂිත ඉලක්කයක් වන සෑම ගුරුවරයෙකුම උපාධිධාරියෙකු බවට පත් කිරීමේ සංකල්පයේ පළමු පියවර ලෙස විද්‍යාපීඨ විෂයමාලා නංවාලීම හඳුන්වාදිය හැකි බවයි. එසේම විද්‍යාපීඨ තුළ මානව සම්පත හා යටිතල පහසුකම් දියුණු කිරීම පිළිබඳවත්, සිසුන් දැඩි පීඩාවකට පත් නොවන සේ සමබරව පාඨමාලා කාලසටහන් සෑදීම පිළිබඳවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය.
මේ සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අධ්‍යාපන ප්‍රධාන කොමසාරිස් පී.ඩී. ඉරෝෂනී කේ. පරණගම ඇතුළු ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
Saru News










